English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශී‍්‍ර ලංකික මුස්ලිම් ජන නායකයෙකුගේ හෘදය සාක්ෂිය - ඉම්ටියාස් බාකීර් මාකර්

ශී‍්‍ර ලංකික මුස්ලිම් ජන නායකයෙකුගේ හෘදය සාක්ෂිය- ඉම්ටියාස් බාකීර් මාකර්

ඉම්ටියාස් බාකීර් මාකර් බේරුවල ප‍්‍රදේශයේ උපත ලබා මූලික අධ්‍යාපනය එහිදීම ලබා පසුව කොළඹ සහිරා විද්‍යාලය ගම්පොළ සහ අවසානයේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය අවසන් කර පසුව උසස් අධ්‍යාපනය සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වෙයි. එහිදී ජනසන්නිවේදන උපාධිදාරියෙකු ලෙස සමත්වෙයි. ඉන් අනතුරුව කොළඹ නිති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා නිතිඥවරයෙකු ලෙස කටයුතු කළේය. කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස 1988 දී තේරී පත්වන ඔහු 1988 සිට 1993 දක්වා නිවාස පිළිබඳ රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළේය. ඒ පේ‍්‍රමදාස මහතා අගමැති ලෙසත්, ජනාධිපති ලෙසත් නිවාස වැඩ පිළිවෙළ වේගවත්ව හා උත්කර්ෂවත්ව සිදු කරන ලද කාලයයි. 2001 සිට 2004 දක්වා වූ කාලය තුළ මාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා ලෙස කටයුතු කරන ලදි.


සිංහල,දෙමළ,ඉංගි‍්‍රසි යන භාෂා ති‍්‍රත්වයේම විශිෂ්ඨයෙක් වන ඔහු සිංහල භාෂාව චතුර ලෙස හැසිරවන්නේ සිංහල දේශපාලඥයන්ට හා නායකයන්ට නොදෙවෙනි අන්දමටය. ඔහු විශාල ලෙස මාධ්‍ය තුළ පෙනී නොසිටියද. ජනතාවගේ සිත් ගත් දේශපාලන නායකයෙකි. සිංහල ජනතාව ඔහුට බෙහෙවින් ඇලූම් කරයි. දේශපාලන සම්බන්ධයෙන් ඇති කළ කිරීම් නිසා දේශපාලනයෙන් ඈත්ව සිටියද ඔහුට වරින් වර ඔහුගේ උරුමය ඇති එක්සත් ජාතික පක්ෂයෙන්ම මෙන්ම, වෙන් දේශපාලන පක්ෂ වලින් ද ඔහුට නිරන්තරයෙන් ආරාධනයන් ලැබෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි.

මේ කෙටි හැඳින්වීම සිදු කරන ලද්දේ ඔහු විසින් අපේ‍්‍රල් 21 වෙනි දින එල්ල වූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධයෙන් සමාජයේ ඇති වී තිබෙන මතවාදයන් සම්බන්ධයෙන් මුස්ලිම් ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා කරන ලද කෙටි කතාවක් සහ දෙවනුව පසුගිය 13 වෙනි දින මුස්ලිම් ප‍්‍රජාව එල්ල කරගෙන සිදුකරන ලද සංවිධානාත්මක මැර ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවීමකදී දක්වන ලද අදහස් ඉදිරිපත් කිරීමටය. තමන්ගේ පාර්ශ්වයද ස්වයං විවේචනයකට ලක් කරමින්, සංහිඳියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඉස්ලාම් ධර්මයේ ඇති වැදගත් උදහරණ කිහිපයක්ම ගෙනහැර දැක්වීය. එය සියළු පාඨකයන්ට හොඳ අධ්‍යාපනයකි.

දෙවැන්න මැයි මස 13 වෙනි දින මුස්ලිම් ප‍්‍රජාව වෙත දේශපාලන හා අන්තවාදී කණ්ඩායම් එක්ව එල්ල කරන ලද සංවිධානාත්මක ප‍්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ලද අදහස්ය. එහිදී අවස්ථා කිහිපවකදීම ඔහු සංවේදී විය. එහිදී ඔහු අන්තවාදීන් හා මාධ්‍ය සම්බන්ධයෙන් තියුණු විවේචනයන් එල්ල කරයි.

