English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආරක්ෂක ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ නෛතික වගකීම


වර්ෂ 2019 අපේ‍්‍රල් මස 21 වන දින මෙරට සිදු වූ මිලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාර හා සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශයන් මේ වන විටත්  දිවා රෑ වෙහෙස නොබලා පරීක්ෂණ සිදු කරගෙන යයි.

එසේම, මෙම ප‍්‍රහාරය සිදුවීමට පෙර ඒ පිළිබඳව දෙස් විදෙස් බුද්ධි අංශයන් අනතුරු අගවා තිබූ බවට මාධ්‍ය මගින් තොරතුරු වාර්තා විය. මෙම ප‍්‍රහාරය පිළිබඳව පූර්ව තොරතුරු වර්ෂ 2019 අපේ‍්‍රල් මස 11 වන දාතම දරණ විශේෂ ආරක්ෂක දිසාව, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, විශ‍්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයන් දෙක  සහ තානාපති ආරක්ෂක කොට්ඨාසය දැනුවත් කළ බවටද මාධ්‍ය මගින් තොරතුරු වාර්තා විය.

මීට අමතරව, වර්ෂ 2019 අපේ‍්‍රල් මස 04 වන දින ඉන්දියාවේ ඔත්තු සේවා විසින් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශයන් වෙත යොමු කරන ලද වාර්තාවක් මගින් ප‍්‍රභූන් ඝාතන තැතක්, ක‍්‍රිස්තියානි සහ කතෝලික පල්ලි ඉලක්ක ගත ප‍්‍රහාරයක් හෝ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක ගත ප‍්‍රහාරයක් සිදු වීමේ හැකියාව පිළිබඳව දැනුවත් කළ බවද මාධ්‍ය වාර්තා පළ විය.

තවද, මෙම තොරතුරු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නියෝජිතයෙකු වන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා විසින් වර්ෂ 2019 අපේ‍්‍රල් මස 09 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළ බවද, ඊට අදාළ ක‍්‍රියාමාර්ගයන් ගන්නා ලෙසට නියෝගකර සිටි බවට තොරතුරු වාර්තා විය. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ පොලිස්පතිවරයා මෙම ප‍්‍රහාරය පිළිබඳව පූර්ව තොරතුරු දැන සිටි බවට සැකයක් අප තුළ මතු වේ.

තවද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා එක් ප‍්‍රහාරයක් සිදු වූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නිරීක්ෂණය කර පැමිණෙන විට විදේශීය මාධ්‍යවේදියෙකු විසින් විමසූ කරුණු කිහිපයක් සඳහා ලබා දුන් පිළිතුරු වලින් මෙම ප‍්‍රහාරයන් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් පූර්ව තොරතුරු දැන සිටි බවට පැහැදිලි වෙයි. මේ පිළිබඳව මාධ්‍ය වාර්තාවන් ද පළ විය. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් විදේශීය මාධ්‍යවේදියෙකුට සිදු කරනු ලබන කරුණු දැක්වීම පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

විදෙස් මාධ්‍යවේදියා - කවුද මේ ප‍්‍රහාරය පසුපස සිටින්නේ?

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා - මේ වෙද්දි ආරක්ෂක අමාත්‍යාංශය මේ ප‍්‍රහාරය ගැන දැනගෙන හිටියා කියලා තොරතුරු හුවමාරු වෙනවා.
සමහර දේවල් සිදුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි මේක ප‍්‍රජාතන්තවාදී රටක්. හදීසි නීති නැහැ. ඒක හින්දා අපිට කරන්න පුළුවන් බොහොම සුළු ප‍්‍රමාණයක්. තොරතුරු එකලස් කිරීම පිළිබඳව අපිට යන්න පුළුවන් සීමිත දුරකට විතරයි.

විදෙස් මාධ්‍යවේදියා - ඔබලගේ බුද්ධි අංශය අනතුරු අගවමින් කිව්වේ මොනවද?

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා - පොඩි සංවිධානයක්. හැබැයි බොහෝ සංවිධානාත්මක බලගතු කණ්ඩායමක් මේ සඳහා වගකිව යුතු බව. සොයාගත් තොරතුරු හෙළි කරන්න බැහැ. තවම විමර්ශන කටයුතු සිදු කෙරෙන නිසා. එෆ්. බී. අයි. එක අපිට උදව් කරන්න ඇවිත් ඉන්නවා. හෙට ඉන්ටපෝල් එක එනවා. අපි මේකේ පතුලටම හොයනවා මොනවද වුණේ කියලා.

විදෙස් මාධ්‍යවේදියා - ඔබලා අනතුරු ඇගවීමක් කළා නේද?

