English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


‘මුක්තියක්’ හෝ ‘දණ්ඩමුක්තියක්’ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තිබේ ද?


ජීවිත 360 ක් සමග රටේ ආරක්ෂාව පරදුවට හෙලූ වගකීමේ
‘මුක්තියක්’ හෝ ‘දණ්ඩමුක්තියක්’ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තිබේ ද?

රට කරවන සහ නොකරවන දේශපාලඥයන් සඳහා පිරිනැමෙන මුක්තිය සහ දණ්ඩමුක්තිය අපේ කරුමයක් බවට පත්ව තිබේ. මුක්තිය යනු, ජනාධිපතිවරයාට පමණක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ‘නිදහසකි’. අපේ ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි, ‘.. ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේය.’’ මේ නිසා, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හැරීම හෙවත් නොකර හැරීම හේතු කොටගෙන පසුගිය පාස්කු ඉරිදා 360 කට අධික සමූහ මිනිස් ඝාතනයක් සිදුවීමට ඉඩ සැලසීම ගැන ජනාධිපතිවරයාට ‘මුක්තිය’ හිමිවෙයි.

එනිසා ඔහු සම්බන්ධයෙන් උසාවි යාමට පුළුවන් කමක් නැතත්, ව්‍යවස්ථාවේ 38 (2) (ස) යටතේ, ‘‘චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට’’ ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ආ හැක්කේය. එහෙත් එවැනි පියවරක් ගන්නේ කවුද? සාමාන්‍ය ජනතාව හැරුණු කොට අනෙකුත් සියල්ලෝම එකිනෙකා වෙත ‘මුක්තිය’ බෙදා හදාගෙන කති. එසේ වීම හැඳින්වෙන්නේ, ‘දණ්ඩමුක්තිය’ වශයෙනි. එනම්, නීතියෙන් මුක්තියක් නැති අපරාධ සිදු කොට නීතියෙන් ගැලවී සිටීමට ඇති හැකියාවයි. හරියට, ලසන්ත වික‍්‍රමතුංග සහ වසීම් තාජුඞීන් ඝාතනය වැනි දේශපාලනික අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට තවමත් නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීමේ පටන්, ඊයේ තිස්ස අත්තනායක අධිකරණය මගින්ම සියලූ චෝදනාවලින් නිදහස් කොට ගෙදර හැරීම වැනි ය. ‘අපෙන් එකෙකි ඒ මිනිසා’ යන්න, සිරිසේන සහ වික‍්‍රමසිංහ දෙපළ එක්ව, තිස්ස අත්තනායක වෙනුවෙන් ඊයේ අනුගමනය කළ ප‍්‍රතිපත්තියයි.

 
   
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනි දා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අවස්ථාවේ අගමැතිවරයා අරලියගහ මන්දිරයේ කඳවුරු බැඳ ගත්තේය. ඒ පියවර පවා එදා ගැනුණේ ඇමති මණ්ඩලයේ සිටි රැුඩිකල් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීම සහ කැපවීම නිසා ය. එම ඇමතිවරුන් කිහිප දෙනා නොසිටින්ට, සිරිසේනගේ මහ දවල් ව්‍යවස්ථා උල්ලංඝනය එදා සිට මේ රටේ සාමාන්‍ය දෙයක් බවට පත්වන්නට හොඳටම තිබුණි. හෙවත්, රනිල් වික‍්‍රමසිංහ පැදුරු සහ කොට්ට රැගෙන ගෙදර යන්නට තිබුණි.  

ඉන් පසු සිරිසේන පැටළුණු පඹ ගාලේ අවසාන පියවර වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. ඒ ව්‍යවස්ථා අර්බුදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාරක ඉරණම අවසානයේ බේරුමක් කර දුන්නේ අපේ ශේ‍්‍රෂ්ඨාධිකරණයයි. තවත් විදිහකින් කිවහොත්, සිරිසේනගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ‘අයි.ආර්.සී’ ගමන බාල කෙළේ සහ අඩපන කෙළේ ඒ කර්තව්‍යය සඳහා පේ වී සිටිය යුතු යැයි අප විශ්වාස කරන යම් දේශපාලනික නායකත්වයක් විසින් නොව, දේශපාලනික නොවන අධිකරණයක් විසින් බවයි.

