English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නූතනත්වයේ ඉදිරියට පියවරක් පැත්තකට- පශ්චාත් පාස්කු දේශපාලනය


නූතනත්වයේ ඉදිරියට පියවරක් පැත්තකට- පශ්චාත් පාස්කු දේශපාලනය- ටෙරල් අබේසිංහ

පෙර සටහන

යටත් විජිතවාදීන විසින් ස්ථාපනය කර ලාංකීකයන් විසින් වසර 70කට අධික කාලයක් පවත්වාගෙන ගිය ජාතික රාජ්‍ය, එහි ඉතිහාසයේ බරපතලම අර්බුදයට මුහුන දී සිටියි. ලාංකීක රාජ්‍ය යනු අර්බුදයන්ගෙන් ගහන රාජ්‍යයකි. එහි පුරවැසියන් දිගින් දිගටම තමන්ට යුක්තිය ඉටුනොවන බව මැසිවිලි නඟති. සමහර කණ්ඩායම් උද්ඝෝෂණ, වර්ජන පවත්වන අතර ඉන් ඔබ්බට යමින් තෙවර්ක්ම එයට විරුද්ධව සන්නද්ධ අරගලයන් ද දියත් කරන්නට විය. රාජ්‍යයේ බහුතර බලය හා නියෝජනය හොබවන සිංහල ජනතාව තම අනන්‍යතාවය අර්බුදයට හෙලන බවට චෝදනා කරන අතර, සුලුතරයන් වන දෙමල හා මුසල්මානුවන් තම අනන්‍යතවය පිළිබඳව ද එම මැස්විල්ලම ඔවුන්ට අනුව නගනු ලබති. සියලුම ජන කොටස්වල වැඩ කරන ජනතාව තම අයිතීන් දිනෙන් දින අහෝසි වීමට විරුද්ධව උද්ඝෝෂණය කරයි. ඒ වගේම ශිෂ්‍ය ප්‍රජාව ද දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් අර්ගල කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවාහන සෙවාවන් ඇතුළු සියලූම යටිතල පහසුකම් අභාවයෙන් ආභාවට යමින් තිබේ. මේකි නොකී සියලූම අර්බුදයනට විවිද දෘෂ්ට්වාදයන් මත පිහිටා වෙනස් වෙනස් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන විවිධ යොජනාවන් ගෙන එමින්, එම යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සඳහා විවිධ උපාය උපක්‍රම තෝරමින් ක්‍රියාතමක වන්නට වූ අවස්ථාවක දී ජෙසුස් ක්‍රිස්තූස්ගේ උත්ථානය සිහිපත් කරන අප්‍රේල් 21වන දින පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කරන ලද තත්ත්වය විසින් සුවිශේෂී අවස්ථාවක් ඉතා කුඩා කාලයක් තුල ඇති කරන්නට විය. ඒ මගින් රාජ්‍ය හා දේශපාලන සංවිධානයන් පමණක් නොව සණස බැංකුව හා මරණාධාර සමීතීන් යන ක්ෂුද්‍ර ඒකකයන් දක්වාම අර්බුදයට යවා ඇත. මේ වනාහී ලංකා රාජ්‍යය මෙතෙක් මුහුණ දිය හැකි උපරීම අර්බුදකාරී තත්වයක් යැයි බැස ගත හැකි නිගමනය යථාර්ථයක් කරන්නේ ය.



