English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත ඝාතනයට සම්බන්ධ මේජර් බුලත්වත්ත හමුදාපති අණින් යළි සක්‍රිය සේවයට !

ලසන්ත ඝාතනයට සම්බන්ධ මේජර් බුලත්වත්ත හමුදාපති අණින් යළි සක්‍රිය සේවයට !

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ප්‍රභාත් බුලත්වත්ත නොහොත් බුලත්වත්තේ වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්තගේ යන නිලධාරියාව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා විසින් යළි සක්‍රිය හමුදා සේවයට පත්කර තිබේ.

 

මරදාන ට්‍රිපොලි යුධ හමුදා බුද්ධි අංශ අනුඛණ්ඩයට සම්බන්ධ මේජර් බුලත්වත්ත යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමට ද නේශන් පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසනයට ලක් කිරීම ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මේජර් බුලත්වත්ත දැනට ඇප මත නිදහස්ව සිටී. අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුනු වහාම ඕනෑම රජයේ සේවකයකු වැඩ තහනමට ලක්වෙයි. ඔහුට යළි සේවයට පැමිණිය හැකි වන්නේ අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වුවහොත් පමණි.

ඒ අනුව හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉතාම පැහැදිලිව සචේතනිකව රාජ්‍ය සේවයේ පත්වීම් පටිපාටිය උල්ලංඝනය කර තිබේ.

එසේම, මෙම බුලත්වත්ත සේවයෙහි පිහිටුවීම හරහා ලසන්ත ඝාතනය ඇතුළු දැනට ක්‍රියාත්මක විමර්ශන ගණනාවකට බරපතළ බලපෑමක් එල්ල වනු නිසැකය. කීත් නොයාර් පැහැරගෙන යාම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු හමුදාව සම්බන්ධ අපරාධ ගණනාවකම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්පූර්ණ කරගැනීමට මෙතෙක් නොහැකි වූයේ ද හමුදාපති මහේෂ් සේනානායක ඊට අදාළ සහයෝගය නොදුන් නිසාය, බාධා පැමිණවූ නිසාය.

මේජර් බුලවත්තලා අත් අඩංගුවට පත්වූයේ ඔවුන්ගේ බුද්ධි අංශ රාජකාරි නිසා නොවේ. ඔවුන් අත් අඩංගුවට පත්වූයේ සිය බුද්ධි අංශ රාජකාරි පසෙක තියා බලයෙන් උමතුවූ රාජපක්ෂලාගේ පුද්ගලික පළිගැනීමේ වුවමනාවන් සන්තර්පණය කිරීම සඳහා මිනීමැරූ නිසාය, පුද්ගලයින් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම නිසාය. එහෙත් හමුදාපතිවරයා රූපවාහිනී සංවාදයකදී කී කතාව අනුව ඔහු සිතා සිටින්නේ බුලත්වත්තලා නොමැතිව සමස්ත බුද්ධි අංශයම ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවක්ය. සරලව කිවහොත් බුලත්වත්තලා නැතිනම් බුද්ධි අංශ නැති ගාණේ කතාවක්ය. මෙය සමස්ත බුද්ධි සේවාවටම කරන දරුණු අපහාසයක් බව ද සටහන් කළ යුතුය.

රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු රාජකාරිය වෙනුවට වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පාලකයින් පිනවීම සඳහා ඔවුන්ගේ කුණු කොන්ත්‍රාත් කරගසමින් මිනීමැරූවන් ආරක්ෂා කිරීමෙන් ලොව කිසිදු හමුදාවකට කීර්තියක් අත් වන්නේ නැත. මහේෂ් සේනානායක මහතා ද හමුදාව අපකීර්තිය වෙතම තල්ලු කරන බව පැහැදිලිය.

lankanewsweb.net




2019-05-16
Advertisement

Find us on Facebook