English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍ය වලින් සැගවුණු සියොන් දෙව්මැදුරේ කතාව

මඩකළපුවේ සියොන් මග ඇහිරූ රුදුරු සාතන් මෙහෙයුම

තැන තැන වූ පොලිස්, හමුදා මුරපොළවල් පසු කරමින් පරීක්ෂා කිරීම්වලට ලක් වෙමින් අපි මඩකළපුව දෙසට ගියෙමු. වෙනදා වූ සුපුරුදු කලබලයෙන් මිදුණු මඩකළපුව ප්‍රදේශයේ මං මාවත් සුදු, කළු කොඩිවලින් සැරසී තිබුණි. දමිළ සංස්කෘතියට අනුව මාවත් දෙපස සුදු කොඩි සහිත කෙසෙල් ගස් සිටුවා තිබුණි. අප මඩකළපුව සෙන්ට්‍රල් පාරේ සියොන් දේවස්ථානය සෙවූයෙමු. දේවස්ථානය අවට පාරවල් රැකවල් දමා තිබුණි. දේවස්ථානයට අසලට තවම කිසිවෙකුට ඇතුල්වීමට අවසර නැත. ඒ අසල තවමත් යතුරු පැදි, සුන්බුන් විසිර තිබුණි. අසල නිවෙස්වලින් ද බොහෝ දෙනෙක් ඉවත්ව තිබුණි. නිහඬ පරිසරයේ එහෙ මෙහෙ රැඳුණේ යුද හමුදා සහ පොලිස් නිලධරයින් පමණි.

පල්ලියට යන පටු මාවත ඉදිරියේ වූ නිවසක එක් වයස්ගත කාන්තාවක් වූයෙන් අප ඇය වෙත ගියෙමු. ඇය ඉවෝන් මිරැන්ඩාය. “මම උදේ මුළුතැන්ගෙයි ඉද්දී පිපිරීම් හඬක් ඇහුණා. මෙහෙකරු එළියේ පිරිසිදු කරමින් හිටියා. මම එළියට ඇවිත් බලද්දී මිදුලට සිරුරු කොටසක් විසිවෙලා වැටී තිබුණා. සිදුවූ දේ හිතාගන්න බැරි වුණා. මේවා වෙන්න ඕන දේවල් නෙමෙයි. ඉරිදා පාසලේ දරුවෝත් මේකෙන් මැරුණා. මම දන්න, මෙතැනට ඇවිත් යන දරුවෝ. ගොඩක් අයගේ සිරුරුවල ඇඳුම් පිච්චිලා. අහල පහළ අය සාරි, රෙදි දුන්නා. මේක කවදාවත් අපි බලාපොරොත්තු වුණේ නැති විනාශයක්.” ඇය කඳුළු සලන්නීය.

ආරක්ෂක අංශ විසින් ඇගේ නිවසේ සීසීටීවී පද්ධතිය පරීක්ෂා කර ඒ සියල්ල රැගෙන ගිය බවත් පල්ලියේ පිවිසුම් මගත් රථ ගාලත් දර්ශනය වන බැවින් ඉන් බොහෝ දේ දැනගත හැකි වූ බව අසන්නට ලැබුණු බවත් ඇය පවසන්නීය. ඇය රෝමානු කතෝලික වුවත් ඇයද සියොන් පල්ලියට මීට පෙර ගොස් තිබෙන නමුත් අසනීප තත්ත්වය නිසා මාස කීපයක සිට එහි නොගිය බව කියන්නීය. “පල්ලියේ පාස්ටර් රට ගිහින් නිසා ඒ වෙනුවට සහායට වෙනත් පාස්ටර් කෙනෙක් පත්කරලා තිබුණා. උදේ ඉරිදා පාසලට ආ ළමයි මියගියා. පාස්ටර්ගේ දරුවෙකුත් මිය ගියා. මේවා දැක්කාට පස්සේ කිසිම කෙනෙක්ට ගෙදරක උයන්නවත් හිතෙන්නේ නැහැ, තවමත් නින්ද යන්නේත් නැහැ. මේ සිදුවීම් මතකයට එනවා. තරුණයෙක් දැකලා තියනවා නාඳුනන අයෙක් පල්ලියට ඇතුළුවෙන්න හදනවා. ඔහු එයාගෙන් විමසලා උරහිසින් තල්ලු කරලා. ඒ වෙලාවේ පුපුරා ගිහින් තිබුණා. මිනිස්සු පන්සලකට, පල්ලියකට, කෝවිලකට යන්නේ ආගම සිහි කිරීමටයි. ඒත් මේ සිදුවූදේ හද කම්පා කරන්නක්.” ඒ අවට විවිධ ජාතීන්ට අයත් අය සහයෝගයෙන් ජීවත් වූ බවත් අන්තවාදී පිරිස් විසින් මෙවැනි දේ සිදුකිරීමට පෙර රජය අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුව තිබුණු බවත් ඇය පවසන්නීය. මෙවැනි විපතක් වූ පසු වුවද කිසිදු දේශපාලනඥයකු එතැනට නොආ බවටත් ඇය චෝදනා කළාය.