අද වන තෙක් සිරිසේනගේ කිසි දුෂ්කෘත්‍යයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඔහුට අභිමුඛව අභියෝග කොට නැත. පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට සිරිසේන විසින් අගමැති තනතුරට පත්කෙළේ සජිත් පේ‍්‍රමදාස හෝ කරූ ජයසූරිය හෝ ඒ කඳවුරේ වෙනත් එවැනි කෙනෙකු විණි නම්, රනිල් වික‍්‍රමසිංහ අරලියගහ මන්දිරයේ කඳවුරු නොබඳිනු ඇත. එහෙත්, රනිල් වික‍්‍රමසිංහ නැමැති ඒ අදේශපාලනික නායකයාගේ වාසනාවට, සිරිසේන මුළු රටම අවුළුවන තරමට ප‍්‍රකෝපකාරී අන්දමින් මහින්ද රාජපක්ෂව අගමැති තනතුරේ පිහිටුවේවේය. සමස්ත රටම හෙල්ලූම් කෑවේ ඒ සිද්ධියෙනි. ඒ මහා සිවිල් ජනතා නැගිටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රනිල් වික‍්‍රමසිංහට යළිත් අගමැති තනතුර ලැබුණි.



එහෙත් ව්‍යවස්ථාව උල්ලංඝණය කළ සිරිසේනට කිසි ආපදාවක් නොවුණි. එසේ නොවන බවට අදේශපාලනික වික‍්‍රමසිංහ වගබලා ගත්තේය. වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නම් ඒ සමගම මේ පුද්ගලයාට විරුද්ධව දෝෂාභියෝගයක් එදා ගෙන එනු ඇත. ඒ, ඔහුගෙන් පලිගැනීමට නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් සහ ව්‍යවස්ථාවක් චේතනාන්විතව ¥ෂ්‍ය කරන රාජ්‍ය නායකයෙකු රටකට විශාල අවදානමක් වන නිසා ය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ නැමැති අදේශපාලනික නායකයාට ඒ කාරණය වැදගත් නැත. තුවාලය පැලැස්තරයකින් වසාගෙන, කිසිවක් සිදු නොවූ ගානට සිටීමේ ඇබ්බැහිය වික‍්‍රමසිංහගේ අදේශපාලනයේ ජානමය ලක්ෂණයකි. තුවාලය පැසවන විට, ඔහු විපක්ෂයට යන්නේය. රට විනාශයට යන්නේය.

දැන් මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩලයේ කිසි රැුස්වීමකට තමාව සහභාගී කරගෙන නැති බව රනිල් වික‍්‍රමසිංහ රටට කියන්නේ දැන් ය. ආරක්ෂක මණ්ඩලයට, අගමැතිවරයා පත්වන්නේ නිල බලයෙනි. එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට හොරෙන් ආරක්ෂක මණ්ඩලයේ කටයුතු මාස ගණනක් තිස්සේ තනියම කරගෙන යාම රටේ අගමැතිවරයාට ගිය පාස්කු ඉරිදා දක්වා ප‍්‍රශ්නයක් වී නැත. මීට මාස හයකට කලින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට තරම් සාහසික වූ මිනිහෙකු, රටේ ආරක්ෂාව තුට්ටු දෙකට දැමීමට ඇති ඉඩකඩ, රටේ අගමැතිවරයා නොතකා හැර තිබේ. ඔහු එය සලකා ඇත්තේ, ‘මගේ වැඩක් නොවන’ ගානට ය.


ඊළඟට, ඔක්තෝබර් 26 වැනි දා සිට අද දක්වාම සිරිසේන පොලීසිය ඇතුළු නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතේ තබාගෙන සිටී. මෙය, පැහැදිලිවම, නැවතත් එක දිගටම රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. ව්‍යවස්ථාවට අනුව ඔහුට තබා ගත හැක්කේ, රාජ්‍යාරක්ෂක, පරිසර සහ මහවැලි යන අමාත්‍යාංශ පමණි. එහෙත් අගමැති රනිල් වික‍්‍රමසිංහට එයත්, ‘මගේ වැඩක්’ නොවුණි. ඉතිං, ජීවිත 360 කින් සහ ලේ ගංගාවකින් වන්දි ගෙවූ මහා විනාශයේ වගකීම භාරගන්නේ කවුද? දැන් එය සිරිසේනගේ ගිණුමට පමණක් බැර කොට සිටීමට වික‍්‍රමසිංහට පුළුවන් ද?

