English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාතෘභූමියට පව් නොදී තොලොන්චි වෙලා යන්න


මාතෘභූමියට පව් නොදී තොලොන්චි වෙලා යන්න

”අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ මාතෘභූමියට පව් දෙන්නේ නැතුව. වහාම ඉල්ලා අස්වෙන්න. මේ රටේ ජනාධිපතිධූරය දරන්න  ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ රට ආරක්ෂා කරන්න  ඕන තරම් මිනිස්සු ඉන්නවා. එය කළමනාකරණය කරන්න තරම්  ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා කරුණාකරලා පව් දෙන්නේ නැතුව, තව මාස කිහිපයක් ඉන්න තිබුණා අගේට. දැන් ඒකත් අහිමි කරගන්නවා. වහාම කොලොන්චි වෙලා යන්න. ඉල්ලා අස්වෙන්න වහාම.”

ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි.


ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි මේ අදහස් ප‍්‍රකාශ කරන ලද්දේ රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකතුව විසින් පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේ දී 2019 අපේ‍්‍රල් මස 23 වෙනි දින පැවති මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සඳහා , මහාචාර්ය එච්.ඩබ්.සිරිල්, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නපි‍්‍රය, පිලිප් දිසානායක, නීතිඥ ප‍්‍රබෝධ රත්නායක ඇතූළු විශාල නියෝජිතයන් පිරිසක් සහභාගි විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි.

අන්තවාදීන්ව හැදුවා දැන් ඵල නෙළනවා

අපි පසුගිය ආණ්ඩුකාලේ බොදු බල සේනා සංවිධාන හදලා, රාවණා බල හදලා, මහසෝන් බලකායවල් වගේ කාලකණ්නි සංවිධාන හදලා, නැති ප‍්‍රශ්නයක් මේ රටේ හදන් හදපු හැටි අපි දැක්කා. ඒකට අදාලව අපි විරෝධය දක්වන්න මැදිහත් විය හැකි ඉහළම විරෝධය දැක්වූවා. හැමෝම බියෙන් අත ගහන්නේ නැතුව ඉන්න වෙලාවක, භික්ෂූන් වහන්සේලා මැදිහත් වෙලා ඒවා සංවිධානය කරපු වෙලාවේ, භික්ෂූන් වහන්සේලා තුළ ඉන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට, ඊට එරෙහිව ඉහළම මැදිහත්වීම කරපු කෙනෙක් තමයි මම. ඒ වෙලාවේ මම කිව්වා මේක කෙමනක් කියලා. මේ එන්නේ දෙමළ, සිංහල සමගිය නැති කරන්නට එදා එල්.ටී.ටී.ඊ. කෙමන ඇටෙව්වා වගේම දැන් මේ මුස්ලිම් හා සිංහල සමගිය අනාගතයේ දී නැති කරන්න හදන්නේ කියලා මම කිව්වා. ඒ කෙමන තමයි එදා ඉඳන්ම, ජනතාව බෙදන්න ස්ථානගත කළේ. ඒක පිටිපස්සේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි හිටියේ එදා ආණ්ඩුව. ඒත් ඒකේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, සමහර බලහත්කාරයෙන් යොදවා ගත්ත බුද්ධි අංශ සමාජිකයින් හිටියා. ඔවුන්ගේ කැමැත්තෙන් නෙමෙයි, ඒවා සමාජිකයන්ට, ඒවා නිල බලය පාවිච්චි කරලා මෙහෙයෙව්වා. ඒක ඉතා පැහැදිලි වන්නේ මොකද, ඒ ආණ්ඩුව අවසන් වුනා විතරයි, අවසන් කලා විතරයි. බොදු බලසේනා වලට වෙච්ච දෙයක් නැහැ. රාවණා බලයට වෙච්ච දෙයක් නැහැ. මහසෝන් බලකායට වෙච්ච දෙයක් නැහැ. ඒ ගොල්ලන්ට කිසිම තැනක හැසිරෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ආණ්ඩුව තියෙද්දි ඒගොල්ලන් හිටියේ සිංහයෝ වගේ. අමාත්‍යංශ වලට පැදුරු අරගෙන පැන්නා, ඒවා අල්ල ගත්තා. ඇමතිවරුන්ට අපහසුතාවයන්ට පත් කළා. ලේකම්වරුන්ව අල්ල ගත්තා. දිවා රාතී‍්‍ර අමාත්‍යංශවල ලැගලා හිටියා. ඒවනේ කළේ. මුළු ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක්. ඒවා ඔක්කෝම නැති වුනා. ඔබට තේරෙනවා කව්ද ඒක මෙහෙයෙව්වේ කියලා. අද ඒක නැත්තේ මොකද ? ඒ ගොල්ලන්ට හිස ඔසවන්න බැරි වෙන්නේ මොකද? එදා හිස එසෙව්වේ මොකද කියලා නැවත පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒක තමයි අටවපු කෙමෙන. හයිඞ්පාර්ක් රැුස්වීමක් තිබ්බා අධිරාජ්‍ය විරෝධී ජාතිය ව්‍යාපාරය හැටියට එහි කැඳවුම්කරු මම, එදා තමයි ප‍්‍රථම වතාවට එළිදරව් කිරීම කළේ, මේක කෙලින්ම සිංහල, මුස්ලිම් සමගිය බිඳින්න එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය මෙල්ල කරලා යන්තම් ඉස්පාසුවක් ගත්තා විතරයි පුළුවන් වුනේ, නරක උපායකින් හරි, නොකළ යුතු ක‍්‍රමයකින් හරි, ඒක මර්ධනය කරලා, ජාතික සමගිය ගොඩනගන්න කදිම අවස්ථාවක් හදාගත්ත වෙලාවේ, මේ ආයේ පටන් ගත්තා වෙන වැඩකට කියලා. අද ඒක තමයි මේ ප‍්‍රයෝජනයට ගනිමින් ඉන්නේ. දැන් ඒ වැපිරූ බීජයේ ඵල නෙළා ගනිමින් සිටින්නේ අද ඒ අය ඔක්කෝම. ඒක තමයි
ඇත්ත කතාව.