බොහෝ දෙනා අප සමග පැවසුවේ පල්ලියට සැකකටයුතු අයකු ඇතුළුවීමට උත්සාහ කරද්දී පල්ලියේ සිටි එක් තරුණයෙකු එය වැළැක්වීමට කටයුතු කළ බවය. ඒ රාජු රමේෂ්ය. 29 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබද්දී තුන්සීයකට වැඩි පිරිසකගේ ජීවිත සුරක්ෂිත වූයේ ඔහු නිසා බව බොහෝ දෙනා පැවසූහ. අපි ඔහුගේ නිවස සොයා ගිය අතර සිදුවීම පිළිබද තොරතුරු පැවසීමට ඉදිරිපත් වූයේ රමේෂ්ගේ බිරිඳගේ සොයුරා වූ ප්‍රදීප්ය. “සැකකටයුතු අයෙක් පල්ලියට ඇතුළුවෙන්න හදනවා රමේෂ් දැකලා තිබුණා. රමේෂ් ඔහුගෙන් අහලා කවුරු හමුවෙන්නද ආවේ කියලා. පාස්ටර් හමුවීමට ආ බවක් ඔහු කියලා තියනවා. පාස්ටර් ලංකාවේ නැහැ, ඒත් වෙනත් පාස්ටර් කෙනෙක් ඒ වෙනුවට ඉන්නවා ඔහුට කියන්නම් කියලා රමේෂ් කියලා තිබුණා. පසුව ඔහුට බෑග් එක එළියේ තබා ඇතුළට එන්න කියා තිබුණා. ඒත් ඔහු ඒ අවස්ථාවේ කලබලයට හා බියට පත්ව තිබුණා. ඒ වෙලාවේ යම් සැකයක් ඇතිවූ නිසා රමේෂ් ඔහුව එළියට තල්ලු කිරීමට උත්සාහ කරලා. ඔහු අඩි කීපයක් පස්සට ගිහින් ආපහු ඇතුළට ඒමට උත්සාහ කරලා, ඒ එක්කම පිපිරීම සිදුවී තිබුණා.” පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර රාජු රමේෂ්, ඔහුගේ සොයුරිය සුජිකලාත්, ඇගේ සැමියා සහ අවුරුදු එකහමාරක් වයසැති දරුවාද වූහ.

මඩකළපුව අවට බොහෝ ස්ථානවල කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මරණ පිළිබඳ බැනර් දර්ශනය වේ. මිනිසුන්ගේ මුහුණු ශෝකයෙන් අඳුරුය. පිපිරීම් සිදුවූ අනෙකුත් ස්ථානවල මෙන්ම සියොන් පල්ලියේ සිදුවූ පිපිරීමෙන් ද බොහෝ දරුවන්ට මවුපියන්ද, මවුපියන්ට දරුවන්ද ආදී වශයෙන් බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට නිවැරදි කළ නොහැකි අහිමිවීම් සිදුව තිබුණි. තවමත් කිසිවකුට සිදුවූයේ කුමක්දැයි හරිහැටි අවබෝධ කරගත නොහැකිය. කිසිදු හේතුවක් තවම සිතා ගැනීමට හෝ නොහැකිය. මෙවැනි විනාශයක් වනතුරු වගකිව යුතු පාර්ශ්වයන් දැන සිටියා නම් බලා සිටියේ ඇයි දැයි ඒ බොහෝ අය විමසති. ඒ බොහෝ දෙනා තුළ ඇත්තේ සිදුවූ සහ සිදුවෙමින් පවතින සියල්ල පිළිබද කළකිරීමකි.

