English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජීවිත අවධානම නොතකා මුස්ලිම් පවුල් රැකි සිංහල පවුලක්


ජීවිත අවධානම නොතකා මුස්ලිම් පවුල් රැකි සිංහල පවුලක්

පහරදීමට එද්දී නිවසේ සඟවයි.

”පෙට‍්‍රල් බෝම්බ සද්දේ එනකොට මට දැනුනේ පුදුම මර බයක්. අපි මැරුණා කියලා තමයි මට හිතුනේ. ඉස්සරහ ගෙදර සුජීවනී නංගි එයාගේ ගෙදරට අපිව දාගත්තේ නැත්නම් අපිට වෙන දේ දන්නේ දෙයියෝ විතරයි. අපේ පවුලත් එක්ක මුස්ලිම් පවුල් තුනක් මේ ගෙදර ආරක්ෂාව ලැබුවා.”

පසුගිය සඳුදා ( මැයි 13 ) රාති‍්‍රයේ දියත් වූ මුස්ලිම් විරෝධී ප‍්‍රහාර හමුවේ සිංහල පවුලක් තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු නාත්තන්ණ්ඩිය තුන්මෝදර පදිංචි ඒ.කේ.හලීමා සිහිපත් කළේ එලෙසිනි.

”ඒ ගේ සිංහල ගෙයක්...සිංහල ගෙයක්.....” හලීමා පවසන පරිදි ඇයගේ නිවස ට එල්ල වීමට ගිය ප‍්‍රහාරය වැළකී ඇත්තේ ද සිංහල පුද්ගලයෙකු විසින් මාර්ගයට පැන කරන ලද එම ප‍්‍රකාශය හේතුවෙනි.

කෑම බීම දෙමින් අදටත් ඔවුන් රකියි.

හලීමා ඇතුළු පවුලේ සමාජිකයන් මේ වන විටත් රැඳී සිටින්නේ සුජීවනීගේ නිවහනේය.

”අපිව, අපේ ගේ බේරගත්තා විතරක් නෙමෙයි අද අපිට කන්න දෙන්නෙත් මේ අය තමයි. මේ දැන් තේ එක බිව්වෙත් මෙහෙන්. අපි මේ අයට ණය ගැතියි.” හලීමා හැගුම්බරව පවසන්නීය. 

හලීමා ගේ කෘතවේදී අදහස් දැක්වීම ගැන ප‍්‍රතිචාරය පළකරමින් සුජීවනී චන්දිමා පවසන්නේ, තමන් ඇතුලූ පවුලේ සමාජිකයන් ”අවශ්‍ය මොහොතේ” සිය අසල්වැසියා වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව නිහතමානීව සතුටු වන බවය.

”සිංහල අය ගහන්න එද්දි හලීමා ගේ පවුලේ හතරදෙනත්, තවත් මුස්ලිම් පවුලකුත් බේරගත්තම අපිට ගැටලූ එනවා කියලා. නමුත් අපි ඒ වෙලාවේ හිතුවේ අපේ ජීවිත වලට වඩා මේ අයගේ ජීවිත ගැන”

සුජීවනී චන්දිමා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීමට මුලින් මැලිකමක් දැක්වූයේ ඒ නිසා විය යුතුය.



ප‍්‍රහාරය එල්ල කළේ ගම්වාසීන් නොවෙයි.

ඇය පවසන පරිදි ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණ ඇත්තේ ගම්වාසීන් නොවේ.
”මේ අය මුස්ලිම් අයට ගහලා ගියාට පස්සේ අපිට වෙන්නේ මොකක්ද කියලා හිතුවද? අපි අවුරුදු ගාණක් කිසිම ගැටළුවක් නැතුව ජීවත් වුණා. නමුත් දැන් අපිට මේ තත්ත්වය ගැටලූවක් ”

සුජීවනීගේ නිවසේ රැකවරණ ලද පවුල් අතර මොහොමඞ් රිස්වි ඇතුළු පවුලේ සමාජිකයන් ද විය.

”හතර වටින් කෑකෝ ගහගෙන එද්දි අපිට දුවන්න තැනක් හොයාගන්න බැරිවුණා. මම දුවන්න තැනක් හොයද්දි සුජීවනිගේ මහත්තයා කුමාර අපේ ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා හතරවටෙන් ගහගෙන එනවා අපේ ගෙදරට එන්න කියල. මම මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි එක්ක සුජීවනීලගේ ගෙදරට එද්දි එහෙ තව මුස්ලිම් පවුල් දෙකක් හිටියා මේ අය පොඩි කාමරයක දාලා වහලා හිටියේ. අපිවත් මේ කාමරයට දාලා වැහුවා” මොහෙමඞ් රිස්වි පැවසීය.

”කාමරේ ඇතුළේ පවුල් තුනක 14 දෙනෙක් හිටියා. කරුවල නිසා, වටේ පිටේ සද්ද නිසා ළමයි බයට කෑ ගහලා ඇඬුවා. අපි දරුවන්ගේ කටවල් තදින් වහගෙන හිටියා. අපේ ගේ ගිනි තියන්න හදද්දි බේරගෙන තියෙද්දි ඉස්සරහ ගෙදර සිංහල පවුලේ අය. ගිනි තියන්න ආපු අයට ඒ අය වැඳලා කියලා තියනවා ගිනි තියන්න එපා කියලා. ඒ නිසා තමයි මේ පිරිස ගිහින් තියෙන්නේ.”

පාස්කු ප‍්‍රහාර වලට විරෝධය දැක්වූවන්ටත් ප‍්‍රහාර

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මොහොමඞ් රිස්වි ඇතුළු තුම්මෝදර මැල්ලකැලේ ප‍්‍රදේශවාසීන් එක්ව පහන් දක්වා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළහ. මරාගෙන මැරෙන ප‍්‍රහාරය හෙළා දකිමින් එල්ලූ පැනර් සහ සුදු කොඩි ගමේ පල්ලියේ මෙන්ම ගමේ තැන තැන දැනටමත් ඉතිරිව තිබේ.