අන්තවාදී තරුණ මුස්ලිම්වරුන්ට හොඳ පරිසරයක් හැදුවා

ඒකට අදාලව ජාත්‍යයන්තර මැදිහත්වීම ඒ අය ලබාගනිමින් ඉන්නවා. ලබා නොගත්තත් අපි හැමෝම දන්න දෙයක් තියෙනවා, රටක් ඇතුළේ හදනු ලබන පරිසරය, විදේශීය ආගමික,අන්තවාදී, ත‍්‍රස්තවාදී කල්ලි වලට හරිම සරු පසක් වගේ වෙනවා නම්, අරමුණු දෙක සමපාත නොවුනත්, ඒ අවශ්‍ය පරිසරය යොදා ගැනීම ඔවුන් විසින් කරනු ලබනවා. ඒකට නොමිලේ කාඩර්වරු සපයන එක, මරාගෙන මැරෙන ඒවා සපයන එක, අවි ආයුධ අවශ්‍ය නම් සපයන එක, දිගු කාලීනව ලංකාවේ භූමියට අදාලව, විදේශීය ආගමික අන්තවාදීන්ට, අදාල නොවුනත්, ඔවුන් ඒ අවස්ථාවන් පාවිච්චි කරනවා. ඒක තමයි මේ කළේ. ඒ බව පේනවා. එය සමපාතයි පැහැදිලියි. ඒ අනුව යම් කිසි අන්තවාදී ස්වරුපයකට ඉඩක් ලංකාවේ ඇති කිරීමේ කි‍්‍රයාවලිය කාලයක් තිස්සේ කලා. දර්ගා නගරයේ ප‍්‍රහාර, අලූත්ගම ප‍්‍රහාර, දිගන ප‍්‍රහාර, අම්පාරේ. ඒ තත්ත්වයන් තරුණ අන්තවාදී මුස්ලිම්වරුන් අතර එහෙම තත්ත්වයකට පොළොඹවන පරිසරයක් කාලයක් තිස්සේ හැදුවා ඉතාමත්ව සූක්ෂම විදියට. ඒ අනුව දැන් යම් සාධාරණීකරණයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා අපිට ගැහැව්වා අලූත්ගම දි, තවත් තැන් වලදි ගැහැව්වා, දැන් රිටර්න් එක තමයි දෙන්න පටන් අරන් තියෙන්නේ කියලා.  ඕන කෙනෙකුට හිතෙනවා අපිට ගැහැව්වා දැන් අපිටත් ගහන්න අයිතියක් තියෙනවා කියලා කියන්න. දැන් ඉතින් කව්රුත් කන එකයි තියෙන්නේ මෙන්න රිටර්න් එක කියලා සූත‍්‍රයක් හැදිලා තියෙනවා. ඒ අවස්ථාවක් පාවිච්චි කරලා තියෙනවා මේ බලයේ හිටපු කණ්ඩායම.



