English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නායකයින් සිපවැළඳ ගත්තාට අත්වැල් බැඳගෙන වේදිකා නැග්ගාට රටට වැඩක් වෙන්නේ නැහැ.
නායකයින් සිපවැළඳ ගත්තාට අත්වැල් බැඳගෙන වේදිකා නැග්ගාට රටට වැඩක් වෙන්නේ නැතැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද (18) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායකහිමි බැහැ දැක පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

එම අස්ථාවට ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාද සහභාගී වූ අතර අනුර දිසානායක මහතා අදහස් දක්වමින්........



"ජනාධිපතිවරණය නිල වශයෙන් කැඳවිය යුතු වන්නේ 2017 වසරේදීයි. නමුත් දැන් ආණ්ඩුවේ සැලසුමක් තිබෙනවා ජනාධිපතිවරණය 2015 මුල් භාගයට ගේන්න. ඒ කියන්නේම ඉදිරි වසර දෙක රටට සුබදායක නොවන බවයි. වත්මන් පාලනයට රටේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්නම්, ජනතාවගේ ගැටලු විසඳන්න පුළුවන්නම්, නීතියේ විධානයේ ආධිපත්‍ය තිබෙන රටක් ගොඩනැගිය හැකිනම්, වංචා දූෂණ නාස්තිය නතර කරන්න පුළුවන්නම් වත්මන් පාලනය ඒ සියල්ල කරලා තමයි ජනාධිපතිවරණයට යන්නේ. එසේ නොකර ජනාධිපතිවරණය කැඳවීමට දරණ උත්සහයෙන් පෙනෙනවා ඉදිරි වසර දෙක ජනතාවට සුභදායක නොවන බව. වත්මන් පාලනයට පාර්ලිමේන්තුවේ 2/3කේ බලයක්, විධායක ජනාධිපති බලයක්, සහ පළාත් සභාවල බලයක් තිබියදී එසේ නොකිරීමෙන් මේ බව තහවුරු වෙනවා. ඒ නිසා ඉදිරි තත්වයන් පිළිබඳව තීන්දු තීරණ කිරීමට මල්මතු මහනායක හිමියන් බැහැදැක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කෙසේ නමුත් එළඹෙන ජනාධිපතිවරණයෙන් මේ රටටත් රටේ ජනතාවටත් වඩා යහපත් ජීවිතයක් දිනාගැනීමට හැකියාව අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි ජනාධිපතිවරණය කවරාකාරයේ තත්වයක් ඇතිවෙයිද යන්නත් රට මුහුණ දී සිටින මෙම තත්වය රටට සුභදායක නොවන බවත් එය වෙනස් කරගන්නේ කෙසේද යන්නත් අපි උන්වහන්සේ සමග සාකච්ඡා කළා.

පොදු අපේක්ෂකයෙක් පිළිබඳව අදහසක් තිබුණා. නමුත් එජාපය කට්ටිවාදී ලෙස කි‍්‍රයාකරමින් පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස සම්පූර්ණයෙන් අතහැර දැම්මා. බොහෝදුරට රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩ තිබෙනවා. එය මේ ආණ්ඩුවේ අනෙක් පැත්ත මිස මීට වඩා වෙනස් එකක් නෙවෙයි. එකම කාසියේ අනෙක් පැත්තයි. ඒ නිසා රටට අවශ්‍යවී තිබෙන්නේ මේ වර්ගයේ ආණ්ඩුවක් හෝ මේ වර්ගයේ නායකයෙක් නෙවෙයි. අපේ රටේ ජනතාවගේ මහා ධනයෙන් ඉතාම සුළු පිරිසක් සුඛවිහරණයෙන් ජීවත් වනවා වෙනුවට රටේ ආර්ථිකයේ සාධාරණ පංගුවක් රටේ ජනතාවට ලැබෙන නීතියේ සහ විධානයේ ආධිපත්‍ය තරාතිරම නොබලා කි‍්‍රයාත්මක වෙන සංස්කෘතිය සහ සදාචාරය ශක්තිමත් කෙරෙන අපේ දුවාදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කෙරෙන නව අවධියකට අපේ රට පය තැබිය යුතුයි. ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේ රටත් ජනතාවත් නව දිශාවකට නව පියවරකට පය තැබිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි ජවිපෙ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ.

අපිට අවශ්‍යව තිබෙන්නේ හුදු ආණ්ඩු පෙරළියක් නායකයින්ගේ මාරුකිරීමක් නොවේ. අපි 1947 සිට ආණ්ඩු ගණනාවක් මාරු කර තිබෙනවා. නායකයන් ගණනාවක් මාරුකර තිබෙනවා. නමුත් ජනතාවට වෙච්ච සුගතියක් නැහැ. අපේ රට ඉදිරියට ගියා වෙනුවට පසුපසට රැගෙන ගොස් තිබෙනවා. ඒ නිසා හුදු ආණ්ඩු පෙරළියකින් හුදු නායකයින් මාරු කිරීමකින් අපේ රටට යහපතක් සිදුවේවි කියලා අපි හිතන්නේ නැහැ. දේශපාලන පක්ෂවල නායකයින් අත්වැල් බැඳගෙන වේදිකාවට නැග්ගා කියලා නායකයින් බදා සිපවැළඳ ගත්තා කියලා අපේ රටට අනාගතයක් ගොඩනැගේවි යැයි අපි කල්පනා කරන්නේ නැහැ. මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප‍්‍රතිපත්ති වෙනුවට ජනාතාවට හිතකර රටට මිතකර ජනතාවට සමීප නව පාලන ක‍්‍රමයකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා සියලූ පාර්ශව සමග සාකච්ඡුා කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. 1970දීත් 1994දීත් දේශපාලන නායකයින් අත්වැල් බැඳගෙන වේදිකාවට නැග්ගා. නායකයින් සමගි වුණා කියලා රටට ඉදිරියට යන්නේ නැහැ. රටට අවශ්‍ය සමාජ ආර්ථික ක‍්‍රමයේ වෙනසක්. අපි කටයුතු කරමින් තිබෙන්නේ ඒ වෙනස වෙනුවෙන්.

අපි අලුත් ව්‍යවස්ථාවක් කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ව්‍යවස්ථාවකින් පමණක් අපේ රට මුහුණ දී ඇති ප‍්‍රශ්න සම්පූර්ණයෙන් විසඳාලිය නොහැකියි. මේ ව්‍යවස්ථාව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් නිර්මාණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව, අධිකරණය මුළුමනින්ම මේ විධායකය විසින් ගිලගෙන තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට ඒකාධිපති ගමනක් යන්න මේ ව්‍යවස්ථාවෙන් හැකියාව ලැබී තිබෙනවා. සිංහල දෙමළ, මුස්ලිම් සමගිය බාධා ඇති කොට තිබෙනවා. මෙය යල්පැනපු ව්‍යවස්ථාවයක්. මෙය වෙනස් විය යුතුයි. එයට සමගාමීව ආර්ථිකයේ සමාජ ක‍්‍රමයේ පුළුල් වෙනසක් තමයි අපි අපේක්ෂා කරන්නේ."

උපුටා ගැනීම - ලංකා ටෘත්
-MMP




2014-09-18
Advertisement

Find us on Facebook