රාජ්‍ය හා සම්මුතිය

රාජ්‍යයක් යනුවෙන් නිර්චනය වන්නා වූ මූලික නිර්ණායකයන්ට අමතරව, දේශපාලන හා ආර්ථික ප්‍රථිපත්තීන්, සංස්කෘතික අංශයන් යනාදී එකිනෙකෙන් වෙන් කළ නොහැකි ලෙස වෙලී පවතින කාරණා මුල් කරගෙන ගොඩනගා ගන්නා ව්‍යුහයක් වේ. මේ ව්‍යුහයන් රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වූ ස්වරූපයන් ගනී.ඒ වෙනස්කම්වල මූලික පදනම වනුයේ ලෝකය; එනම් තමන් හා තමන්ගෙන් භාහිර පවතින දේවල් පිළිබඳව සංකල්පයන් ගොඩනගා ගන්නා ආකාරයයි. එනම් අපෙන් භාහිරව පවතින ලෝකය පිළිබඳව ගොඩනගා ගන්නා සම්මුති සත්‍යයයි.මේ සම්මුති ගත්වීමේ මාදිලීන් අතර ප්‍රධාන වාර්ගීකරණයන් දෙකක් ලෙස නූතනවාදය හා සම්ප්‍රදායවාදය යන්න මෙම සාකච්ඡාව සඳහා යොදා ගනිමි. මෙම සම්මුති ගත වීම නූත්නවාදය ද සම්ප්‍රදායවාදය ද කියා වෙනසක් නැත. ඇත්තේ වෙනස් වු සම්මුතීන් ය. රාජ්‍යයක් ගොඩ නැගීම යනු ම සම්මුතියකට මිනිසුන් යටත් කිරීමකි. බහුතරය සම්මුති ගත වූ කල ඒ රාජ්‍යය සාමකාමී වන අතර, බහුතරය පවතින සම්මුතිය සමඟ විසම්මුතියට යන විට එක්කෝ රාජ්‍යයේ සාමය බිඳ වැටීම හෝ නොයෙක් ගැටුම්වලට මුල පිරීම ඊට ආවේනික ස්වභාවයකි. එසේත් නැති නම් නව සම්මුතියකට එළඹීම සිදු කරයි. එමෙන්ම මෙම රාජ්‍යයන් කිසිවිටක හුදකලාව පවතින තනි තනි ඒකකයන් වශයෙන් නොපවතී. මේ නිසා රාජ්‍යයන් අනෙක් රාජ්‍යයන් සමඟ සම්බන්ධතා ගොඩ නගා ගනී. එම ක්‍රියාවලිය නව තත්වයක් නොවේ, එය වසර දහස් ගණනක් ඈතට දිව යන්නකි. මිතුරු සම්බන්ධතා මෙන්ම යටත්කර ගැනීම් හරහා ද මෙය සිදු වේ. අධිරාජ්‍යයන්, යටත් විජිතයන් හා 21වන සියවස වනවිට ඇති තාක්ෂණ යන් ද භාවිතා කරමින් ඊනියා ගෝලීයකරණය නමින් ද සිදු වන්නේ එයයි. රාජ්‍යයන් හා ගෝලීය සම්බන්ධතා මුල් කරගනිමින් බලවත් හා බලවත් නො වන රාජ්‍යයන් වශයෙන් ලෝකය දෙකට බෙදී ඇත. බලවත් රාජ්‍යයන් අතර මෙන්ම එසේ නො වන රාජ්‍යයන් අතර ද රාජ්‍යය ගොඩ නැගීමේ මූලික පදනම සම්මුතිය තුල ඇති වුවත් රාජ්‍යයන් පුලුල් කරගැනීමේ හෝ බලය පතුරවා සිය අණසක සම්බන්ධයෙන් ඇති පදනම්වල ඇති සම්මුතීන්ගේ වෙනස්කම් ඇත. සමස්තයක් ලෙස ගත් කළ ලොව පුරා බලය පතුරවමින් සිටින්නේ මෙම නූතනවාදය මත පදනම් වු රාජ්‍යයන්ය.



