English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


පාස්කු ඉරිදා වේදනාව: පිළිතුරු සෙවීම සහ සොයා ගැනීම

පාස්කු ඉරිදා වේදනාව: පිළිතුරු සෙවීම සහ සොයා ගැනීම

පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා බැතිමතුන් සහභාගී වෙමින් සිටි දේවස්ථානවලටත්, පාස්කු ඉරිදා පාතරාසය සපයමින් සිටි හෝටල් තුනකටත් සිදු කළ තිරිසන් ප්‍රහාර හෙලාදුටු සියලු දෙනා සමග ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ එක් වෙයි. අපේ සහෝදර රටවැසියන් සමග මේ මොහොතේ එකට සිට ගනිමින්, ඒ කුරිරු ප්‍රචණ්ඩත්වයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූ අපේ රටවැසියන්ගේ සහ විදෙස් වැසියන්ගේ පවුල්වලට සහ හිතමිත්‍රාදීන්ට අපි අපේ සාතිශය සංවේගය පළ කර සිටිමු. එසේම ඒ අවස්ථාවේදී නොපමාව සහ එඩිතරව ඉදිරිපත් වීමේදී ජීවිත අහිමි වූ පොලිස් නිලධාරී මහතුන්ගේ පවුල්වලටත් අපේ සාතිශය සංවේගය පළ කෙරේ.

විනාශයට පත් මේ කතෝලික/ක්‍රිස්තියානි දේවස්ථාන, වෙනත් ආගමික බැතිමතුන්ගේත් පුද සත්කාරයට පාත්‍ර ස්ථාන වන්නේය. එම පූජණීය ස්ථාන මෙසේ කෙළසීම සහ විනාශයට පත්වීම, රටටටම වූ හානියකි. මේ ප්‍රචණ්ඩත්වය කෙරෙහි ආණ්ඩුවත්, මහජනතාවත් දැක්වූ ප්‍රතිචාරය සහ සාමූහික ශෝකය මගින් කියාපාන්නේ, කතෝලික/ක්‍රිස්තියානි ප්‍රජාවගේ දුක සහ වේදනාව තමන් ද බෙදාහදා ගන්නා බවයි.

ප්‍රචණ්ඩත්වය සහ වේදනාව තවදුරටත් ඇවිලවීම වළක්වමින් එඩිතරව සහ කඩිනමින් ක්‍රියාත්මක වූ පොලීසියේ සහ සන්නද්ධ සේවාවන්හි සියලු සාමාජිකයන්, වෘත්තිකයන් සහ සහායක පිරිස් සේම සාමාන්‍ය ජනතාව කෙරෙහිත් ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ සිය ප්‍රසාදය පළ කර සිටී. එසේම, අන්තවාදය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරමින්, අන්තර්-ආගමික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලු ආගමික සහ ප්‍රජා නායකයන් අපි අගය කරමු. එකී යහපත් ප්‍රතිචාරයෙන් ආදර්ශවත් කෙරෙන්නේ, වෙනස් වූ ප්‍රජාවන්ගෙන් පැවත ආවත්, ජාතික අර්බුදකාරී මොහොතකදී එකාවන්ව නැගී සිටීමට අපේ ජනතාව තුළ ඇති ප්‍රශංසනීය හැකියාවයි.