සමාජයේ සහජීවනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අප අන් මත දැනගැනීම වැදගත්ය. මෙවන් මත ප‍්‍රධාන විද්යුත් මාධ්‍යයන්හී ප‍්‍රචාරය නොවේ. ඒ නිසාම අයිතිය මෙලෙස ඒ අදහස් ඔබ වෙත ගෙන එන්නෙමු.



අර්බුදකාරී අවස්ථාවේදී මුස්ලිම් ජනතාවගේ ගමන් මග

මුස්ලිම් ෆෝබියාවට මුහුණ දීම

අල්ලාහුතාලා අපිව නිර්මාණය කරන ලද්දේ කුමක් සඳහා ද? වගකීමක් සඳහා ඇතිව. යම්කිසි කාර්යභාරයක් ඇතිව. අල්ලාහුතාලට වැඩියෙන්ම පි‍්‍රය කරන කෙනා තමයි අනුන්ට උදව් කරන මනුස්සයා. මේක තමයි ඉස්ලාමයේ අපිට දෙන මගපෙන්වීම. ලංකාව දිහා බලන කොට අපේ සමාජයට ඇගිල්ල දික් වෙනවා. එක එක විදියට. හොඳ කරන පුද්ගලයෝ නෙමෙයි නරක කරන පුද්ගලයෝ විදියට. මේක ස්වභාවිකව එනවට වඩා ජාත්‍යයන්තරව ඇතිවන ප‍්‍රවනතාවයක්. මේ තත්ත්වය තුළ අපේ වගකීම තවත් බැ?රුම් වෙනවා. අපේ වගකීම තවදුරටත් පළල් වෙනවා. ඉස්ලාමීය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නට පුළුවන්. මේ වගේ දේවල් වලට අපි කොහොම මුහුණ දුන්නේ කියලා.



සුළු සිද්ධියක් ගැන කියන්නම් නබිතුමා මුහුණ දුන්න. කුරේෂි කාන්තාවක්. මක්කම ඉඳන් පිටට යනකොට, බරපතල බඩු මළුත් එක්ක යනකොට, ඒක දැකලා නබිතුමා උදව් කරන්න ගියාම, ඇයි මේ යන්නේ? කොහාටද යන්නේ ? ඇහැව්වම ඇය කියනවා මම මක්කමින් පිටවෙනවා කියලා. මම යනවා ගම අතහැරලා. හේතුව අපේ ආගමට දොස් කියන, අලූත් ආගමක් දේශනා කරන මනුස්සයෙක් ඇවිත් ඉන්නවා. මම කැමති නෑ එයාගේ මූණ දකින්නවත්. මූනට මුලිචචි වෙන්න එන්නවත් මම කැමති නෑ. ඒ කාන්තාව කියනවා. ඒ කියන දෝෂාරෝපණ ඉවසිල්ලෙන් අහගෙන, ඒ කාන්තාවගේ පොට්ටනි ටික උස්සගෙන නබිතුමා ගිය කතාව මම කියවලා තියෙනවා පොඩි කාලෙදි.

ඉස්ලාම් ෆෝබියාවට දෙන්න  ඕන ප‍්‍රතිචාරය මොකක්ද කියලා නබිතුමා අපිට පෙන්නලා දීලා තියෙනවා මේ කතාවෙන්. ඉවසීමෙන්. හැසිරීමෙන්. අන්තිමට ඒ කාන්තාව යම් කිසි මුදලක් දෙන්න හැදුවම බොහෝම ස්තූතියි කියලා ඇහැව්වම, මම තමයි මෙච්චර වෙලා ඔයා බැන්න. ඒ මොහොමඞ් කියන කෙනා මම තමයි කියලා උත්තර දෙනවා. මේවා තමයි ඉස්ලාමයේ අපිට උගන්වන පාඩම්. ඉස්ලාමයේ හැම තිස්සෙම මිනිසුන්ට උදව් කරන කෙනා තමයි දෙයියෝ වැඩියෙන්ම කැමතියි කියලා කියනකොට, මුස්ලිම්වරුන්ට උදව් කරන කෙනාට දෙයියෝ කැමතියි කියලා කිව්වේ නෑ. මනුෂ්‍ය වර්ගයාට උදව් කරන කෙනාට තමයි දෙයියෝ කැමති කියලා කිව්වේ.