රටට හතුරු රාජ්‍ය නායකයා

ඒ වගේම ජනාධිපතිවරයා ඔය ගොල්ලන් කියන විදියට, අපි හිතන විදියට අනම් මනං කියන කෙනෙක්, කරන කෙනෙක් නෙමෙයි. ඇත්ත කතාව ජනාධිපතිවරයා සෘජුවම මේ රට අරාජක කිරීමේ කි‍්‍රයාවලියේ කොටස් කාරයෙක්. ඔහු රටට හතුරු නායකයෙක්. වහාම කි‍්‍රයා මාර්ග ගන්න  ඕන කියලා මම කිව්වා. මම එහෙම කිව්වේ මට පුද්ගලිකව මට කිසිම හානියක් කරලා නෙමෙයි. මෛති‍්‍රපාල ජනාධිපතිවරයා සම්බන්ධව පුද්ගලිකව මත කිසිම විපතක් කරලා එහෙම කරලා නෑ. ඒ නිසා මම එයා ගැන මේ දේවල් කියන්නේ නෑ. අපි මෙහෙම කතා කරන්නේ එයාව පත් කරන්න විශාල කාර්යභාරයක් කරපු කෙනෙක් හැටියට අපිට තේරුණු තොරතුරුත් එක්ක මේ කියන්නේ. අපිට අනිවාර්යයෙන්ම අයිතිය තියෙනවා එවා ගැන කියන්න. ඔහු මේ හැසිරිලා තියෙන ආකාරය ගැන පළමුකොටම ඔහුගේ කි‍්‍රයාකාරකම් දෙස බැලූ විට පේන්නේ ඔහුට අවශ්‍ය බලය. ඒ සඳහා ඔහු සතුරොත් එක්කත් අත්වැල් බැඳගත්තා. ඔහුව අල්ලලා අඩි හයක් යටට යවනවා කියලා ෂුවර් කියලා කියපු ඔහුම කියපු මිනිහව, ළගට අරගෙන රාති‍්‍රය වෙනකොට අගමැති බවට පත් කලා ඔහු. ඔහුට කරන්න බැරි දෙයක් නැහැ තමන්ගේ බලය හා වෛරය පදනම් කරගත්ත කාරණය මත. පුද්ගලික කාරණා වෛරය මතන තියෙන්නේ. ද්වේෂ සහගත ආකල්පයකින් ඔහු ඉන්නේ. ඔහු ඒ වෙනුවෙන් මෘතෘ භූමියම ව්‍යසනය කරා ගෙනියන්න සමත් පුද්ගලයෙක්. මට හිතෙන විදියට ඔහු හිට්ලර්ට වඩා දරුණු මිනිහෙක් කියලා මම  කියනවා. හිට්ලර් ජර්මනිය සම්බන්ධයෙන් ඔය විදියට හිතුවේ නෑ කියලා මම හිතන්නේ. ලෝකයට හානිදායක වුනත්, හිට්ලර් ජර්මන් ජාතිය සම්බන්ධයෙන් කල්පනා කලා, වැදගත්  ආර්ය ජනයා කියලා කල්පනා කළා. හිට්ලර් හොඳයි කියලා මම කියන්නේ නෑ. ඔහුට අද සියල්ල කාබාසිනියා කරගෙන හරි තමාගේ අරමුණු කරා කොහොම හරි යනවා කියන තැනක ඉන්නේ.