නූතනවාදය

මේ නූතනත්වය යනු කුමක් ද? කෙටිම අර්ථකථනය නම් නූතනත්වය යනු පුද්ගලවාදය මුල් කරගනිමින්, තමා හා භාහිර ලෝකය සමඟ සම්බන්ධතා ගොඩනගා ගන්නා මාදිලියයි. එහිදි මූලික වනුයේ පුද්ගලයෙකු ලෙස කෙනෙකු තෘප්තිමත් වන්නේ ද යන්න ය. මේ තෘප්තිමත් විමේ සීමව කුමක් ද? ඒ සිමාව ලකුණු කිරීම නූතනවාදය තුළ ඇත්තේ පුද්ගලයාටම ය. නමුත් කාරණය වන්නේ තනි පුද්ගලයෙකුට තනිවම තම සියලුම වුවමනාවන් පියවාගැනීමට කොහෙත්ම නො හැකි වීමයි. අවසානයේ සිද්ධ වී ඇත්තේ පුද්ගල තෘප්තිය පියවීම සඳහා සමාජ ආර්ථික ක්‍රමයක් වර්ධනය වීමයි. එම ක්‍රමය නම් අපි කවුරුත් දන්නා ධනවාදයයි. ධනවාදය හා විද්‍යාව නූතනත්වවාද හා අත්වැල් බැඳගෙන වේගයෙන් ගමන් කරයි.