හැසිරීමෙන් පිළිතුරු දෙමු

නබිතුමාව අපිට එවලා තියෙන්නේ දයාව, කරුණාව, ගැන පණිවිඩය මිනිස්සුන්ට දෙන්න. මේ රටේ මිනිස් සංහතියට, ලෝකයට, දයාව,කරූණාව පතුරන කෙනා හැටියට තමයි, නබිතුමාව එවලා තියෙන්නේ. මේවා තුළ අපේ වගකීම මොකක්ද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. මේක තමයි අවශ්‍යය. කවුරු හරි කුඩු ගෙනාවොත්, කවුරු හරි හොරකම්, මංකොල්ලකෑම් කළොත් එහෙම, මුස්ලිම් කෙනෙක් නම් පත්තර වල එනවා මෙයා මුස්ලිම් කෙනෙක් කියලා. කැපිලා පේනවා එතකොට. මේවගේ නරක තත්ත්වයන්ට අපට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැම සමාජයකම ඒ වගේ උදවිය ඉන්නවා. මේ තත්ත්වයන්ට ප‍්‍රතිචාර දක්වන්න අපිට රංඩු කරන්න වුවමනාවක් නෑ. අපි අපේ හැසිරීමෙන් තමයි පිළිතුරු දිය යුත්තේ කියලා මම විශ්වාස කරනවා.

සිංහල බහුතරයක් ජාතිවාදී නෑ

හැබැයි මම එකක් කියනවා. ශී‍්‍ර ලංකාවේ අපි වාසනාවන්තයි. සිංහල බහුතරයත් එක්ක ජීවත් වෙන්න ලැබීම. ඒක මගේ පුද්ගලික අත්දැකීම. මම ඉගෙනගත්තේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ. මේක මම හදවතින් කියන්නේ. මම ආනන්දේ ඉන්නකොට මම මුස්ලිම් කෙනෙක් කියන වෙනස මට කවදාවත් දැනුනේ නෑ. ආනන්දේ හොකී ටීම් එකේ නායකත්වයට මට තරගයත් තිබුණා. ඒ වසන්ත කරන්නාගෙඩ එක්ක. හිටපු නාවික හමුදාපති. මම කවදාවත් හිතුවේ නෑ මට නායකත්වය හිමිවෙයි කියලා. ඒක සිංහල බෞද්ධ පාසැලක්. නමුත් ගුරුවරු තීරණය කලා මම තමයි 14 පහළ හොකී නායකයා වෙන්න  ඕන කියලා. සිංහල බහුතර ජනතාව ජාතිවාදී නෑ. ආගම්වාදී නෑ.

මුස්ලිම් ජාතිකයන් ළිං මැඩියෝ වගේ ඉන්න  ඕනේ නෑ

ඉස්ලාම් කියන එකේ තේරුම සාමය. පළමුවෙන්ම හදවතේ සාමය. වෛරය,ද්වේශය, කෛ‍්‍රා්ධය දෙන්න පුළුවන් දේ තමයි හිත තුළ සාමය ඇති කර ගැනීම. තැන්පත්කම ඇති කර ගැනීම. බෞද්ධ ධර්මය තූළ තියෙන දර්ශනය තුළ ඒවට ප‍්‍රමුඛතාවය තියෙනවා. අපිට ජීවත්වෙන්න පුළුවන් ඒවගේ උදවියත් එක්ක. සියයට 5 විතර ආනන්දයේ හිටපු අය මට තම්බියා කිව්වා. හැබැයි සියයට 95 එහෙම නෑ. ඒ වගේ කල්පනා කරන්නේ නෑ. හොස්ටල් එකේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට මාව තේරුවා. අද යුගයේ හිතාගන්නවත් බැරිව ඇති මේවා. ඒ හොස්ටල් එකේ හිටපු එකම මුස්ලිම් ළමයා මම. එහෙම තමයි මේ රටේ සිංහල බහුතරය. අවිශ්වාසය, සැකය ඇතිවෙන්නේ අපි ළිඳේ ඉන්න මැඩියෝ වගේ හිටියොත්. අපි හුදෙකලා වුනොත්. එතනදි භාෂාව වැදගත්. මවුලවිතුමා දෙරණ කරපු සාකච්ඡුාව බලන්න. මගේ රියදුරු කියනවා අපි නොදන්න ගොඩක් දේවල් එතුමා කිව්වානේ මෙහෙම දේවල් කතා කරනවා නම් අපිට ඉස්ලාම් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න  ඕනනේ.




