English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔබේ මන්තී‍්‍රවරයා මෙම වැරදි කර ඇත්නම් තනතුරින් ”පහ කළ හැකියි ”


ඔබේ මන්තී‍්‍රවරයා මෙම වැරදි කර ඇත්නම් තනතුරින් ”පහ කළ හැකියි ”

මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වීම සඳහා මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වන ලෙස නිර්වචනය වූ කි‍්‍රයා සහ අවස්ථා ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දක්වා තිබේ. ඔබේ මහජන නියොජිතයා පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, නගර සභාවේ හෝ ප‍්‍රදේශීය සභාවේ වුවත් ඔහු හෝ ඇය නුසුදුස්සෙකු නම් එම ධුරය අහෝසි කිරීම සඳහා අභියෝග කරන්නේ කෙසේද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සමාජිකාවක් වන නීතිඥ චමින්ද්‍රී සපරමාදු ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් හා ඊට අදාළ තොරතුරු සම්පින්ඩණය කරමින් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වූවාය

.
.
ඡන්දදායකයෙකු වීමට ඇති සුදුසුකම

ඇය මුලින්ම කියා සිටියේ ශී‍්‍ර ලංකාවේ ඡුන්ද දායකයෙකු වීම සඳහා සුදුසුකම් නොලබන කිසිවෙකුට කිසිඳු මැතිවරණයක් සඳහා තරඟ කිරීම සපුරා තහනම් වන බවය.



ද්විත්ව පුරවැසිභාවය

එම නිසා ශී‍්‍ර ලංකාවේ පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය සුදුසුකමකි. එනම් මෑතදී සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක් කර ඇති වගන්තියකට අනුව ශී‍්‍ර ලංකාවේ පුරවැසිභාවය ඇතත් වෙනත් රටක ද පුරවැසිභාවය දරන්නේ නම් ඔහු හෝ ඇය මහජන නියෝජිතයෙකු වීමට නුසුදුස්සෙකි.

එම නිසා ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.



සිහි විකල් බව

”එමෙන්ම යම් පුද්ගලයෙකු යහපත් මානසික මට්ටමකින් පසු නොවන බවට
(Unsound Mind) ශී‍්‍ර ලංකාවේ පවත්නා නීතියකට අනුව ඔප්පු වී ඇත්නම් හෝ ඔප්පු කළහොත් එම පුද්ගලයාට මහජන නියෝජිතයෙකු විය නොහැකිය. මන්තී‍්‍රවරයෙකු වීමට නුසුදුසුකම් ලියැවිලා තියෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියේ සිට 91 වන වගන්තිය දක්වා” යයි නීතිඥ චමින්ද්‍රී සපරමාදු ප‍්‍රකාශ කළාය. 



ඇය ගෙනහැර දැක්වූ අනෙකුත් කරුණු සංක්ෂිප්තයක් ලෙස ගත් කළ මෙසේය.

මැතිවරණයකට තරග වැදීමට නම් ඔහු හෝ ඇය වයස අවුරුදු 18 සපුරා තිබිය යුතුය. ( ශ‍්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා ද එය මූලික සුදුසුකමකි.)

ආසන්තම වසර හත ඇතුළත දෙවසරකට හෝ ඊට වැඩි කාලයකට සිර දඬුවමකින් මාස 06 කට වැඩි කාලයක් සිරගත වී සිටියේ නම් නුසුදුස්සෙකි. ( එම සිරකරුට ජනාධිපති සමාව හිමි වූයේ නම් එම කාල පරිච්ෙඡ්දය අදාල නොවේ.)

1946 ශී‍්‍ර ලංකා ( පාර්ලිමේන්තු මැතිවරණ ) රාජ්‍ය සභා ආඥාවේ 52 සහ 53 වගන්ති ප‍්‍රකාර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට හෝ දූෂණ කි‍්‍රයාවකට වැරදිකරුවෙකු වී ආසන්නතම වසර හත ඇතුළත දඬුවම් ලබා ඇත්නම් එම පුද්ගලයාට ද මන්තී‍්‍රවරයෙකු විය නොහැකිය.

එම ආඥ පනතට අනුව වෙනත් නීති විරෝධී කි‍්‍රයාවකට වරදකරුවෙකු වී වසර තුනක් ගතවන තුරු ඔහු හෝ ඇය මැතිවරණයකට නුසුස්සෙකි.



අල්ලස් ගැනීම

අල්ලස් පනත යටතේ වරදකරුවෙකු වී වසර හතක් ගෙවෙන තුරු කිසිවෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 77 සහ 82 වගන්ති ප‍්‍රකාර, මැතිවරණ දූෂණ සහ අක‍්‍රමිකතා සිදුකිරීම යටතේ වරද කරුවෙකු වූයේ නම් වසර පහක් ගතවන තුරු ඡන්ද අපේක්ෂකයෙකු විය නොහැකිය.
 