මේ අනුව බලන විට, යහපාලනයේ සමස්ත අසාර්ථකත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙන්, ගෝඨාභය වැනි ඒකාධිපතියෙකු දැන් රටට අවශ්‍ය වී ඇති බවට නැගෙන ඒ මූසල අඳෝනාවට ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ සිරිසේන නොව, වික‍්‍රමසිංහ ය. මන්ද යත්, සිරිසේන කරන ලද තීරණාත්මක දුෂ්ක‍්‍රියාවන් නොනැවතී ඉදිරියට ගියේ, වික‍්‍රමසිංහ නොකර හරින ලද ක‍්‍රියාවන් නිසා වන බැවිනි.
 
සිරිසේන තිරුපති කෝවිලට ගියේය. ඊට කලින් වික‍්‍රමසිංහත් තිරුපති ගියේය. ඊටත් කලින් රාජපක්ෂත් තිරුපති ගියේය. මේ තිදෙනාම, ‘ථෙරවාද බෞද්ධයන්’ ය. තිරුපති කෝවිලේ පූසාරියා ඉදිරියේ රටේ නායකයන් තිදෙනාම දණ ගසා අයදින්ට ඇත්තේ ‘ඔවුන්ගේ’ ආරක්ෂාව සහතික කර දෙන ලෙස විය යුතුය. ඒ නායකයන් තිදෙනාම, ඇෙඟ් මවිලකටවත් හානියක් නැතිව අදටත් නිරුපද්‍රිතව සිටීම ඊට ‘සාක්ෂි’ දරයි. එහෙත් තිරුපති දෙවියන් ළඟට යනවා වෙනුවට, සිරිසේන සහ වික‍්‍රමසිංහ, සතියකට වරක් කොළඹ ආරක්ෂක මණ්ඩලයේ රැුස්වීමට සහභාගී වී, අපේ බුද්ධි අංශයේ සහ ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් ලැබුණු බුද්ධි අංශ අනතුරු ඇඟවීම්වලට ‘භක්තිවන්තව’ පේ විණි නම්, අහිංසක රටවැසියන් 360 ක් අදටත් ජීවතුන් අතර සිටිනු ඇත.
 
ඒ ම්ලේච්ඡු ප‍්‍රහාරය පිළිබඳ මුල්ම බුද්ධි අංශ වාර්තාව සිරිසේනගේ ආරක්ෂක අංශ වෙත ලැබී ඇත්තේ අපේ‍්‍රල් 4 වැනි දා ය. ඊළඟට, තවත් එවැනිම බුද්ධි අංශ වාර්තාවක් අපේ‍්‍රල් 9 වැනි දා සහ 11 වැනි දා ලැබී තිබේ. ඉනුත් පසුව, මේ ප‍්‍රහාරය දියත් වීමට පැය කිහිපයකට කලින් අවසාන වතාවට තවත් අනතුරු ඇඟවීම් සහිත පණිවිඩ සිරිසේනගේ ආරක්ෂක අංශ වෙත ලැබී තිබේ. සිරිසේන තිරුපති ගියේ එවැනි බුද්ධි අංශ වාර්තා කිහිපයක්ම තමන් අතට ලැබී තිබියදී ය. අවසාන අනතුරු ඇඟවීම් ලැබෙන විට සිරිසේන සිටියේ තිරුපති කෝවිලෙන් ලද ‘දේව ආරක්ෂාව’ සහිතව, සිංගප්පූරු දෙවි කෙනෙකු ලඟට තවත් පෞද්ගලික වන්දනාවක යමිනි.

21 වැනි දා උදේ මහා හෙන ගෙඩිය පාත් විය. ඒ වෙලාවේ, ලංකාවේ වැඩ බලන රාජ්‍ය නායකයෙකු සිටියේ නැත. වැඩ බලන ආණ්ඩුවේ නායකයෙකු සිටියේ නැත. වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙකු සිටියේ නැත. වැඩ බලන ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධාන අණදෙන නිලධාරියෙකු සිටියේ නැත.