මුස්ලිම් සමාජයේ සංනිවේදන වැරැද්දක් තියෙනවා

අපේ සමාජයේත් වරදක් තියෙනවා. සන්නිවේදනයේ ප‍්‍රශ්නයක් තියෙනවා. අපි හරියාකාරව පණිවිඩය දිය යුතුව තිබෙනවා. දෙනවත් සමග අපේ හැසිරීමෙනුත් අපි ආදර්ශවත් විය යුතුව තිබෙනවා. මුස්ලිම්වරයෙක්ට මේ රටේ අනෙක් අයට බරක් විදියට ජීවත් විය යුතු නෑ. අපි මේ සමාජයට දායක විය යුතු අය විය යුතුයි. අපි අනික් අයට මඟ පෙන්වන අය විය යුතුයි. ඒ විදියට තමයි අපේ ආගම අපිට කියන්නේ. ඔයගොල්ලෝ අද ඔයගොල්ලන්ගේ වගකීම තේරුම් අරගෙන තියෙනවා. මෙතන සියයට පනහකට වඩා කාන්තාවෝ ඉන්නවා. අපිට තියෙන තවත් චෝදනාවක්  ඕක. මුස්ලිම් කට්ටිය ගෑණු අයව ගෙදරට කරලා තියාගෙන ඉන්නවා. එළියට ගන්නේ නැහැ කියලා. එක්සත් ජාතීන්ගේ සම්මේලන වලට ගියාම අපිට නගන චෝදනාවක් මේක. ප‍්‍රයෝගික උත්තරයක් අද මේ පිරිස දීලා තියෙනවා. ඉස්ලාමය දන්න අය එහෙම කරන්නේ නැහැ. මේ රැස්වීම එය ලෝකයට කියනවා. අපේ හැසිරීමෙන්, අපේ කටයුතු වලින් අපි ඉස්ලාමය කියන්නේ මොකක්ද, මුස්ලිම් අය කියන්නේ කව්ද කියලා පෙන්වන්න  ඕනා. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා නම්, හැමෝටම සමානව සැලකීම පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා නම්, දෙමළ, සිංහල හා කුළ වශයෙන් තියෙන ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්. කාට හරි අසාධාරණයක් වෙනවා නම් ඊට එරෙහිව අනික් හැමෝටම ඉස්සෙල්ලා මුස්ලිම් සමාජය ඉදිරියෙන්ම ඉන්න  ඕන.