එසේ වෙතත්, ඒ මහා සංහාරය වැළැක්වීමට අසමත් වූ ජාතික ආරක්ෂාවේ ප්‍රමාද දෝෂ ප්‍රශ්න කිරීමට, එම හිංසනයට පාත්‍ර වූ සියලු දෙනා වෙනුවෙන් අපි බැඳී සිටිමු. එහිදී, නැවත වරක්, අපේ දේශපාලන නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ නිලධර තන්ත්‍රය රට ඉදිරියේ අසාර්ථකව ඇති බව පෙනී යයි. මෙවැනි තත්වයන් යළි ඇති වීම වළක්වා ගැනීමට නම්, මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව වගවීමෙන් බැඳ ගැනීමටත්, ඔවුන්ගෙන් නිදහසට කරුණු ඉල්ලා සිටීමටත් අපට සිදුවෙයි. විමර්ශන කොමිෂන් සභා, එවැනි ප්‍රශ්නවලට සාර්ථකව ප්‍රතිචාර දැක්වීම මගහැර යාමේ පහසු උපායක් වී ඇත. ප්‍රචණ්ඩත්වය වළක්වා ගත හැකි පරිද්දෙන්, කල් තියා ලැබී තිබුණු සුවිශේෂී වූත්, විස්තරාත්මක වූත් තොරතුරු සහ අනතුරු ඇඟවීම්, රාජ්‍ය බුද්ධි අංශ මගින් අවශ්‍ය තැන්වලට යොමු නොකරන ලද්දේ මන්ද යන්න ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා රටට පැහැදිලි කර දිය යුතුව තිබේ. ඉහළ නිලධාරීන් මේ අතිශය වැදගත් තොරතුර ජනාධිපතිවරයාගේ (ප්‍රධාන අණදෙන නිලධාරී සහ ආරක්ෂක ඇමතිගේ), රටේ අගමැතිවරයාගේ සහ ‘ජාතික ආරක්ෂක මණ්ඩලයේ’ අවධානයට යොමු නොකළේ මන්ද? මාස ගණනක් තිස්සේ එකී ‘ජාතික ආරක්ෂක මණඩලයට’ අගමැතිවරයා සහභාගී නොවුණේ මන්ද? මේ විනාශය ඇති වූ මොහොතේදී පවා, අගමැතිවරයා විසින් හදිසියේ කැඳවන ලද රැස්වීමක් ‘ජාතික ආරක්ෂක මණ්ඩලයේ’ සාමාජිකයන් නොතකා හැරියේ මන්ද? වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙකු පත්කිරීමකින් හෝ ජාතික ආරක්ෂාවට අදාළ වැදගත් කාරණා ගැන අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමකින් හෝ තොරව ජනාධිපතිවරයා රටින් බැහැරව ගියේ මන්ද? සිදුවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ ලැබී තිබුණු වැදගත් තොරතුරු, ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාවට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකිව තිබියදී, රාජ්‍ය නිලධාරීන් ඒ තොරතුරු එම පිරිස් සමග බෙදා නොගත්තේ මන්ද?

ආණ්ඩුවේ නායකයන් දෙදෙනා සහ මෙකී නිලධාරීන් කෙරෙහි පැවති මහජන විශ්වාසය පාස්කු ඉරිදා විනාශයෙන් විනාශ වී ගොස් තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න හෑල්ලුවට ගනිමින් ආරක්ෂක ලේකම්වරයා දැක්වූ උද්ධච්ච ප්‍රතිචාරය එකහෙලා හෙළාදැකිය යුතුව තිබේ. මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයන් නැවතත් ඇති නොවෙතැයි අපට උපකල්පනය කළ නොහේ. අපරාධකරුවන් හඳුනා ගනිමින්, ජාතික ආරක්ෂාව පිළිබඳ ශක්තිමත්, කාර්යක්ෂම පද්ධතියක් හඳුන්වා දෙමින් එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ වගකීම, රාජකාරිමය බැඳීම සහ බලය ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට තිබේ. ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය සහ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් පිළිබඳ මූල සාරධර්මවලට ගරු කරමින් ඔවුන් එසේ කටයුතු කළ යුතුව තිබේ.

ඇති වූ මේ විපත, කිසි ප්‍රජාවකට හිරිහැර කිරීමට හෝ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජන වර්ගවල අයිතීන් යටපත් කිරීමට හෝ තුඩු නොදෙන බවට අප ඉටා ගත යුතුය. අපේ විවිධ ජන කොටස් තුළ තිබිය හැකි වාර්ගික සහ ආගමික අන්තවාදයන්, අපේ රටේ සාමයත්, ස්ථාවරත්වයත් පවත්වා ගනු වස් අප ප්‍රතික්ෂේප කළ යුතුය.