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා - ඔව්. යම්තාක් දුරට.

විදෙස් මාධ්‍යවේදියා - ඇයි සියළු දේවස්ථාන ආරක්ෂා කළේ නැත්තේ?

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා - අපි අදාළ ආයතන දැනුවත් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට යුද්ධය තිබුණ කාලේ අපි කවදාවත් හෝටල් ආරක්ෂා කළේ නැහැ. හෝටල්වල ආරක්ෂාව බලා ගන්නේ හෝටල් ආරක්ෂක අංශ. ඉදිරියටත් අපි හෝටල්වල ආරක්ෂාව ගැන බලාගන්නේ නැහැ. එයාලා හම්බ කරනවා. අපි ඉන්නෙ මහජනතාව සහ පොදු දේපළ ආරක්ෂා කරන්න.

විදෙස් මාධ්‍යවේදියා - ඔබලාට අනතුරු ඇගවීමක් තිබුණා නම් ඇයි දේවස්ථාන ආරක්ෂා කරන්න බැරි වුණේ?

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා - දේවස්ථාන කියලා අපි කොච්චරක් ආරක්ෂා කරන්නද? හැබැයි අපි දැනුවත් කළා. ඒත් අපි කවදාවත් මෙච්චර බරපතල ප‍්‍රහාරයක් බලාපොරොත්තු වුණේ නැහැ.

විදෙස් මාධ්‍යවේදියා - හැබැයි ඔබලට අනතුරු ඇගවීමක් කරන්න තිබුණා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන?

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා - තැන් තැන්වල ප‍්‍රහාර සිදුවෙනවා කියලා අපිට තොරතුරු ආවා. නමුත්, මේ තරම් පරිමාණයේ සිදුවීමක් කියලා අපි හිතුවේ නැහැ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ලබා දුන් ඉහත පිළිතුරු වලින් හැගී යනු ලබන්නේ ඔහු මේ පිළිබඳව පූර්ව දැනුවත්භාවයක සිටි බවය. ඒ අනුව, ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු සතු වගකීම පැහැර හැර ඇති බව ද, ඔහු අපරාධමය වගකීමක් පැවරිය හැකි නොසැලකිල්ලක් සිදු කර ඇති බවද පෙනී යයි. එමෙන්ම, ඔහු චේතනාන්විතවම අති විශාල මිනිසුන් පිරිසක් බරපතල අනතුරක හෙළා ඇත.

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් මෙම ප‍්‍රකාශය සිදු කරනු ලබන්නේ දේශීය මාධ්‍යවේදීන්ට නොව විදේශීය මාධ්‍ය ඉදිරිපිටදීය. එහි ඇති බැ?රුම්කම වන්නේ රටේ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි ප‍්‍රකාශයක් කරන්නේ නම් එය ඔහුගේ පෞද්ගලික අදහසක් නොව රජයේ සමස්ථ මතය වනු ඇති බව සෙසු රටවල් විශ්වාස කිරීමයි. එමගින් සිදුවන්නේ රටේ රජය කෙරෙහි මෙන්ම ආරක්ෂාව පිළිබඳව දෙස් විදෙස් ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීමය.  

මෙම ප‍්‍රහාරය පිළිබඳව පූර්ව තොරතුරු ලැබී තිබියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට චේතනාන්විතව වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා පොලිස්පති විසින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 297 සමග කියවිය යුතු අපරාධ නඩු විධාන සංගහයේ 21 වන වගන්තිය යටතේ සාපරාධී අපරාධයක් සිදුකර තිබේ.

මෙලෙස උග‍්‍ර නොසැළකිල්ලකින් කටයුතු කරමින් අපරාධමය වරදක් කර ඇති පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ජනයාගේ මූලික අයිතිවාසිකම්ද කඩ කිරීමට දායක වී ඇත. තමා කැමති ආගමක් ඇදහීමේ නිදහස, සාමකාමීව රැුස්වීමේ නිදහස හා නීතියේ සාධාරණ රැකවරණය ලැබීමේ අයිතිය යන ජනයාට ඇති මූලික අයිතිවාසිතම් මොවුන් විසින් කඩ කර ඇත.

එපමණක් නොව නොසැළකිලිමත් ලෙස කටයුතු කිරීම හරහා මෙහි වින්දිත පුද්ගලයන්ට වන්දි ලබා ගැනීම සඳහා සිවිල් නීතියේ නොසැළකිල්ල පිළිබඳ නීතිය නැතහොත් දිලික්ත නීතිය යටතේද ක‍්‍රියාත්මක වීමේ හැකියාවක්ද ඇත.




2019-05-02
Advertisement

Find us on Facebook