ජනාධිපති නිසා ඇතිවීමට ගිය ලේ වැගිරීම වැලැක්වුවා

ඔක්තෝම්බර් 26 වෙනිදා කුමණ්ත‍්‍රණය මේ වගේ එකක් තමයි. ඒක වෙලාවට ශී‍්‍ර ලාංකික ජනයා සහ සිවිල් පුරවැසි බලවේග වහාම මැදිහත් වෙලා අතට අරගෙන විසඳුම හින්දා ලේ වැගිරීමක් වුනේ නෑ. නැත්නම් අනිවාර්යයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක්, අග‍්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක්, එක රැුයින් තමන්ට හිතුමතේ ඒකාධිපති බලතල භාවිතා කරලා අනික් පැත්ත හැරෙන කොට අවි ගන්නවා. වෙන රටක නම් කැරළිකාර තත්ත්වයක් ඇති වෙනවා. ඒක අනික් පැත්තට ආපහු හරවන්න ජනතාව වීදි සටන් වෙත ගමන් කරනවා. ඒක සිංහල දෙමළ ප‍්‍රශ්නයක් නෙමෙයි එන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් එනවා. ඒ අනුව ඒකට එරෙහිව සටන් වදිනවා. සිවිල් සමාජය හා වෘත්තීය සමිති එකමතුව ඇතුළු විවිධ සිවිල් කණ්ඩායම් තේරුවේ ඒ සටන. අපි අවි ආයුධ පැත්තට ගියේ නෑ. අපි ඒකට යන්න ඉඩ දෙන්නෙත් නැහැ කාටවත්. එහෙම යන හින්දා සහ යන්න තියෙන කල්ලි අකර්මන්‍ය කරමින් ඉන්න හිතනවනම් අපි ඒකත් වලක්වලා, අපි සටන් දෙකක් දෙපැත්තේ කළා. එකක් තමයි යුක්ති සහගත වීදි සටනක් කිරීමට අවස්ථාවක් තියෙද්දි, ඔහු එහෙම කළ යුතු යයි බුර බුරා නැගෙමින් අදහසක් සමාජය තුළින් මතු වෙද්දි, ඒක එහෙම  ඕන නෑ අපි විසඳන්නම් වෙන විදියකට කියලා අපි අතට ගත්තා එක පැත්තකින්. ඒ අනුව අපි සත්‍ය ග‍්‍රහ කි‍්‍රයා මාර්ගයකට ගියා. ඒ අනුව අපි ජාත්‍යයන්තර ප‍්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. උද්ඝෝෂණ කි‍්‍රයා මාර්ග, පහන් දැල්වීම්, යාතිකා, යාච්ඤා, බෝධි පූජා අපි පාවිච්චි කළේ. ඒකත් මේ මගේම බෙලි ගහලා යන වැඩක්. ලේ හලන වැඩක්. ඒක අඛණ්ඩව යනවා අපි අතට අරගෙන සමනය කළේ නැත්නම්. ඒක අපි කළා. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනයා අපි කියපු ක‍්‍රමවේදය අනුගමනය කරමින් අපිට සහය දැක්වුවා. පාර්ලිමේන්තුව ඇතුළේ ඔලූ පෑදුනා. ශ්‍රේෂ්ඨාධිකරණය නියම විදියට යුක්තිය ඉෂ්ඨ කළා, මහජනයා හැටියට අපි කවුරුත් ඒ වැඬේ හරියටම කළා. අද මැරුණු 300 කට වැඩි ප‍්‍රමාණයක් නෙමෙයි අපි එහෙම නොකළා නම් තාමත් සටන් යනවා. මේ හැම වීදියකම ගොඩනැගිලිවල වහලවල් නෑ. බිත්ති නෑ හරිනම් එහෙම ගත්තොත්. හැම හන්දියකම තියෙන ගොඩනැගිලි වල බුලට් තමයි තියෙන්නේ. මිනිස්සු වෙන විදියකට ගත්තා නම් එදා සටන. අපේ වගකීමක් හැටියට අපි ඒක කළා. ඒකත් මෛති‍්‍රපාල සිරිසේනගේ වැඩක්.