මහජන ආයතන (
දූෂණ වැලැක්වීමේ ) ආඥා පනතේ 2 සහ 3 වන වගන්ති ප‍්‍රකාර, යම් ආයතනයක තීන්දුවක් වෙනස් කිරීම සඳහා අල්ලසක් දීම හෝ අල්ලසක් ලබා ගැනීම වෙනුවෙන් වරදකරුවෙකු වී වසර 5 ගතවන තුරු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 81 වන වගන්තියට අනුව යම් කිසි අයෙකුට එරෙහිව ප‍්‍රජා ආශක්නුතාව/ ප‍්‍රජා අබලතාව නියම වූයේ නම් එම කාල පරිච්ෙඡ්දය තුළ ඔහුට හෝ ඇයට ඡන්ද අපේක්ෂකයෙකු වීමේ වරම අහිමි වනු ඇත.

ශී‍්‍ර ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 188 සිට 201 වන වගන්තිය ප‍්‍රකාර, සාවද්‍ය සාක්ෂි ලබා දීම වැනි කි‍්‍රයා සඳහා වරදකරුවෙකු වී වසර හතක් ගත වන තුරු මන්තී‍්‍රවරයෙකු වීමට නුසුදුස්සෙකි.

විශේෂ ජනාධිපති කොමිසමකට අගරු වන ආකාරයට කටයුතු කළ අයෙකු ලෙස ඔප්පු වූයේ නම් වසර හතක් ගෙවෙන තුරු ඔහුට හෝ ඇයට ද ඡන්ද අපේක්ෂකත්වය අහිමි වනු ඇත.



රජයේ කොන්ත‍්‍රාත්තු

ඉහත කී ආකාරයේ වැරදි ශී‍්‍ර ලංකා ඡුන්ද දායකයෙකු වීම සඳහා ද නුසුදුසුකම් වනු ඇත. ඊට අමතරව ඡන්ද අපේක්ෂකත්වය අහිමි වන විශේෂ නුසුදුසුකම් කිහිපයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 19 වන වගන්තියේ දක්වා ඇත.

එක් මැතිවරණයක් වෙනුවෙන් දිස්ති‍්‍රක්ක දෙකකට හෝ වැඩි ප‍්‍රමාණයක් සඳහා නාම යෝජනා ලබා දී ඇත්නම් එම පුද්ගලයාගේ අපේක්ෂකත්වය අහිමි වනු ඇත.

එකම පුද්ගලයා දේශපාලන පක්ෂ දෙකක් හෝ ඊට වැඩි ගණනකින් අපේක්ෂත්වය ලබා ගෙන ඇත්නම් එය ද නුසුදුසුකමකි. 

රජයට සම්බන්ධ කොන්ත‍්‍රත්තුවකින් කිසියම් ප‍්‍රතිලාභයක් ලබන තැනැත්තෙකුට ද ඡන්ද අපේක්ෂත්වය විය නොහැක.

ශී‍්‍ර ලංකාවේ නීතියට අනුව යම් පුද්ගලයෙකු බංකොලොත්භාවය ප‍්‍රකාශ කර ඇත්නම් එය ද නුදුසුකමකි.

මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී අල්ලසක් ලබාගත් බවටත්, තම රාජකාරි තීන්දුවකට එම අල්ලස බලපා ඇති බවටත් ඔප්පු වුවහොත් වසර හතක් යන තුරු එම පුද්ගලයාට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. 

මීට අමතරව, ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ නියුතු කෙනෙකුය මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. ඡන්ද අපේක්ෂයෙකු වීම සඳහා වැට බැඳෙන තවත් රජයේ තනතුරු රාශියක් පවතී. එවැන්නෙකු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් නාම යෝජනා බාරදීමට පෙර තමන් දරන තනතුරින් ඉවත් විය යුතුය.

ඉහත කී වැරදි සිදු කර ඇති පුද්ගලයෙකු මන්තී‍්‍රවරයෙකු ලෙස තේරී පත් වී ඇත්නම් ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අයිතිය සෑ පුරවැසියෙකුටම පවතී.

මැතිවරණ කොමසාරිස්වරයා කිසිඳු පියවරක් නොගන්නේ නම්  ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පැතිය හැකිය.

බීබීසී සිංහල වෙබ් අඩවියට, ඡයාරූප ශිල්පීන්ට, කාටූන් ශිල්පීන්ට අපගේ තුතිය.





2019-04-17
Advertisement

Find us on Facebook