පුද්ගල විමුක්තිය ලබාගැනීමේ මාවත ‍යැයි කියා ගන්නා මේ ධනවාදය මිනිස් සම්බන්ධතා ද පරිසරය ද පුදගල විමුක්තියේ නාමයෙන් ‍යැයි කියමින් විනාසයෙන් විනාසයට ගෙන යමින් තිබේ. මේ තත්ත්වය සාර්ව හා ක්ෂුද්‍ර අර්ථයෙන් අවබෝධ කර ගැනීම සඳහා ඇති යෝග්‍යතම වැඩබිම වන්නේ නූතනත්වයේ තිඹිරිගෙය වන බටහිර යුරෝපයේ සමාජ තත්ත්වය පිළිබඳ සූක්ෂමව නිරික්ෂණය කිරීමයි (මෙහිදි මාගේ නියැදිය වෙන්නේ, බටහිර යුරෝපයේ ප්‍රමාණයෙන් කුඩා වුවත්, ආර්ථික හා තාක්ෂණයෙන් සංවර්ධිත, පුද්ගල නිදහස, ප්‍රජාත්න්ත්‍රවාදය හා ෆෙඩරල් රාජ්‍යය මොඩලයල යන විෂයන්වලදී උදාහරණයක් වශයෙන් ගන්නා සුවිස්ටර්ලන්තයයි ). මෙහිදි පුද්ගල නිදහස යනු හුදු නීතිය අයිතිවාසිකම් වල සීමව නොවේ. එය වනාහී ගැඹුරු මුල් සහිත සංස්කෘතියකි. අද මෙහි වැසියා ගේ සංස්කෘතිය යනු වසර සිය ගණනක් පුරාවට වර්ධනය වෙමින් පැමිණ කූටාප්‍රාප්තියකට ලගා වෙමින් සිටින බව නිරික්ෂණ හා පරීක්ෂණවලින් පෙන්නුම් කරයි. උදාහරණ ලෙස මීට අඩසියවසකට කලින් උපන් පරම්පරාවේ අය දික්කාසද වීම සම්බන්ධව ලැබූ අත්දැකීම හා ඒ පරම්පාරාවේ දරුවන් අත්විඳින අත්දැකීම විශාල පරතරයක් ඇත. මූලින් කී පරම්පාරවේ කෙනෙකුගේ පාසලේ පන්තියක ( අවමය ළමුන් 20ක් පමණ සිටින ) මව හෝ පියා සමග පමණක් හැදී වැඩේන (Single parent )දරුවන් සිට ඇත්තේ උපරීමය දෙදෙනෙකුයි. නමුත් දෙවනුව කීව පරම්පරාවේ දරුවන්ගේ පන්තියක 50% ට අදික ප්‍රමාණයක් ( අවමය ලමුන් 12ක් පමණ සිටින ) මව හෝ පියා සමග පමණක් ජිවත් වෙන දරුවන්ය. විවාහය යනු කෙසේ හෝ පවත්වාගෙන යායුතු නැති සංස්ථාවක් බව ද , මේ වනාහී පුද්ගල නිදහස තහහුරු වී ඇති බවට හොඳ උදාහරණයක් යැයි කෙනෙකුට කිව හැකි ය. නමුත් ප්‍රශ්නය වනුයේ, මේ තුළින් ඇති වී ඇති සමාජ හා පුදගල අර්බුදයන්ට පිළිතුරු සෙවීම බරපතල කාරණයක් බවට පත්වී ඇති බැවිනි. දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නය අති බැරැරුම්ය. වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් විසාදියෙන් පෙළෙයි. සමාජ සුභසාදන ක්‍රියාවලිය සංකීර්ණ වෙනවා පමණක් නොව එය සමාජයක් වශයෙන් දැරිය නොහැකි පිරිවැයක් බවට පත්වෙමින් තිබේ. විද්‍යාවේ වර්ධනයන් විසින් මිණිසාගේ ආයූ කාලය වැඩිවෙමින් තිබේ. වසර 85-90 යනු සාමාන්‍ය ආයු කාලයක් වෙමින් තිබේ. මෙය සතුට උපදවන දත්තයකි. නමුත් ගැටලුව වනුයේ නූතනත්වයේ පදනමක් වෙන පුද්ගලවාදය විසින් විසෘත පවුල පිළිබඳව ගොඩ නැගී ඇත්තේ නව තත්වයකි. බහුතර වැඩිහිටියන් ගේ ජිවිතයේ අවසාන කාලය තම නිවස තුළම හෝ වැඩිහිටි නිවාසයක හුදකාලාව තුළ ගිලී වේදනා කාරි වෙමින් තිබේ. ඔවුන් ද විසාදියට හා අනෙක් මානසික ආත්තියනට ලක් වීම සුලබ වී ඇතිවා මෙනම් එම තත්වය සමාජ අර්බුදයක් දක්වා වරධනය වෙමින් තිබේ.සිය දිවි හානි කරගැනීම වෙදනා කාරී ලෙස දිනෙන් දින ඉහල යමින් තිබේ. ඒ සඳහා පරම්පරා වෙනසක් ද නැති බව දත්තයන් කියා සිටී. නුතනවාදය විසින් විශේෂයෙන් බටහිර යුරෝපයේ දී අභාවයට යවන ලද සම්ප්‍රදායවාදය ද අහිංසක වාදයක් නොවේ. එය විසින් තදබල ලෙස සිමා කරමින් දෙන ලද කොන්දේසි මත ප්‍රශ්න කිරීමකින් තොරව දිවිගෙවීම මිනිසාගේ එකම ඉරනම බවට පත් කරන ලදී. නුතනවාදයත්, එහි ආර්ථික හා සමාජ සම්බන්ධතා හී පදනම වන ධනවාදය ඉතිහාසයේ අත් වැරදීම් නොවේ. ඒ වනාහී පැවති පීඩාකාරී තත්වයට ප්‍රතිචාරත්මකව සබුද්ධිකව ගොඩනගා ගත්තා වූ තත්වයකි. නව තත්වය විසින් මිනිසා බැඳ තැබු විශාල දම්වැල් ප්‍රමාණයක් කඩා ඉවත් කරන ලදී.එය විප්ලවීය කාර්‍යයකි. නමුත් යාථාර්ථය වනුයේ එය විසින් මිනිසාට හා සමාජයට ලබා දුන් ජයග්‍රහන සිය ගණනක් පසෙකට ඇද දමමින්, එය විසින් ඇති කර ඇති අයහපත් තත්වයන් සමාජය වෙලා ගනිමින් තිබීමයි. ඉහත කී තත්වයන් තුළ අසුභවාදයේ පතුළට වැටීම වෙනුවට සුභවාදීව සිතිමට අවශ්‍ය පෙරනිමිති මේ සමාජය තුළින්ම මතුවෙමින් තිබේ. සමාජ සමීක්ශනයන්ගේ දත්තයන් ට අනුව නව පරම්පාරවේ විශාල සහභාගිත්වයක් සමගින් නුතනවාදය විසින් අති කර ඇති අයහපත පිටු දැකීම මේ සමාජය තුළින්ම මතු වෙමින් තිබේ. පරිසරය රැක ගැනීමේ පදනමින් ඇති වී ඇති මේ ව්‍යාපාරය සඳහා සමාජයයේ 25% වැඩි පිරිසක් අනුමැතිය මේ මොහොත වනවිටත් ලැබෙමින් පවති. ඒ වනාහී හුදෙක් ‘ගස් කපන්න එපාය’ යන්නක් නොවේ. එම පිබිදීම තුලින් විවේචනයට ලක්වෙනුවේ, පරිභොජනවාදය, පුද්ගලවාදය වැනි නුතනවාදයේ බලවත්ම සංටඝකයි. මේ වනාහී සමාජය ඥානවිභාගාත්මකව කණ්ඩණය වීමක පෙරනිමිතියි.