මුස්ලිම් ශ‍්‍රී ලංකිකත්වයේ ප‍්‍රතිමූර්තිය - ටී.බී.ජායා

ඒක තමයි අපේ ආගම අපිට තියෙන උදාහරණය. ඒක තමයි අපේ ආගම අපට පෙන්වන මාර්ගය. මට මතක් වෙන්නේ ටී.බී.ජායා මහතා. නිදහස දෙන්න ඉස්සර සුද්දෝ පොඩි උප්පරවැට්ටියක් දැම්මා. උපායක් දැම්මා. උඹලා බෙදිලා ඉන්න ජාතියක්. සිංහල,මුස්ලිම්,දෙමළ කියලා. උඹලට නිදහස දුන්නොත් උඹලා ගහගනියි. මිනිමරා ගනියි. නිදහස දෙන්න බෑ කිව්වා. නිදහස  ඕන නම් උඹලා එකතු වෙයල්ලා කිව්වා. අභියෝගයක් දුන්නා මේ රටේ සිංහල, මුස්ලිම්,දෙමළ නායකයින්ට. සමහර දෙමළ නායකයෝ කිව්වා 50ට 50 කොන්දේසියට එකඟවෙනවා නම් තමයි අපි නිදහසට පක්ෂව අත් ඔසවන්නේ කියලා. ටී.බී.ජායා නියම මුස්ලිම්වරයෙක් විදියට එයාගේ හැසිරීමෙන් පෙන්නුවා, ඊළග පරම්පරාවල් වලට පෙන්වුවා මුස්ලිම්වරුන් යා යුතු මඟ. මොකක්ද එතුමා කිව්වේ. මට ඒක තාම කටපාඩම්. මම ඒ හැන්සාඞ් එක කියවලා තියෙනවා. ඩොමිනියන් තත්ත්වය පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ. මුස්ලිම්වරු හැටියට අපිට දේශපාලන නිදහස වැදගත්. මම ලංකාව පුරාම තියෙන මුස්ලිම් පල්ලි හම්බවෙලා කතා කරලා තියෙනවා. ඒ අයගේ එකඟත්වය ඇතිව. අද මේ මන්ත‍්‍රණ සභාවේ ඉන්න මේ මන්තී‍්‍රවරුන්ගේ එකඟත්වය ඇතිව. මාකර් මාකර් , ටී.බී. ජායා, අබ්දුල් රහුමාන් හිටියා. මේ හතර දෙනාගේම එකගත්වයෙන් අපි කියනවා. නිදහස වෙනුවෙන් අපි කිසිම කොන්දේසියක් දාන්නේ නෑ. අපිට අපේ වැඩිමහල් සහෝදරයේ වගේ ඉන්න සිංහල ජනතාවත් එක්ක කතා කරලා අපේ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්. අපට දුක්ගැනවිලි තියෙනවා. අපිට අඩුපාඩු තියෙනවා. අපිට ප‍්‍රශ්න තියෙනවා. අපි නිදහසින් පස්සේ ඒවා කතා කරලා බේරගන්නම්. ඒක අපි සුද්දන්ට නිදහස දෙන්න ප‍්‍රමාද කරන්න ආයුධයක් කරගන්න දෙන්න ලෑස්ති නෑ. කොන්දේසි විරහිතව, අප‍්‍රමාදව ශී‍්‍ර ලංකාවට නිදහස ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා කියලා. ඒ තීරණාත්මක අවස්ථාවෙදි ප‍්‍රකාශ කළා. බීකන් පහනක් වගේ මේ රටේ මුස්ලිම් ජනතාව යා යුතු මාර්ගය ටී.බී.ජායා එදා පෙන්වා දුන්නා. අවබෝධය, සහයෝගය, සහජීවනයෙන් අපි ජීවත් වෙන්න  ඕනා.

නබිතුමාගේ සංහිඳියාවේ ආදර්ශය

නබිතුමාගේ ජීවිතෙත් ඒ ආදර්ශයන් තියෙනවා. යුදෙව් කාන්තාවක් හැමදාම නබිතුමා පල්ලියට යපාරට යනකොට කුණුදාපු දානවා. එක දවසක් යනකොට ඒ කුණු තිබුණේ නැහැ. නබිතුමා බැලූවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කාන්තාව අසනීප වෙලා තියෙනවා කියලා කිව්වා. තමන්ට අපහාස කරලා කුණු දාපු කාන්තාව අසනීපයි කියලා දැනගත්තම නබිතුමා ගියා ඇයගේ සුවදුක් බලන්න. ඇහට කදුළු පිරුණා ඒ කාන්තාවට. මම මෙච්චර වද දුන්නු මනුස්සයා මම අසනීප කියලා දැනගෙන මාව බලන්න ආව නිසා අයට කණගාටු හිතුණා. හැසිරීමෙන් තමයි ප‍්‍රතිචාර දැක්වූවේ. ඉවසීමෙන් තමයි ප‍්‍රතිචාර දැක්වූවේ. ඉස්ලාමය පිළිබඳව වැරදි පින්තූරයක් ඇති කරන්න හදන උදවියට ගැරහීමෙන් නෙමෙයි පිළිතුර දෙන්න  ඕන ඉවසීමෙන්. සමාජ මාධ්‍ය වලදි එකඑක්කෙනා බනිනවා. ඉස්ලාමය මොකක්ද කියන එක, ටී.බී.ජායා පෙන්නුවා වගේ හැසිරීමෙන් පෙන්වන්න  ඕනා. මුස්ලිම්වරයෙක් කියන්නේ මේ වගේ කෙනෙක් කියලා පෙන්වන්න  ඕනා.



ජනමාධ්‍ය ජාතිවාදයට පෙට්ට‍්‍රල් දානවා.