මේ ප‍්‍රහාර එල්ල කළේ සමස්ත සිංහල ජනතාව නෙමෙයි.

මොහොමඞ් රිස්වි ගේ ඉිරිඳ ෆාතිමා රිස්වියා සඳහන් කළේ මේ සිදුවීම්වලට සමස්ත සිංහල ජනතාව වගකිවයුතු නොමැති බවය.

”බලන්න අපිව බේරගත්තේ කව්ද? සමහර විට අපිව හැංගුවේ නැත්නම් කොට්ටරමුල් ගමේ වුණා වගේ සිදුවීඹක් මෙහෙත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට ලොකු හානියක් වුණත් බහුතර සිංහල ජනතාව මේ තත්ත්වයට වගකියන්න  ඕනෑ නැහැ කියලා අපි දන්නවා. ඒ වගේම අපිට ඒ අයත් එක්ක වෛරයක් නැහැ.”

නාත්තන්ඩිය තුම්මෝදර සහ මැල්ලකැලේ සිංහල සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් දිවි ගෙවන ප‍්‍රදේශ දෙකකි. එහෙන් පසුගිය සඳුදා එල්ල වූ ප‍්‍රහාර හේතුවෙන් එකී සහජීවනයට බරපතල කලූ පැල්ලමක් එක් වූ බව ප‍්‍රදේශවාසීන්ගේ අදහසය.

මේ අතර හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් තුම්මෝදර ප‍්‍රදේශයේ කරන ලද සංචාරයක් අතරතුර හලීමාගේ අත්දැකීම හෙළි කළේ තුම්මෝදර ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුමිත් පේ්‍්‍රමකුමාර විසිනි.

එදා ඔවුන් සමාව ඉල්ලූවා. අද අපිට සමාව ඉල්ලන්න වෙලා

”පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ හලීමලා කිව්වා අපේ මූණ බලන්න බැහැ කියලා. අපෙන් සමාව ඉල්ලූවා. නමුත් අද අපිට හලීමලගේ මූණ බලන්න බැහැ. මම සමස්ථ ජාතිය වෙනුවෙන්ම අත් දෙක වැඳලා ඉල්ලන්නේ මේ සිදුවුණු දේට අපිට සමාව දෙන්න කියලයි.”


ගම ආරක්ෂා කිරීමට ගම්වැසියන් සංවිධානය වෙයි

සුමිත් පේ‍්‍රමකුමාරගේ මූලිකත්වයෙන් මීට දින කිහිපයකට පෙර තුම්මෝදර විහාරස්ථානයට රැස්වූ ප‍්‍රදේශවාසීන් ගම ආරක්ෂා කර ගැනීමට කමිටුවක් ද පිහිටුවා ගෙන තිබිණි.

එම කමිටුවේ දී ගත් තීරණ අතර;
- නොසන්සුන්කාරී තත්ත්වයකදී ගම ආරක්සා කර ගැනීම සඳහා වෙනත්   ප‍්‍රදේශවලින් ගමට පුද්ගලයන් ඇතුළුවීම වළක්වාලීමට වැඩපිළිවෙළක් සැකසීම.
-  ඉලක්ක වන පාර්ශ්වය බේරා ගැනීම සඳහා අනෙක් පාර්ශ්වය කටයුතු කිරීම.

පන්සියයකට ආසන්න පිරිසක් එකවර ගම තුළට කඩා වැදුණු හෙයින් ගමන්ට කර කියා ගත නොහැකි තත්ත්වයක් උදාවූ බව ද තුම්මෝදර ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා පැවසීය.
 

මේ මැරයන් දේපල පමණක් නෙමෙයි අපේ හිතුත් කඩා දැම්මා

”අපි පුලූවන් තරම් උත්සාහ කළා පිට ගම්වලින් මේ ගමට එන පිරිස වළක්වන්න. නමුත් පිරිස වැඩි නිසා යමක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අය ඇවිල්ල ගහගෙන ගහගෙන ගියා. පල්ලි දෙකටම ගැහුවා. හැබැයි අපිට පුළුවන් වුනා අපේ ගෙවල්වලට මේ අය දාගෙන දොරවල් වහන්න. මේ සිංහල ගෙයක් කියලා ගෙවල් කීපයක් බේරගන්නත් අපිට හැකිවුණා. ඒ අය කඩලා, බිඳලා ගියේ මේ ගෙවල්, පල්ලි විතරක් නෙමෙයි. අපේ හිතුත් ඒ අතර තියෙනවා.”

මේ වන විට මෝදර ප‍්‍රදේශයට නාවික හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබේ.
පාස්කු ඉරු දින ප‍්‍රහාරයෙන් සති තුනකට පසු දියත් වූ මුස්ලිම් විරෝධී රැල්ල දේශපාලන වුවමානවක් මත සිදු වූ බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වේ.

එකිනෙකා කෙරෙහි බිය සැක ඇතිවන ආකාරයෙන් පුවත් වාර්තා කළ බවට ඇතැම් මාධ්‍ය ආයතන ද චෝදනාවට ලක්වෙමින් පවතී.

අසූ තුනේ ”කළු ජූලිය” අතුරතුරදී මෙන් පසුගියදා දියත් වූ ප‍්‍රහාර අතරතුර ද කොල්ලකෑම් සිදුව ඇති බව තවත් එක් චෝදනාවකි.

 
බී.බී.සී.සිංහල වෙබ් අඩවියෙනි





2019-05-16
Advertisement

Find us on Facebook