රාජ්‍ය නායකයෝ විදේශගත වෙති. එහෙත් ඒ හැම විටකම, ඔහුගේ රාජකාරි ආවරණය කිරීමට තවත් කෙනෙකු රටේ ව්‍යවස්ථාව අනුව පත්කිරීමෙන් පසුව ය. අපේ ව්‍යවස්ථාවේ 37 (1* අනුව, ‘‘ශ‍්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා.. ස්වකීය ධුරයට අයත් බලතල, කාර්ය සහ කර්තව්‍යය ක‍්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට තමාට නොහැකි වේ යැයි ජනාධිපතිවරයාගේ මතය වේ නම්, එම කාල සීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක‍්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා පත්කළ හැක්කේය.’’ මේ කියන සිරිසේන තිරුපති ගියේ ජනාධිපති ධුරය, රාජ්‍ය නායක ධුරය, ආණ්ඩුවේ ප‍්‍රධානී ධුරය, නීතිය හා සාමය අමාත්‍ය ධුරය සහ ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරී ධුරය තමන්ගේ සාක්කුවේ දාගෙන ය. ඒ, තිරුපති කෝවිලේ සිට රිමෝට් කොන්ට්‍රෝලයකින් ‘තමාගේ කාර්ය ඉටු කිරීමට තමාට හැකි’ යැයි ඔහු විශ්වාස කළ නිසා විය යුතුය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඉල්ලූවත් රනිල් වික‍්‍රමසිංහට අගමැති කම නොදෙමියි කී සිරිසේනට තවමත් අගමැතිවරයා කෙරෙහි ඒ ග‍්‍රාම්‍ය එදිරිය ඇත්නම් ඊටත් පිළියමක් ව්‍යවස්ථාවෙන් සපයා තිබේ. ඉහත කී 37 (1* අනුව්‍යවස්ථාවේ අතුරු විධානය මගින් කියැවෙන පරිදි, ‘‘අග‍්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම්.. ඒ කර්තව්‍ය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කථානායකවරයා පත්කළ හැක්කේය.’’ එහෙත් සිරිසේන නොවේ එසේ කෙළේ. ජනාධිපති තනතුරේ වැඩ බැලීම පැත්තකින් තියන්න. අඩු වශයෙන්, නීතිය හා සාමය සම්බන්ධයෙන් වැඩ බැලීම සඳහාවත් කෙනෙකු පත්කර තිරුපති වඳින්ට යාමට සිරිසේනට ඇති බාධාව කුමක්ද?

තිරුපති ගිය අනිත් නායක මහින්ද රාජපක්ෂ මේ අපරාධයේ වගකීම, බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු මේ ආණ්ඩුව විසින් හිරේ දැමීම නිසා ඇති වූ තත්වයකැයි කියා තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ අපරාධවල සැකකරුවන් බව මුලින්ම මේ නායකයාට මතක් කර දිය යුතුය. අනිත් අතට, බුද්ධි අංශ විසින් අඩුම තරමින් මේ අවස්ථාවේදී වාර්තා කිහිපයක් අදාළ බලධාරීන්ට ඉදිරිපත් කොට තිබෙන බව ඔහු වසං කරයි. ඇත්තෙන්ම ප‍්‍රශ්නය වුණේ, ඒ වාර්තා අනුව කටයුතු කරන දේශපාලනික බලධාකාරියක් නොතිබීමයි. ඇරත්, බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇති මෙකී ආගමික අන්තවාදීන් ජාතක කිරීම සඳහා, බේරුවල සහ අලූත්ගමින් පටන්ගෙන දිගන දක්වා ඇදගෙන ගිය මුස්ලිම් විරෝධී ව්‍යාපාරය නොවන්නට, මෙවැනි ත‍්‍රස්තවාදීන් බිහිවීමේ ඉඩකඩ අඩු වන්ට තිබුණු බවත්, ඒ කිසි සිද්ධියකට සම්බන්ධ අපරාධකරුවෙකු මේ දක්වා, (‘යහපාලන’ ආණ්ඩුව යටතේ පවා* දඬුවමට ලක්ව නැති බවත් ඔහු වසං කරයි. දේශපාලනික ව්‍යාපෘති වෙනුවෙන් කෙරෙන අපරාධ සඳහා පිරිනැමෙන එකී දණ්ඩමුක්තිය, පක්ෂ භේදයකින් තොරව, පාලකයන්ගේ ආරක්ෂාව සඳහා භාවිතයේ යෙදෙන අතරේ, අහිංසක ජනතාව ඊට වන්දි ගෙවති.       

ගාමිණී වියන්ගොඩ





2019-04-26
Advertisement

Find us on Facebook