වගකීම් විරහිත රාජ්‍ය නායකයා

ජනාධිපතිවරයා ඉතාමත් වගකීම් විරහිතව සහ තමන්ගේ බලකාමය නිසා, අග‍්‍රාමාත්‍යවරයා කෙරෙහි තියෙන පෞද්ගලික වෛරයක්, පාවිච්චි කරලා අද ඔහු  ඕනම වැඩකට යන වර්ගයේ මිනිහෙක් වෙලා තියෙනවා. ඒක ඔහු ගත්ත එක් දේශපාලන පියවරක්. ඔහු නිසා ඇතිවීමට ගිය බිහිසුණු වැඩක් තමයි අපි නතර කළේ කියලා මතක තියා ගන්න. ඒ එකක් එයාගේ. ඊට පස්සේ එයා නතර වුණේ නෑ. ඒක නිසා තමයි දැන් ඊළග එක ගිහින් තියෙන්නේ. ඒක තමයි ඔහු පිට රට යනවා. වගකීම් සහගත නෑ. පහුගිය දිනවල කරලා තියෙන වැඩ ටික බලන්න. ජනාධිපතිවරයෙක් කරන වැඩ ද මේවා. අපි එයාට ජනාධිපති ධූරය පැවරුවේ සන්නද්ධ හමුදාවල නායකයා හැටියට. රටේ ජාති ආරක්ෂවේ කේන්ද්‍රය ඔහු. ඔයාගේ යුතුකම් ටික ඔයා කරන්න  ඕනා මළත්. ඔයා රටට ගහන්න හදලා, ප්ලෑන් කරලා ඔක්කෝමත් කරලා, පිටරටවල් වලට ගිහිල්ලා හරියන්නේ නෑ. රටේ ජනයා මැරුම් කන්න  ඕනා. මැරුම් කාලා තියෙනවා 300 ගනක්. එයා ජනාධිපතිවරයා හැටියට එයාගේ රාජකාරිය ඉටු කරලා නෑ. ජනමාධ්‍යවේදීන් සම්මාන ප‍්‍රදානය කරන උත්සවයේදී ඔහු පෝඩියම් එක පහළට දාලා, ඒ වගේම තෑගි දෙනකොට ඇතුළට යනවා, එළියට එනවා. අමුතු සන්ත‍්‍රාසයකින්, අමුතු ස්වරූපයකින් හැසිරුණේ. දැන් තමයි මට තේරෙන්නේ එහෙම කළේ ඇයි කියලා. ඒ නිසා ඔහුට යම් කිසි සැකයක් තියෙන්න ඇති සමහර විට, මෙතනට ප‍්‍රහාරයක් එල්ල කළත් මම බේරෙන්න  ඕනා. අනික් අය ගියත් කමක් නෑ කියලා. මොකද මේ ආරක්ෂක වාර්තාව දීලා තියෙද්දිත් කි‍්‍රයා මාර්ග නොගැනීම ගැන හිතනකොට. වෙන හින්දා නෙමෙයි. ආරක්ෂක අංශ, බුද්ධි අංශ, ජාත්‍යයන්තර සහයෝගීතාවයත් අපේ අය පාවිච්චි කරලා. හරියට කළමනාකරණය කරලා, මේ බුද්ධි තොරතුරු කියද්දිත්, ඔහු ඒවා හමස් පෙට්ටියට දාලා කටයුතු නොකිරීම නිසා හිතෙනවා ඔහු මේ වැඬේ කොටස්කාරයෙක් කියලා. ඔහු මේ සිද්ධියෙන් සතුටුවෙන අනුගාමිකයෙක්. එහෙමත් නැත්නම් අනුශාසකයෙක්. නැත්නම් මේ කි‍්‍රයාදාමයට ඔහු අනුමෝදන් වෙනවද කියන ප‍්‍රශ්නේ තියෙනවා. ඔහුගේ හැසිරීම ගැන මම පසුගිය පෙබරවාරි හෝ මාර්තු මාසයේදී මෙවැනි ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී සඳහන් කළා. මම එදා කිව්වා මේ වගේ ජනාධිපතිවරයෙක් අපේ ලංකාවේ ඉතිහාසයේම අපි දැක්කේ නැහැ කියලා. මම ඒ නිගමනයට ආවේ ඔහුත් එක්ක පැය දෙකකට අධික කාලයක් සාකච්ඡුා කරලා ඉවර වෙලා. මට දැණුනු කාරණා දෙකක් එක්ක තමයි මම ඒ නිගමනයට ආවේ. මම ඒක මහජනයාට කෙලින්ම කිව්වා. මම ඒක කිව්වේ මෙතන හිටපු සියළු දෙනා පුදුමයට පත් කරමින්. අද කොහොමද තත්ත්වේ. මම කියපු කරුණු හරි ගිහිල්ලා තියෙනවා. මේ රටක නායකයෙක් ද?. ඒ වගකීම ද මේ දරන්නේ?. ජනාධිපතිවරයා දෙකයි පනහේ වර්ගයේ කෙනෙක්. එයාට  ඕන දෙයක් වුනාට අපිට ප‍්‍රශ්නයක් නැහැ. දේශපාලන වශයෙන් හෝ වෙනත්  ඕනෑම විදියකින්. රටට ජාතික ආරක්ෂා පිළිබඳ ප‍්‍රශ්නයක් ඔහු විසින් ඇති කර තිබෙනවා. දැන් ඒකට අනුමෝදන් වෙන්න මහින්ද රාජපක්ෂ මොකක්ද දැන් කියන්නේ ?. බුද්ධි අංශ අකර්මන්‍ය කිරීම නිසා මේ කටයුත්ත ඇති කරලා තියෙනවා. ඒකෙන් අඟවන්න හදන්නේ මොකක්ද? මිලේනියම් සිටි වල සිදුවුනු සිද්ධියත් පාවිච්චි කරලා, තමාත් සම්බන්ධ වෙලා කරපු මේ කුමණ්ත‍්‍රණය පැත්ත වෙන පැත්තකට හරවන්න දැන් එක එක කියවනවා. වගකීම රනිල් වික‍්‍රමසිංහගේ පැත්තට දාලා ආපහු කොහොම හරි වට්ටලා, ප‍්‍රචාරක කටයුතුත්, යුද්දෙත් අතට අරගෙන තියෙනවා ඒ ගොල්ලෝ.