දැනුමේ ධ්‍රැවීයකරණය

මිනිසා පෙලූ සප්‍රප්‍රදායවාදය තුළින්ම මතු වූ නූතනවාදයේ විමුක්තිවාදී හරය එහි ඇති විනාශකාරි හරයන් සමග නොනවතින අරගලයක නිරතවෙමින් සිටී. එම අරගලයේ අංකුර සමගින්ම නුතනවාදය ලෝකය පුරා අනසක පතුරවමින් සිටී. නුතනවාදයට ප්‍රතිචාරාත්මකව ගොඩ නැගුණු සමාජවාදි රාජ්‍ය පද්ධතිය විකල්පයක් වෙනවා වෙනුවට තවත් පීඩාකාරී රාජ්‍යය පද්ධතියක් වී අවසන් හුස්ම හෙලීය. ඉන්පසුව නූතනවාදයට හා එහි සමාජ මාදිලිය වූ ධනවාදයට ප්‍රභලම ප්‍රතිවිරෝධය එල්ල වෙමින් තිබෙනුයේ ඉස්ලාම්වාදය හා විශේෂයෙන්ම එහි අන්තවාදයෙන්ය. ධනවාදය පදනම් වන නූතනවාදය හා ආගම පදනම් වන ඉස්ලාම්වාදය යන්නත් හඳුනාගත හැකි වන්නේ මිනිසුන් ලෝකය සමග සම්බන්ධතා ගොඩ නගා ගන්නා දෙයාකාරයක ඥානවිභාගයන් ලෙසය. ඒ අතර වෙනස ලකුණු වෙනුයේ , නුතනත්වය තර්කනය (Reasoning) මත පදනම්ව ගොඩනැගීමත් ඉස්ලාම්වාදය හා එහි අන්ත්වාදය දිව්‍යමත්වය (Divine)මත පදනම්ව ගොඩ නැගීමත්ය. මේ මොහොතේ දි මේ දෙයාකාරයම මිනිසත්භාවයන් වෙනුවට ම්ලේච්ඡත්වයන් ශක්තිමත් කරමින් සමාජයන් ගිල ගනිමින් අර්බුදයන්ගේ පරිමාව ප්‍රසාරණය කරමින් සිටි. බර්ලීන් තාප්පය බිඳ වැටීමෙන් පසුව ලෝක බල දේශපාලනයේ බලපෑම් සගතම හැරවුම් ලක්ෂයක් වු ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කිරීමෙන් යෝධ ජවයකින් හිස එසවූ ඉස්ලාම් අන්ත්වාදය ලිබියාව හා සිරීයාව ප්‍රමුඛ තවත් ඉස්ලාම් රාජ්‍යයන් හි ඇති වි තිබෙන දේශපාලන අර්බුද හේතුවෙන් අත්තටු ලබා ලොව පුරා පියාඹමින් සිටී.අප්‍රියල් 21වෙනිදා ක්‍රිස්තියානි පල්ලි තුළ හා තරු පහේ හොටල් තුළ පුපුරා ගිය මිණිස් බොම්බයන් හී උප්පත්ති කතාව ඉතාමත්ම සැකවින් එසේය.