මඩකලපුව නාවක්කුඩායිහි ඉරිදයම් කැලිස්ටර්ට සිය දියණිය වූ දේවදාසන් සිංදූරි (32)ත් ඇගේ දරුවා වූ අංජලීනා (5)ත් අහිමිව තිබුණි. සිදුවූ කිසිවක් තවම සිතාගත නොහැකිව සිංදුරිගේ සැමියා කඳුළු සැලුවේය. “දුව එයාගේ දරුවාත් එක්ක එදා උදේ බයිසිකලයෙන් පල්ලියට ගියා. පල්ලියේ ඉරිදා පාසල නිසා ළමයි වේලාසනින් එක්ක යනවා. ඒක ඉවර වුණාම පල්ලියේදී දරුවන්ට කෑම දෙනවා. ඒ වෙලාවේ තමයි මේ පිපිරීම වෙලා තිබුණේ. පාස්ටර් කියලා තියනවා සැකසහිත කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා ළඟට ගිහින් හොයද්දී තමයි මේ දේ වෙලා තියෙන්නේ. පල්ලියේ හිටිය අය ඒ විස්තරය කීවා. කලියෙන් මෙහෙම දෙයක් ගැන සැක තිබුණේ නැහැ. දුවත් කියලා නැහැ. මම කඬේට ගිහින් එද්දී ආරංචි වුණා ට්‍රාන්ස්ෆෝමර් එකක් පිපිරුණා කියලා. එතැනට ගියාමයි දැනගත්තේ බෝම්බ පිපිරීමක් කියලා. ඉරිදා පාසල ඉවරවෙලා ළමයින්ට කෑම දෙන කාමරයේ ඉන්න වෙලාවේ තමයි මේක වෙලා තියෙන්නේ. දුවයි, එයාගේ දුවයි දෙන්නාම එතැනම පිච්චිලා.”ඒ සිංදූරිගේ පියා ඉරිදියම්ය.

ඔහු පවසන්නේ වසර පහකට පමණ පෙර ඒ අවට දෙමළ මුස්ලිම් අය අතර ඇතැම් අවස්ථාවල ප්‍රශ්න තිබූ නමුත් පසුව එවැනි ගැටලු සමනය වූ බවය. සිදුවූ දේ කුමක්දැයි තවම සිතා ගැනීමට නොහැකි බව ඔහු මුමුණයි. පවුලේ බොහෝ දෙනා අතීතයේ සිට සියොන් පල්ලියේ දේව මෙහෙයට යන බවත් තමා පමණක් රෝමානු කතෝලික බැවින් එහි නොගිය බවත් ඔහු පවසයි. දරුවන්ගේ ඉරිදා පාසල අවසන්වූ පසු දේවමෙහෙය පැවැත්වීමට නියමිතවූ බැවින් පවුලේ අනෙක් අය ද පල්ලිය දෙසට යමින් සිටි බව ඔවුහු පැවසූහ. සිංදූරිගේ ලොකු අම්මා වන තෙරේසා පැවසුවේ තමන්ද පල්ලියට ආසන්න වෙමින් සිටියදී පිපිරීම සිදුවී දෙන්නෙක්ගේ සිරුරු කොටස් තම කකුල මතට ද වැටුණෙන් තමන් ආපස්සට දිව ගිය බවය. ඒ අවස්ථාවේ ඇයටද සුළු තුවාල සිදුවී තිබුණි. සියොන් පල්ලියේ බදාදා දිනවල පැවැත්වෙන සුව මෙහෙයට විවිධ ආගම්, ජාතීන්ට අයත් අය පැමිණෙන අතර ඉරිදා දේව මෙහෙයට වෙනත් ආගම්වල අය සාමාන්‍යයෙන් නොඑන බවද ඔවුහු පවසති.