හදවත කම්පනය වූ මුස්ලිම් නායකයෙක්

මම එන්නේ බේරුවලින්. ඔය ගොල්ලෝ දන්නවා අරාබි ජාතිකයෝ ලංකාවට මුළින්ම ගොඩ බැහැපු ස්ථානය. ලංකාවේ පළමුවෙනි දේවස්ථානය තියෙන්නේ බේරුවල. 1900 ගණන්වලදි පස්ඉඳුල් අබ්ලාල් ඒ දේවස්ථානය පටන් ගත්තේ. මම ඒ ගමේ. ( හැගීම්බරව කතා කළ නොහැකි වෙයි. * ඒ ගම වටේම තියෙන්නේ සිංහල ගම්. එකක් ගොන්නරගොඩ, නල්ලහේන කියනවා, මොරගල්ල කියනවා, හෙට්ටියාකන්ද කියනවා. අපි පුංචි කාලේ සීයලා එක්ක දෙමළෙන් කතා කළා, තාත්තත් අම්මත් එක්ක සිංහලෙන් කතා කළා. හැගීම්බරව කතා කළ නොහැකි වේ*....................................වෙනසක් තිබුණේ නෑ.

වෛරය පතුරවනවන ජනමාධ්‍ය

අපි මේ රට කොහාටද ගෙනියන්න හදන්නේ. හෙට දවස ගැන කල්පනා කරනවද? මේ පටු දේශපාලන න්‍යාය පත‍්‍රවල හරි, ජාත්‍යයන්තර න්‍යාය පත‍්‍රවල හරි, වෙළඳ තරගවල න්‍යාය පත‍්‍රවල හරි, ගොදුරු බවට පත් කරලා, රට ප‍්‍රපාතයට ගෙනියනවද? තීන්දුවක් ගත යුතුව තිබෙනවා. සමහර පත්තර අරගෙන බලන්න. එකම ලේඛකයෝ හැමදාම වෛරී ප‍්‍රකාශ තමයි ලියන්නේ. එයාලට වෙන රස්සාවක් නෑ.බෙදන්න පුළුවන් පෙට‍්‍රල් තමයි දාන්නේ. සමහර මාධ්‍ය ගන්න. මිනුවන්ගොඩ සිදුවීම් වලින් පස්සේ ටර්න් එක වෙනස් වෙලා තියෙනවා. නමුත් පහුගිය දවස්වල මොකද කළේ. දිගමම එයාලගේ න්‍යාය පත‍්‍රය. ඉස්ලාම් අන්තවාදය කියන සහරාන්ගේ කල්ලියත්, පැය 24ම අන්තවාදය වපුරවපු මේ අන්තවාදී කල්ලියත්, යන්නේ පැජරෝ, මොන්ටෙරෝ වලින්, ගෙවල් හදලා තියෙනවා තට්ටු දෙකේ. කොහෙන්ද මේ සල්ලි ගලන්නේ. මේවා සෙවිය යුතුයි. සියයට එකයි දශම ගානයි මේ කණ්ඩායම්. අපේ රටේ ඡුන්ද ගත්තොත් අපේ ඡුන්දදායකයෝ අන්තවාදය ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් සුළුතරයකට පුළුවන් ගිනි අවුළුවන්න. සුළුතරයකට පුළුවන් විනාශයක් ඇති කරන්න.

ජාතික පාසැල් සමජයේ හරස්කඩක් කරන්න

අපි එක පවුලක්. පාසැල සමාජයේ හරස්කඩක් කරගන්න  ඕනා. මුස්ලිම් දරුවෝ මුස්ලිම් විතරක් ඉන්න පාසලකින් එළියට එනකොට සිවුරට ගෞරව කරන්න ඒගොල්ලන් දන්නේ නෑ. පොට්ටුව කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. කන්‍ය මව්තුමියකට ගෞරව කරන්න  ඕන කොහොමද කියලා ඒ අය දන්නේ නෑ. සිංහල පාසැල් පටන් ගන්නකොට සිංහල ගුරුවරු නැහැයි කියලා ප‍්‍රතික්ෂේ කරන එක නෙමෙයි යුතුකම. අවස්ථාව දෙන්න. ප‍්‍රමුඛතාවය දෙන්න. පටන් ගන්න කියන්න. අල්ලපු ගෙවල්වල ඉන්න සිංහල දරුවන්වත් මේකට සම්බන්ධ කරන්න කියන්න. ජාතික පාසැල් සියල්ල සමාජයේ හරස්කඩක් කරගන්න කියන්න. නුගවෙල මහත්තයාගේ කාලේ සිංහල ගුරුවරුන්ව යාපනයේ මිනිස්සු ඉල්ලූවා. සිංහල ගුරුවරු නැහැයි කියලා දෙන්න බැරිවුනා. ඉතිහාසයේ වරද අපි නැවතත් කළ යුතු නැහැ.





2019-05-19
Advertisement

Find us on Facebook