මඟ හැරිය නො හැකි අර්බුද

සාමය හා සාධාරණත්වය වෙනුවෙන් කුරුසය මත තම දිවිදුන් ජෙසුතුමා උත්තාන වූ බව කියා පාන 2019 පාස්කු ඉරිදා වසර 70කට වඩා වයසැති ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය පරක් තෙරක් නොපෙනෙනා අර්බුද රාශියක ගිල්වා දමා ඇත. ඒ පිළිබඳව විස්තරාත්මක්ව අදහස පළ කිරීම පසුවට තියා අර්බුදයන් කිහීපයක් කෙටියෙන් හඳුනා ගනිමු.

ශ්‍රී ලංකාව භූ දේශපාලනික සිතියෙමේ ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබිම මේ අර්බුදය තවත් සංකීර්ණ කරයි. ආසියාතික කාලාපය තුළ තම අනසක පිහිටවිමේ දි ශ්‍රී ලංකාව තමන් වෙත නතු කර තබා ගැනීම අවශ්‍යම සාධකයක් වේ. ලෝක ආර්ථික, යුද හා දේශපාලන බලය කාලයක් තිස්සේ අත්පත් කරගෙන සිටින ඇමරිකාව ප්‍රමුක යුරෝපයට විශාල අභියෝගයක් වෙමින් චීනය හා ඉන්දියාව නැගී සිටියි. 2015 ජනවාරි ය දක්වා රාජ්‍යයේ බලය හෙබ වූ දේශපාලන බලවේගයන්ගේ ගෝලීය බල දේශපාලනය කෙරෙහි වූ පක්ෂපාතීත්වය පැහැදිලිව තිබිණි. නමුත් යහාපාලන ආන්ඩුව යටතේ එය ඊට පෙරමෙන් පැහැදිලි නැති විය.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇමරිකානු/ යුරොපීය හිතවත් දේශපාලනයක නිරත වුවද, චීනය හා ඉන්දියාව මගහරීමින් තම මාමා වන ජේ.ආර් ජයවර්ධන ගත් දේශපාලන තීන්දුව වැනි තද තීන්දුවක් ගැනීමට ඔහුට නොහැකි ය. එ් සඳහා චීන ණය උගුලේ රට හිර වී ඇති ප්‍රමාණය තරමටම, ඔහු එක මතයකට තම පක්ෂය වන එ.ජා.පය වත් යටත් කරගැනීමට නො හැකියාවකින් පෙලීමත් මූලික කාරණාවක් වේ. ජාත්‍යයන්තර දේශපාලනය යන වැදගත්ම ක්ෂේත්‍රය තුළ මංමුලා වු ස්භාවයක සිටි මොහොතක ඉස්ලාම් අන්ත්වාදින් එල්ල කළ ප්‍රහාරය විසින් තත්වය තවත් බැරැරුම් කරන්නට විය. ඉස්ලාම් අන්ත්වාදය ඇමරිකාව විසින් ඇති දැඩි කළා වුවත්, එයටම ආවෙනික වූ සිතිමේ රටාවක් හා සෘජු දේශපාලනික නො වුණත් ඉලක්කයක් තිබේ. එය ඇමරීකවට ද තර්ජනය කරමින් සිටි. මේ වන විට එම තර්ජකයා තම අනසකට යටත්ව පැවතිය යුතු භූමියකට ඇතුල් වී ඇත. ඇතුල් වී පමණක් නොව එම රාජ්‍යය හිරීවට්ටා දාම ඇත. මෙවන් ආරාජිකත්වයක් මොනම බලවෙතෙකුටවත් වාසි දායක නැත. දැන් ඇමරීකවේ මැදිහත් වීම පිළි ගැනීමටවත් ප්‍රථික්ෂේප කිරීමටවත් පුළුවන් පෞරෂයත්වයකින් යුතු රාජ්‍යය මෙහෙවන්නෙක් නැත. චීනය කවදත් කොතනත් රාජ්‍යයන් නතු කරගන්නේ එම රාජ්‍යයන් ණය උගුල තුලට කැදවා එය තුළ දනින් වැට්ට විමෙන්ය. ලංකාව මේ වන විටත් චීනය ඉදිරියේ දනින් වැටී අවසානය. නමුත් ඇමරීකව තම අනසක පතුරවනුයේ යුද හා දේශපාලනය බලය තුලින්ය. දැන් ඒ සඳහා ඔනාවටත් වඩා අවකාශයක් දැන් රට තුළ නිර්මානය වී ඇත. ඉන්දියාව නම් බලගතු අසල්වැසියාගේ පංගුව මොන තත්වයක් යටතේ වුව ද පිදිය යුතුමය. 2019 අප්‍රියල් 21වන දා පටන් මේ බලවතුන් එලිපිටම රිසිසේ රට තුළ තම බල දේශපාලන ක්‍රිඩාව කරනු ඇත.රටේ ඇති ආර්ථික, දේශපාලන තත්වය යටතේ ශ්‍රී ලංකා රාජ්‍යයට හා එහි බාර කරු වූ ආණ්වුවට කළ හැක්කේ ග්‍රවුන්ඩ් බොයි ගේ කාර්ය පමණකි. මේ අභියොගයට මුහුණ දීම මොනම බලවේගයකටවත් පහසු නැත.