මෙම සිදුවීම්වලට සම්බන්ධ ඇතැම් සැකකරුවන් කාත්තන්කුඩි පෙදෙසට අයත් බවට ද වාර්තා වූ අතර බොහෝ දෙනා තුළ මඩකළපුව කාත්තන්කුඩි පිළිබඳ දැන් ගොඩනැගී තිබෙන්නේ භීතිකාවකි. මීට පෙරද යම් යම් අවස්ථාවල කාත්තන්කුඩි පිළිබඳ බොහෝ දෙනා තුළ තිබෙන්නේ යහපත් ආකල්පයක් නොවන බව දැකිය හැකි විය. ඇතැම් අය එය වෙනම රාජ්‍යයක් බවත් එහි පොදු නීතිය ක්‍රියාත්මක නොවන බවටත් චෝදනා කළහ. මේ මොහොත් වන විට කාත්තන්කුඩි ප්‍රදේශයද වූයේ දැඩි නිහඬතාවකය. එහි සියලුම වෙළෙඳ සැල් පාහේ වසා දමා, සුදු හා කළු කොඩියෙන් ද ශෝකප්‍රකාශ වලින් ද සැරසී තිබුණි.

අපි කාත්තන්කුඩි ජාමියතුල් ෆලාහ් අරාබි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අල්-හජ් මවුලවි එස්.එම් අලියර් හමු වුණෙමු. සුහද පිළිගැනීමෙන් පසු ඔහු ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ තම අදහස් දැක්වූයේය. “ඉස්ලාම් ධර්මයට අනුව ප්‍රචණ්ඩත්වය තහනම් කරලා තියනවා. බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී සියලු ආගම්වල ඉගැන්වෙන්නේ යහපත් දේයි. ඒ කිසිම ආගමකින් වැරදි දේ උගන්වන්නේ නැහැ. ඉරිදා පල්ලිවල ආගමික කටයුතු අවස්ථාවේ සිදුවූ මෙම පිපිරීම කවුරු කළත් ඒ අයට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. මේ සිදුවීම ඇසීමෙන් අපි ඉතාම කනගාටුවට පත්වුණා. මේ ස්ථානය ඉස්ලාම් ධර්මය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන ස්ථානයක්. වයස 11න් මේ පාසලට බඳවාගෙන වසර 3ක් කුරාණය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙනවා. පසුව වසර 7ක් ආගම පිළිබඳ අධ්‍යාපනය ලබාදෙනවා. ගමේ ව්‍යාපාරිකයින් මේ ආයතනයට ප්‍රතිපාදන ලබා දෙනවා. මෙයින් බලාපෙරොත්තුවෙන්නේ ආගමික අධ්‍යාපනය සමග සමාජයට යහපත් පුරවැසියන් ඇති කිරීමයි. මමත් මෙවැනි ආයතනයක අධ්‍යාපනය ලැබූවෙක්.” එම විද්‍යාලය තුළ කාත්තන්කුඩි ප්‍රදේශයේ පමණක් නොව වෙනත් ප්‍රදේශවල මුස්ලිම් ශිෂ්‍යයන් 170ක් පමණ අධ්‍යාපනය ලබන බවත් ඔහු පවසයි.

මෙම සිදුවීම් සමග සැකකරුවකු ලෙස නම් කර තිබෙන සහරාන් නමැති පුද්ගලයා එම ප්‍රදේශයේ අයෙකු වූ බවත් කලකට ඉහත ඔහුද එම පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටියදී පාසලෙන් ඉවත් කළ අයෙකු බවත් ඔහු පවසයි. “ඔහු මෙතැන අධ්‍යාපනය ලබමින් හිටියා. වසර පහක් පමණක් අධ්‍යාපනය ලැබුවා. ඔහු ආගමට විරෝධී ලෙස පාසලේදී කටයුතු කරන්න පටන් ගත්තා. ඒවා ඉස්ලාම් දහමටත් පාසලේ නීතිවලටත් පටහැනි නිසා පරිපාලනය සාකච්ඡා කර ඔහු පාසලෙන් ඉවත් කළා. ඒ 2005දීයි. එතකොට ඔහුට වයස 17ක් පමණ වුණා. ඉන් පසු ඔහු මේ පාසලත් සමග කිසිම සම්බන්ධයක් නැහැ.” ඔහු ඉස්ලාම් දහමට පිටින් කටයුතු කරමින් සිටි අයෙකු වූ අතර පසුව වෙනත් පල්ලියක් ද සාදා ගනිමින් වැරදි මගක යමින් සිටි බව ඔහු පැවසුවේය. 1990 වසරේ සිදුවූ ව්‍යාසනයන්ගෙන් ඇතිවූ කනගාටුවට නැවත මුහුණ දීමට සිදුවූ බව ඔහු පවසයි.