එසේම, ඉතිහාසයෙන් ද අප පාඩම් උගත යුතුව තිබේ. විශේෂයෙන් හිට්ලර් බලයට පත්වීම පිළිබඳ ඉතිහාසය එහිදී වැදගත් ය. මේ මොහොතේ අවශ්‍යතාව වන්නේ, අධිකාරීවාදී සහ ආඥාදායක ශක්තිමත් නායකයෙකුගේ අවශ්‍යතාවක් ය යන මතය එබැවින් ඉඳුරා ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැති, සුරක්ෂිත සාමකාමී රටක් මේ ආණ්ඩුවට තමන් ඉතිරි කර තැබූ බව හිටපු ආණ්ඩුවේ නායකයෝ දැන් කියති. පුද්ගල ආරක්ෂාව පිළිබඳ භීතියෙන්, අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් සහ ඝාතන පිළිබඳ නපුරු සිහිනයක එදා මුළු රටම ගැලී සිටි බව ඔවුන්ට මතක් කර දිය යුතුය. එබැවින්, මේ රුදුරු අත්දැකීම, ජනතාව භේදභින්න කරන, අධිකාරීවාදී දේශපාලනික න්‍යාය පත්‍රයක් සඳහා පාවිච්චි කිරීමට කිසි දේශපාලන පක්ෂයකට ඉඩ දිය යුතු නැත. පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපේ රටේ ඇති කැපවීම තව තවත් ශක්තිමත් කළ යුතුවා මිස දුර්වල කළ යුතු නොවේ. එහිදී, පසුගිය වසර කිහිපය තුළ වැදගත් වූත්, සාධනීය වූත් වෙනස්කම් ගණනාවක් ඇති කෙරුණු බව අප පිළිගත යුතුය.

අපේ යුගයේ දේශපාලන වාතාවරණය පිළිබඳ හිතා බැලීමටත් මෙය අවස්ථාවක් කර ගැනීම වටී. විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුළ නිසගයෙන් පවතින දුර්වලතාව නැවත වරක් අපි අත්දකිමින් නොසිටිමු ද? බලකේන්ද්‍ර දෙකක් අප නිර්මාණය කොට තිබේ. එකක්, ජනාධිපති වටා ඇති කේන්ද්‍රයයි. අනෙක, අගමැති වටා ඇති කේන්ද්‍රයයි. ඒ දෙදෙනා කටයුතු කරන්නේ ඔවුන් එකිනෙකාටවත්, ජනතාවටවත් වගනොකියමිනි. මේ ක්‍රමය තුළ මහජන ආරක්ෂාවට එල්ල වන මාරක තර්ජනය දැන් අපට පෙනේ. මෙවැනි සංහාරයකට, ජීවිත සහ දේපළ විනාශයකට එය තුඩුදී තිබේ. ජනතාවගේ ජීවිකාව සහ ආර්ථිකය කෙරෙහි ඒ මගින් ඇති කොට තිබෙන හානිය අති විශාල ය. එසේ හෙයින්, දශක ගණනාවක් තිස්සේ සෑම දේශපාලන පක්ෂයක් විසින්ම ප්‍රතිඥා දී ඇති පරිදි, මේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට මෙය කාලය නොවේද?

මේ තනතුර කෙරෙහි ආශක්තව සිටින පුද්ගලයන්ගේ ජනාධිපති උන්නතිකාමය හේතුවෙන් රාජ්‍ය පාලනය අකර්මණ්‍ය වන සැටි දැනටමත් අපට පෙනේ. ජනාධිපති ක්‍රමය තුළ, ජාතියේ සුභසිද්ධියට වඩා හැම විටකම උඩ දැමෙන්නේ පුද්ගල උන්නතිකාමයයි. නායකයාගේ පුද්ගල උන්නතිකාමී වසඟය තුළ හිර වෙන රටකට මොන අනාගතයක් ද? ඊළඟ මැතිවරණයකට කලින් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එක හඬින් දැන්වත් අප පෙළගැසිය යුතු නැත්ද?

මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර සහ බිෂොප් දුලිප් ද චිකේරා

‘ෆ්‍රයිඬේ ෆෝරම්’ වෙනුවෙන්:

(මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ඩැනේෂන් කාසි චෙට්ටි, රදිකා කුමාරස්වාමි, ප්‍රියන්ත ගමගේ, මහාචාර්ය කමෙනා ගුණරත්න, චන්ද්‍රා ජයරත්න, ආචාර්ය තිස්ස ජයතිලක, මහාචාර්ය ගනනාත් ඔබයසේකර, මහාචාර්ය රංජණී ඔබයසේකර, පූජ්‍ය ආචාර්ය ජයසිරි පීරිස්, ෆයිස් උර් රහමන්, ආචාර්ය දිනේෂා සමරරත්න, මහාචාර්ය ගමීලා සමරසිංහ, ආචාර්ය ජී. උස්වත්ත-ආරච්චි, ආචාර්ය ඒ. සී. විස්වලිංගම්)

2019 අප්‍රේල් 25 වැනි දා ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ නිකුත් කළ Easter Sunday’s Suffering: Seeking & Finding Answers නැමැති ප්‍රසිද්ධ නිවේදනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

by




2019-04-30
Advertisement

Find us on Facebook