ප්‍රගතිශීලීත්වය වළකින් වළකට

දුර්වලව වුවත් පවතින වාමාංශික ව්‍යාපාරය, ප්‍රගතිශීලින් හා සමාජ ප්‍රජාත්න්ත්‍රවාදින් ද වැටී ඇත්තේ හසරක් නො පෙනෙන දේශපාලන වලකය. කාලයක් සිට රාජ්‍යය ප්‍රජාත්න්ත්‍රවාදීව ප්‍රති ව්‍යුහ ගත කිරීම වෙනුවෙන් සටනක නියුතු ඔහුන් මුහුන දුන් මූලික අභියොගයන්ගෙන් එකක් වූයේ සුළු ජාතින්ට තම අනන්‍යතාවය රැක ගැනීමට හැකි රාජ්‍යයක් ගොඩ නැගීමට විශේෂයෙන් රටේ බහුතරය වන සිංහල ජාතියේ සිතිමේ රටාව වෙනස් කර ගැනීමයි. වසර 30 ක යුද්ධය විසින් එය සංකීර්ණ කළත් යුද්ධය අවසාන වී වසර දාහයකට ආසන්න වෙන මේ මොහොතේ, එය පෙර පැවැති තත්වයෙම නොවීය. යුද්ධයෙන් පසුව විශේෂයෙන් මුස්ලිම් ජන කොට්ටාසය එල්ල කරමින් කරලීයට පැමිණි විරෝධය හුදු සිංහල අන්තවාදි කණ්ඩායම් කිහිපයක බල වුවමනාවක් මත පමණක් සිද්ධ වෙන්නක්ය යන තර්කය කොයිම ආකාරයෙන්වත් සාධාරණීය කරණය කර ගත නොහැකි තත්වයකට 21වන දා ප්‍රහාරය හා මුස්ලිම් ජනතාවගේ මැතක පටන් නැගී එන සංස්කෘතික විපර්යාස්යන් විසින් පෙන්නුම් කර ඇත. බුර්කාව මුල් කරගනිමින් ඇති වී ඇති කතිකාව මේ සඳහා ඇති හොඳම නිදසුනයි. සංස්කෘතික අයිතියක්ය යන කාරණාව මත එය පැළදීමට එකඟ වුවහොත් ආරාක්ෂාව යන මේ මොහෝතේ ඉතා සංකීර්ණ මාතෘකාව ඉදිරියෙ දි ඔහුන් නිරුත්තර වෙති. ස්ත්‍රී අයිතීන් යටතේ එය ඉවත් කළ යුතුයි කිවෝත් සංස්කෘතික අයිතියකට පිටුපැමේ පාප කර්මයට කර ගැසිමට සිදු වේද කියනා දෙගිඩියාව තුළ ඔවුන් සිරවෙති. පන්ති පීඩනය අහෝසි කිරීමෙන් සියලුම පීඩනයන් අහෝසි වීමේ මාවත විවර වෙනවායැයි උදේ හවා ජප කළ කණ්ඩායම් හතර ඝාතයෙන් වැටී ඇති ධනපති රාජ්‍යයට පණපෙවීම හැර මේ මොහෝතේ කළ හැකි අන්කවරකවත් සිතා ගැනීමට නොහැකි තරමට අන්ද මන්ද වී සිටී.