බුද්ධි අංශය තමන්ගේ රාජකාරිය කරලා තියෙන්නේ

මම තක්සේරු කරලා තියෙන විදියට සී.අයි.ඒ එකටත් වඩා, එෆ්.බී.අයි එකටත් වඩා, ස්කොට්ලන්ට්යාඞ් පොලිසියටත් වඩා, රෝ එකටත් වඩා, කේජීබී එකටත් වඩා, ශී‍්‍ර ලංකාවේ බුද්ධි අංශ ශක්තිමත්. ඩුබායි පැනලා හිටපු මාකඳුරේ මධූෂ්ව අල්ලන්නේ කාගේ මැදිහත්වීමෙන්ද? කේ.පී ව අල්ලගෙන ආවේ කොහොමද මැලෙසියාවේ ඉඳලා? හොරොයින් කිලෝ 300,400,500 ගැඹුරු මුහුදේ ඉඳලා, රට ඇතුළේ හැම තැනම තියෙන ඒවා දිනපතා අල්ලන්නේ මොන පදනමින් ද? මෙහේ ඉන්න දේශපාලඥයන්ගේ මැදිහත්වීමෙන් ද, නෑ. බුද්ධි අංශ වලින් සොයා ගන්නා තොරතුරු පදනම් කරගෙන තමයි අල්ලන්නේ. ඒවා හරියටම අල්ලනවා බඩුත් එක්ක. මේ සිද්ධියේදී කොහොමද? දින වකවානු සහිතව, මේ කණ්ඩායම් වල නායකයෝ නම් ගම්, යන තැන්, රාති‍්‍රයට ගිහිල්ලා හමුවෙන ඒවා. සියල්ල ඇතුව මේ වාර්තාවෙන් එළිදරව් කරලා තියෙනවා. කව්ද කළේ? ශී‍්‍ර ලංකාවේ බුද්ධි අංශ. අදාල ජාත්‍යයන්තර සහයෝගය බුද්ධි අංශ ලබාගෙන තියෙනවා. අපි පවත්වගෙන යන ආරක්ෂක කාරියේදී රට ඇතුළේ ආරක්ෂාව පමණක් නෙමෙයි, අනෙකුත් කලාපීය හා ජාත්‍යයන්තර ඡුාල වලිනුත්, උදව් අරගනිමින් ඉන්නේ. ඒ නිසා තමයි ඉන්දියාව වහාම දැනුවත් කරන්නේ මෙන්න ලෑස්තියක් වෙනවා වහාම අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගන්න කියලා. ඒ අනුව අපේ බුද්ධි අංශ හොයලා බලනවා කොහොම මේක ඇත්ත නැත්ත කියලා. නිකන් ලණු කන්නේ නැතුව. ඉන්දියාව වුනත් වෙනත් රටක් වුනත් ලණුවක් දෙන්න ඉඩ තියෙනවා. එහෙම ලණු කෑවෙත් නෑ. ඒවා නිරීක්ෂණය කළා. නිරීක්ෂණ කරන කොට, තොරතුරු ලැබුණු එහෙම එකක් තියෙනවා කියලා. ඒ නිසා තමයි ලියලා යැව්වේ ප‍්‍රභූවරු ප‍්‍රවේසම් වෙන්න. පල්ලි වලට ගහන තොරතුරු ටික සත්‍යයක්. ඒ නිසා මේ අනතරු ඇඟවීමට අවධානය යොමු කරන්න. මේකට ගත යුතු දේශපාලනමය තීන්දු ගන්න, අපි ඉතුරු ටික බලාගන්නම් කියලා. නමුත් ඒක කළේ නෑ.

