English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බුද්ධි නිලධාරීන් හිරේ ගියේ ඇයි?

බුද්ධි නිලධාරීන් හිරේ ගියේ ඇයි?

බුද්ධි අංශයෙන් භාගයක් හිරේ. ඉතිරි භාගයත් හිරේ දැම්මානම් හරි. රටේ මහා ව්‍යසනයක් සිදුවූ මොහොතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහට පැවසී යැයි කියන වදනකි ඒ. සිදු වූ නස්පැත්තිය රාජ්‍ය බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම නිසා සිදුවී යැයි රටට අඟවමින් බොර දියේ මාළු බාන්නට කරන උත්සාහයක් මිසෙක මේ නම් වෙන කිසිවක් නොවේ. කල දුටු කල වල ඉහගැනීමේ න්‍යාය අනුව යමින් තමන්ට අහිමිව ගිය දේශපාලන බලය නැවත අත්පත් කරගැනීමට පිඹුරුපත් සැකසීම මේ ප්‍රකාශවල යටි අරමුණ නොවන්නේද?

රාජ්‍ය බුද්ධි අංශය බරපතළ ලෙස නිද්‍රාශීලීව සිටියේය යන්න මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඇලිය මෙහිදි නගන චෝදනාවය. ඇත්තෙන්ම රාජ්‍ය බුද්ධි අංශ සිටියේ නිද්‍රාශීලීවද?

සාධාරණ හා අපක්ෂපාතී කෝණයකින් මේ දෙස බලන අයෙකුට දිය හැකි එකම පිළිතුර නැත යන්නය. එම පිළිතුර යුක්තියුක්ත ද වේ. එසේ වන්නේ ඇයිද යන්නට නිශ්චිත පිළිතුරක් ද තිබේ. ඒ රාජ්‍ය බුද්ධි අංශ මෙකී අනතුර කල්වේලා ඇතිව අදාළ පාර්ශ්වයන්ට දන්වා යවා ඇති බව දැන් හෙළි වී තිබෙන හෙයිනි. වෙනකක් තබා අදාළ පුද්ගලයින්ගේ නම් හැඳුනුම්පත් අංක පවා සවිස්තරව මේ තොරතුරු අතරෙහි තිබී ඇති බව කියවෙයි.

මාධ්‍ය ඔස්සේ සංසරණය වන මේ ලිපි අනුව නම් මෙයින් එක් පුද්ගලයෙකු ප්‍රහාරයට පැමිණි අයෙකි. ඔහු මියගොස් තිබේ. අනෙක් තැනැත්තා අතුරුදහන්ව සිටී. බුද්ධි අංශ අකර්මණ්‍ය කර තිබුණේ නම් ඔවුන්ට මේ තොරතුරු සොයාගත නොහැකිය.

බොරදියේ මාළු බෑමේ උත්සාහයක යෙදෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඇලිය බුද්ධි අංශවලින් භාගයක් හිරේ යැයි පවසන්නේ වෙනත් අරමුණු ඇතිවය. දැනට රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින සන්නද්ධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට එරෙහිව තිබෙන චෝදනා මිනිමැරීම් සහ කප්පම් ගැනීම් ඇතුළු පුද්ගලයින් අතුරුදහන් කිරීමේ චෝදනාවලටය. සැබෑ බුද්ධි නිලධාරින් කප්පම් ගන්නේ හෝ කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් අතුරුදහන් කරන්නේ නැත. මෙහිදී ඔවුන් කරන චෝදනා නිසාම ප්‍රශ්න රැසක් ඔවුන් වෙත යොමුකළ හැකිය.

එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන වග එදා බුද්ධි අංශ නිලධාරින් සොයාගෙන තිබුණාද? දැඩි ආරක්ෂක කලාපයක් තුළදී මහ දවාලේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මරා දැමීම ගැන බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණාද? නැතහොත් ලසන්තගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සැබෑ මිනීමරුවන් කොටුකරගෙන තිබුණාද? මේ සියල්ලට පිළිතුර නම් නැත යන්නය. දැනට තිබෙන තොරතුරු අනුව යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ බවය. එපමණක් නොව මාධ්‍යවේදීන් වන කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් යන අයට සිදුකළ පහරදීම්, පැහැරගෙන යාම්වලටත් මේ බුද්ධි නිලධාරින් සම්බන්ධ බවට පරීක්ෂණ පවත්වන නිලධාරින් අනාවරණය කරගෙන ඇත. ඉදින් මේ බුද්ධි අංශ නිලධාරින්ගෙන් භාගයක් හිරේ යැයි බෙරිහන් දෙමින් කරන්නේ මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් නොවේද?
එක අතකින් ඉන් හැඟෙන්නේ මේ අයගේ ඕනෑඑපාකම් මේ බුද්ධි නිලධාරින් ක්‍රියාත්මක කළ බව නොවේද?

මේ අවස්ථාවේදී පවා රාජපක්ෂ නඩය හැසිරෙන්නේ එදා තමන් සිදුකළ වැරදි යටපත් කර එය රටේ ජනතාවගේ සිත් සතන් තුළින් මකා දැමීමට නොවේද?

එක් අතකින් බලන කල ඉස්ලාම් ත්‍රස්තවාදයේ බිජුවට වැපිරීමේ මූලිකයන්ද රාජපක්ෂ ඇලියම නොවේද? යෝනක ප්‍රජාවට එරෙහිව සිංහල බෞද්ධයන් පෙළගැස්වීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළෝ ඔවුහු නොවෙත්ද? බොදුබල සේනා, රාවණා බලය, මහසෝන් බළකාය වැනි බෞද්ධ අන්තවාදී සංවිධානවලට යටින් අතහිත දෙමින් බේරුවල, මාවනැල්ල, දිගන සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කර තිබූ ආකාරය මෙහිදී සිහිගැන්විය හැකිය.

කතෝලික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ දැන සිටියා පමණක් නොව එම අංශවලින් වගකිව යුතු පාර්ශ්වයන් දැනුවත් කර තිබූ බවද හෙළිවේ. පොලිස්පතිවරයාට මේ සම්බන්ධව දැනුවත් කළ පසුව ඔහු එම ලිපියේ පිටපත් F.N.A. (FOR NECESSARY ACCTION)යන සටහන යොදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යන නන්දන මුණසිංහ, ලතිෆ් සහ ප්‍රියලාල් දසනායක වෙතත් ප්‍රභූ ආරක්ෂක අධ්‍යක්ෂවරයා වෙතත් යවා තිබේ. ඔවුන් මේ පිළිබඳව කිනම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න තවමත් හෙළි වී නැත.

අනෙක් අතින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයට (පොලිස්පතිවරයා ද ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙකි) දැනුම් නොදීමද ගැටලුවකි. එසේ දැනුම් නොදුන්නද තමන් යටතේ පවතින පොලිසිය මේ සඳහා මෙහෙයවීමේ වගකීමක් හා යුතුකමක්ද පොලිස්පතිවරයා සතුය.

සමස්තයක් ලෙස ගතහොත් මෙම විපත්තිය ඇතිවීමට පෙර වලකාගත හැකිව තිබූ බවට සාධාරණ සැකයක් ඇතිවීමද යුක්තිසහගතය. කනගාටුවට කරුණ වන්නේ මේ මොහොතේදී වගකිවයුත්තක් තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ ලැජ්ජාසහගත සහ විහිළුසහගත ලෙස කටයුතු කිරීමය.

ඒ අතරේ තවත් පිරිසක් තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ පහත් නිහීන උත්සාහයක යෙදීමය. මින් පළමු කාණ්ඩයට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවත් දෙවැනි කාණ්ඩයට විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂයත් අයත් වේ.


නිමල් අබේසිංහ



2019-04-27
Advertisement

Find us on Facebook