ඉස්ලාම් ධර්මයේ නොමැති ඇතැම් දේ කිරීමට යාම නිසා වැරදි ආකල්ප සමාජගත වී තිබෙන බවත් ඔහු පැහැදිලි කරන්නේය. කළු පැහැති ඇඳුම් ඇඳිය යුතු යැයි ඉගැන්වීමක් නොමැති අතර අතීතයේ කාන්තාවන් සුදු පැහැති වස්ත්‍ර හැඳි බව ද ඔහු පවසයි. කාත්නන්කුඩි ප්‍රදේශයේ අය නීති නොතකමින් හෙල්මට් නොදා යතුරුපැදිවල යන බව පැවසුණද ඇතැම් තරුණ පිරිස් එවැනි දේ කළද ඔහු පවසන්නේ බොහෝ දෙනා එවැනි දේ නොකරන බවයි. “අන්තවාදී කීප දෙනෙකුගේ කටයුතු නිසා අනෙක් අයට එය වැරදි ලෙස බලපානවා. ඉස්ලාම් ධර්මයට අනුව මෙවැනි ආකාරයේ දේ සිදු කිරීම් කරන්න බැහැ. මෙවැනි මරාගෙන මැරීම් කරනවා නම් ඒ අය මුස්ලිම් අය ලෙස හෝ ඉස්ලාම් ධර්මයට අනුව කටයුතු කරන අය ලෙස පිළිගන්න බැහැ.”

මේ අතර කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ උප සභාපති අහමඞ් සුබායි අප සමග පැවසුවේ ද මෙයට මුස්ලිම් අය සම්බන්ධ වී ඇතැයි දැනගැනීමට ලැබීමෙන් තමන් ඇතුළු ප්‍රජාව ඉතාම ලැජ්ජාවට සහ කනගාටුවට පත්ව සිටින බවත් වරදකරුවන්ට නීතිය අනුව දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතු බවත්ය. “මඩකළපුවේ විතරක් නෙමෙයි අනෙක් ස්ථානවලත් සිදුවූ දේ දැනගත්තාම අපි ඉතාම කනගාටුවට පත්වුණා. ඒ වගේම මරාගෙන මැරුණු අය අතර මුස්ලිම් අය ඉන්නවා කියලා ඇහුවාම අපි ඉතාම කනගාටුවට වගේම ලැජ්ජාවටත් පත්වුණා. මිනිස්සු මෙහෙම මරලා දාන්න කියලා අපේ කුරාණයේ කියලා නැහැ. අපේ සමාජයේ මුස්ලිම් අය මීට සම්බන්ධ වූ බව ඇසීම ඉතාම කනගාටුවක්. අපි බලාපොරොත්තුවන දේ ලංකාවේ හැම ජාතියකටම අයත් අය සමාදානයෙන් ජීවත්වීමයි. මේක අපට ඉතාම ලැජ්ජාවක්. එය සමාව ඉල්ලිය නොහැකි වරදක්. මේවාට ආණ්ඩුව විසින් ඉතාම දැඩි දඬුවම් ලබාදිය යුතුයි. මේ අතර අපේ ගමේ අයත් මීට සම්බන්ධ බව ප්‍රචාරය වෙනවා. එහෙම දෙයක් වී තිබේ නම් ඊට දඬුවම් හිමිවිය යුතුයි. ඉතිහාසයේ මෙවැනි මිනීමැරුම් අපේ අතේ තිබුණේ නැහැ. එල්ටීටීඊ කාලයේත් මුස්ලිම් අය මිය ගියත් මුස්ලිම් අය අතින් එවැනි දේ සිදුවුණේ නැහැ. මෙය ඉතාම හිත් බිඳීමක්. අපිට මෙලෙස කතා කිරීමට, මුහුණදීමට සිදුවීමත් ලැජ්ජාවක් සහ වේදනාවක්. අපේ ගෙවල්වල දරුවන්, ගැහැනු සියල්ලෝම මේ ගැන ශෝක වෙනවා. ටීවී බලද්දී මේවා දකිද්දී අඬනවා. ඒ අයත් ආහාර ගන්නේ නැහැ. මේක අපි හැමෝටම වේදනාවක්. මේ දේ කළ අය මුස්ලිම් කියන නම පාවිච්චි කළත් ආගමට අනුව නම් මේ අය මුස්ලිම් කියා පිළිගන්න බැහැ. නබිතුමා මෙවැනි දේ කරන්න කියලා උගන්වා නැහැ. මෙවැනි අන්තවාදීන්ගේ ක්‍රියා නිසා සැබෑ මුස්ලිම් ජනයාගේ ජීවිත ගැනත් දැන් බියෙන් සැකයෙන් ජීවත්වීමට සිදු වෙනවා.”