සියල්ලන්වම අවිශ්වාස කරන රාජ්‍ය නායකයා

ඊට අදාල කාර්්‍යය ජනාධිපතිවරයා විසින් සිදු කළේ නැහැ. ඒක හොඳටම පේනවා ආරක්ෂක මණ්ඩලයට අග‍්‍රාමාත්‍යවරයා කැඳවන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනව කැඳවන්නේ නෑ. ආණ්ඩුවට ප‍්‍රහාර එල්ල කරන්න අවශ්‍ය කරන වාතාවරණය ක‍්‍රමානුකූලව හදන විදියට තමයි කරන්නේ? ඒ විදියට තමයි ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙන්නේ? අගමැතිවරයා ගියානම්, රුවන් විජේවර්ධන ගියා නම් මේ ප‍්‍රහාරයට අදාල අනතුරු ඇඟවීම ගනු ලබනවා. මොකද ආණ්ඩුවේ වැඩි පළුව රනිල් වික‍්‍රමසිංහ නියෝජනය කරනු ලබන්නේ. ඒ නිසා එයා කැමති වෙන්නේ නැහැ මොනම හේතුවකින් වත්, තමන් ආණ්ඩුවට වෙන කල්ලියක් ලව්වා ගස්සව ගන්න. එහෙම කරලා මේ අත් වෙලා තියෙන තත්ත්වය අත්පත් කරගන්න. මෝඩයෙක් මිසක් එහෙම වැඩක් කරගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා කළේ වැලැක්වුවා අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා එන එක. පස්සේ රට ගියා. යන කොට පත් කළේ නැහැ වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක්. රාජ්‍ය ඇමතිවරයාට කිසිම බලතලයක් දුන්නේ නැහැ.

වැරදිකරුවන් නිදහස් කිරීමට ඉහළින් නියෝග දුන්නේ කව්ද?
 
වනාතවිල්ලූවේ අල්ලපු දෙන්නව අත්අඩංගුවට ගන්න එපා වහාම නිදහස් කරන්න කියලා ඉහළින් නියෝග කරපු කෙනා කව්ද? ඒ ජනාධිපතිවරයා තමයි. එයා වෙන්න  ඕන කියලා අපි හිතනවා නැතුව වෙන කෙනෙක් නැහැ. ඒවා ඔක්කෝම වැලැක්වුවා. මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ එක්කෙනෙක් තමයි ඒ වනාතවිල්ලූවේ නිදහස් කරපු පුද්ගලයා. මරාගෙන මැරෙන මට්ටමට වනාතවිල්ලූවේ වැඬේ කරලා තියෙනවා. වනාතවිල්ලූවේදි මරාගෙන මැරෙන මටට්මට හිස හදපු පුද්ගලයෙක් ඔහු. මරාගෙන මැරෙන කෙනෙක්ගේ ඔලූව හදනවා කියන එක පැහැදිලියි. කාලයක් තිස්සේ කරලා තියෙනවා කියලා එයින් පේනවා. එයාව නිදහස් කරනවා කියන මට්ටමට ආවා කියන්නේ, රටට මෙවැනි විපතක් අත්පත් කර දෙන්න එයා හිතලා තියෙනවා කියලා පැහැදිලියි. අපිට ලැබෙන තොරතුරු අනුව අපට උපකල්පනය කරන්න පුළුවන්. එතන තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ.

වහාම කොලොන්චි වෙලා යන්න.

අපි කොයි තරම් මේ කෑගැහැව්වත්, අපි කරන්න  ඕන දේවල් යෝජනා කළත්, ජනාධිපතිවරයාගෙන් තොරව කරන දේකට තමයි අපට ආරක්ෂාව ලැබෙන්නේ? ජනාධිපතිවරයා දන්නේ නැතුව, එයාට හොරෙන් එයා නැතුව, එයාව පිටමං කරන වැඩ වලින් විතරයි අපිට ආරක්ෂාවක් තියෙන්නේ? රටේ ජාතික ආරක්ෂාවක් මින් මතුවට තහවුරු වෙන්නේ ? ප‍්‍රථම වතාවට අපි කියනවා අපිට බැහැ හොර වැඩ කරන්න. අපිට බැහැ ජනාධිපතිවරයව පිටමං කරලා වෙන වැඩ කරන්න. ඒක අපිට තරම් නොවෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ මාතෘභූමියට පව් දෙන්නේ නැතුව. වහාම ඉල්ලා අස්වෙන්න. මේ රටේ ජනාධිපතිධූරය දරන්න  ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ රට ආරක්ෂා කරන්න  ඕන තරම් මිනිස්සු ඉන්නවා. එය කළමනාකරණය කරන්න තරම්  ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා කරුණාකරලා පව් දෙන්නේ නැතුව, තව මාස කිහිපයක් ඉන්න තිබුණා අගේට. දැන් ඒකත් අහිමි කරගන්නවා. වහාම කොලොන්චි වෙලා යන්න. ඉල්ලා අස්වෙන්න වහාම.