සුළු ජාතියේ අවම අභිලාසය

බහුතරයේ පීඩනයට විරුද්ධව අරගල කර අවසානයේ වසර 30 දිග්ගැසුනු යුද්දයක මූලික වින්දිතයා වු දෙමල සමාජය යුද්දයේ වේදනාකාරී මතකයන් තුළ සිට අප්‍රියල් 21 වනදා දක්වා ඉල්ලා සිටියේ රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව මෙන් අවම නිදහසවත් විඳීමට එම ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු ඉවත් කරන මෙන්ය. තම ආත්ම ගරුත්වය හා නිදහසේ නාමයෙන් ඉල්ලා සිටි අවම ඉල්ලිම ද අත හැර දමා හමුදාවනට එහි රැඳී සිට තමනට ආරාක්ෂාව සපයන මෙන් ඉලලා සිටිම දක්වා එම සමාජය තල්ලු කිරීමට මේ මේලේච්ඡ ප්‍රහාරය ප්‍රබල විය.



සිංහල ජාතිකවාදය

සිංහල ජාතිකවාදීන්ගේ විශේෂයෙන් නලීන් ද සිල්වා මහතාගේ චින්තනය මත පිහීටි කණ්ඩායමේ ඉරණමේ ද වෙනසක් නැත. සියලු රෝගයන්ගේ මූලය වනුයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි නූතනවාදයැයි කියමින් මේ මොහොතේ එහි හතුරා වු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව මෘදු කෝණයකින් අදහස් දැක්වීම තාර්කික අවසානයට සේන්දූ වී තිබේ . ඔහුන්ගේ දෙපරැන්දේ පුපුරා ගිය අන්තවාදී මිනිස් බෝම්බය විසින් ජාතික චින්තනයේ පුරුශ නිමිත්තට බරපතල හානි පමුණුවා ඇත. ජාතිකවාදී දේශපාලන භූමියේ අනෙක් ගලිවර් වූ චම්පික රණවක පිළිබඳව මේ මොහොතේ විශේෂයෙන් කීමට දෙයක් නැත. මක් නිසාද යත් ඔහුගේ දේශපාලන ආස්තානයන් තිරණය කරනු යේ භූමියේ ආතතියන් මතය. ඔහුගේ භායානක දේශපාලන සූදුව සමාන වෙන්නේ දූරියන් වාරයට දූරියන් ද ගඩු ගුඩා වාරයට ගඩු ගුඩා ද වෙළදාමේ යෙදෙන වෙළෙන්දෙකුටය.

අර්බුදයන් යනු නව මාවත් විවර කර ගැනීමට සමාජයක් පොළබවනු ලබන ගාමක බලයක්ය. මිනිසාගේ අභ්‍යන්තර හා භාහිර අර්බුදයන්ට මෙතෙක් නිර්මාණය කරගෙන ඇති සෑම විසඳුමක්ම එහි ප්‍රථිපලයි. මේ සංකීරණ අර්බුදය අපට කියා සිටින්නේ අප මෙතෙක් විසදුම් ලෙස විස්වාස කළ බොහෝ විසදුම් යල් පැන ඇති බවයි. එය විසින් අපට කියා සිටින්නේ පහසු නැති නමුත් අන් විසඳුමක් ද නැති බවයි. කළ යුත්තේ සන්සුන් වී නැවත මුළ සිට සිතීමට පටන් ගැනීමයි. ඔව් ඒ හැර අන් විසඳුමක් නැත.

ටෙරල් අබේසිංහ
opiumaleft.com



2019-05-05
Advertisement

Find us on Facebook