ඔහු පවසන්නේ 90%ක් පමණ මුස්ලිම් අය කටයුතු කරන්නේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය යටතේ වන අතර තවත් කොටසක් අරාබි මුදල් ලබාගෙන පල්ලි හදාගෙන අන්තවාදී ලෙස කටයුතු කරමින් සිටින බවය. ඒවායේ වැරදි ලෙස කුරාණය තේරුම් ගැනීම් තිබෙන බවත් එවැනි සංවිධාන විවිධ රටවල තිබෙන බව ඔහු පවසයි. එහෙත් මෙවැන්නක් ඔවුන් සිදු කරාවි යැයි කිසිදෙනක නොසිතූ බව ඔහු පවසයි. “මේවා ආණ්ඩුවටත් දැනුම් දී තිබුණු බව කියනවා. ඒත් මෙවැනි විනාශයක් සිදුවේ යැයි අපි කවදාකවත් හිතුවේ නැහැ. ඉරිදා අපි බිෂොප් එක්ක සාකච්ඡා කළා. අපි මොනවාද කරන්න ඕනෑ කියලා. ඔහු කීවා ඒ ස්ථානයට යන්න එපා, දැනට මඩකළපුව රෝහලට ලේ අවශ්‍යයි කියලා. අපි පල්ලිවලින් නිවේදනය කළා ලේ දීමට යන්න කියලා. අපි ඒ කටයුතුවලට සම්බන්ධ වුණා. මේ වෙලාවේ තත්ත්වය සමනය වුණාට පස්සේ අපි එකතුවෙලා ඉදිරියේ කළ යුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

කෙසේ වෙතත් අප්‍රේල් 21 වන දින කිසිවක් නොදැන තැන තැන මියගියේ දේශපාලනඥයන් හෝ අන්තවාදී කණ්ඩායම්වලට අයත් අය නොවේ. කිසිවක් පිළිබඳ සැකයක් හෝ නොතිබුණු කුඩා දරුවන්, වැඩිහිටියන් සහ මෙරටට පැමිණ සිටි විදේශිකයන්ය. සිදුවීමෙන් පසු විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ජාලා හරහා එළියට ඒමට පටන් ගත්තේය. ඒ අතර වූයේ බුද්ධි අංශ විසින් මෙරට අදාළ බලධාරීන්ට මෙවන් විනාශයක් පිළිබඳ කරන ලද පූර්ව දැනුම් පිළිබඳ ලිපි ලේඛනය. බලධාරීන් ගත් එක් පියවරක් වන්නේ තොරතුරු හුවමාරු වන සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමය. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාද මෙරට නොසිටියේය. ඇතැම් ඇමතිවරු සිදුවීමට පෙර තම ආරක්ෂාව සලසා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන තිබුණි. විනාශයට බිලිවූයේ අහිංසක රටවැසියන්ය. දැන් ඊට වන්දි හෝ මිනීපෙට්ටි ලබා දුන්නාට සිදුවූ විනාශය ඔවුන්ට නිවැරදි කළ නොහැකිය. දැන් විවිධ පාර්ශ්වයන්ට ඔවුහු බෝලය පාස් කරමින් සිටිති. මෙම සංහාරය සිදුකළේ කුමක් නිසා දැයි තවමත් නිශ්චිතවම පැහැදිලි නැතත් එවැන්නක් සිදුවීමට ඉඩ ඇතැයි දැන සිටි පාලකයන් එය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නොතිබූ බව රටටම දැන් පැහැදිලිය.


ඉඳුනිල් උස්ගොඩ ආරච්චි/ටී. නඩරාසා





2019-04-29
Advertisement

Find us on Facebook