වගකීම් දරන්න සුදුසු අය  ඕන තරම් ඉන්නවා

ඒවගේම ඊට කලින් මාතෘභූමිය වෙනුවෙන් යන්තම් හරි මොනවා හරි එකක් තියෙනවා කියලා හිතෙනවා නම්, වහාම ආරක්ෂාව සම්බන්ධව වෙනම ඇමති කෙනෙක් පත් කරන්න. ජාතික ආරක්ෂක අමාත්‍යධූරයක් වහාම හදන්න. ඒක පූර්ණ කාලීන ආරක්ෂ ඇමති කෙනෙක් පත් කරන්න. ත‍්‍රස්තවාදය එල්ල වෙලා තියෙන අවස්ථාවක්. මේක සෙල්ලම් නැහැ. සීෆෝ පාවිච්චි කරලා තියෙන්නේ. මරාගෙන මැරෙන බැටෑලියන් පාවිච්චි කරනවා. ජාත්‍යයන්තර සහයෝගය ලබාගෙන තියෙන බවක් දැනට පේනවා. එයි.එස්.එයි.එස් ලගේ ජාත්‍යයන්තර ප‍්‍රවනතාවයන් අධ්‍යයනය කරනකොට මෙවැනි ප‍්‍රහාරයකට, මෙවැනි කල්ලි මෙවැනි වාතාවරණයන් සුදුසු යැයි ඔවුන් අත්පොළසන් දෙන බව පේනවා. මෙම සිද්ධිය දීර්ඝ කාලීන කි‍්‍රයාවලියකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒකට සිහිබුද්ධියෙන් ඉන්න  ඕනා. ඒ නිසා පූර්ණ කාලීන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කරන්න වහාම. ඒ සඳහා සුදුසු අය මේ රජය තුළම සිටිනවා. ඒ වැඬේ හරියටම කරලා අත්දැකීම් තියෙන මිනිස්සු ඉන්නවා. මේ සඳහා අග‍්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලනවා හරියට කෙලින් හිටගෙන, ජනාධිපතිවරයාගෙන් කෙලින්ම ඉල්ලන්න. ඔහුට බලපෑම් කරන්න. අද ( 23 * දින පාර්ලිමේන්තුවේදී අද දින කිසිවක් කළ නොහැකි වෙයි. නමුත් හෙට ( 24 * විශ්වාසභංගයක් ගෙන ඒමේ අනතුර ඔහුට අනිවාර්යයෙන්ම එල්ල කරන්න. විශ්වාසභංගයක් ගෙනල්ලා ඔහුව නෙරපීමට අවශ්‍ය කටයුතු කරන්න.

ජනාධිපතිවරයාව විශ්වාස කරන්න බෑ

ජනාධිපතිවරයා ජාතියට කරලා තියෙන හතුරුකම් ප‍්‍රමාණය අති විශාලයි. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අපට කිසිඳු විශ්වාසයක් දැන් නැහැ. මම දැන් කියපු කිසිවක් අනුමාණ නොවෙයි. ඉතිහාසයේ ඉඳලා ඔහු සම්බන්ධයෙන් සිදුවුනු දේවල් මම කිව්වේ. කණ්නාඩියක් ඉදිරියට ගිහින් බලනවා වගේ බලන්න ඔහු එහෙම නෙමෙයි ද කියලා. තවදුරටත් හොඳලා, මිරිකලා, සිබිමෙන් පළක් නැහැ. මේ හොඳමට ඇති. ජනාධිපතිවරයාව හදාගන්න පුළුවන් කියලා අපි හිතනවා නම් තකතීරුවෙක් හෝ තකතීරු කණ්ඩායමක් තමයි එහෙම හිතන්නේ.



2019-04-26
Advertisement

Find us on Facebook