English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් ජනඝත කරමු ! ( 02 ) - බන්ධනාගාර වධහිංසාවන්ට යුක්තිය ලැබෙන්නේ කවදාද ?


මානව හිමිකම් ජනඝත කරමු ! ( 02 )

බන්ධනාගාර වධහිංසාවන්ට යුක්තිය ලැබෙන්නේ කවදාද ?
කසුන් පුස්සවෙල


' යහපාලනය ගෙන එන්න කලින්, ඒ සංකල්පය ගෙන එන ගමන්ම, වර්තමාන ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දැන් බලයට පත් වෙලා ඉන්න ආණ්ඩු පක්ෂයේ සියලූ මැති ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන්, සියළු දෙනාම පුන පුනා කිව්වා අපි බලයට පත් වුනු වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නවා කියලා. එහෙම කියලා ආපු අයගේ පාලන කාලය තුළම තමයි අගුණකොළපැලැස්ස සිදුවීමත් වෙන්නේ.'

කසුන් පුස්සවෙල

කසුන් පුස්සවෙල තරුණ ජනමාධ්‍යවේදියෙක්. ඔහු 2012 වසරේ සිදුවන වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනයන් සම්බන්ධයෙන් ගවේශනාත්මක වාර්තාකරණයක යෙදෙනවා. ඒ නිසාම ඔහු විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන විමසුමකි.


අකුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීම

සිරකරුවන් සුරැුකීමේ කමිටුව විසින් මාධ්‍යට ලබා දුන් අගුනකොළපැලැස්ස බන්ධනාගාර රැුඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දෙන වීඩියෝවක්. ඔවුන් මාධ්‍යට මුදාහැරියේ එහි සී.සී.ටී.වී. දර්ශන. රටේ විශාල කතා බහක් ඒ සම්බන්ධයෙන් ඇති වුනා. බන්ධනාගාර අඥාපනතේ 132 වගන්තියේ පැහැදිලිව දක්වලා තියෙනවා, කොහොමද බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ රැඳවියන්ට සැලකිය යුතු ආකාරය. ඔවුන් අනිවාර්යයෙන් මානුෂීයව, සමානව, වධහිංසා නොවන ආකාරයෙන් සැලකිය යුතුයි කියලා සඳහන් වෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඨයම වන්නේ ආරක්ෂාව සහ පුනරුත්තාපනය.බන්ධනාගාරයට සැකකරුවෙක්, සිරකරුවෙක් යන්නේ අධිකරණ කි‍්‍රයා මාර්ගයකින්, නීතියේ සඳහන් ආකාරයට දඬුවමක් ලබා දීලා.එතනින් පස්සේ දඩුවම් කරන්න මේ රටේ කිසිම බලධාරියෙකුට, නිලධාරියෙකුට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයකදී තමයි බන්ධනාගාරය නිලධාරීන් විසින් පොලූ මුගුරු වලින් අගුණකොළපැලැස්සේ රැුඳවියන්ට පහර දෙන්නේ. ඒ පහර දීම සිදු කරන්නේ 2018 නොවැම්බර් 22 වෙනිදා.

බන්ධනාගාරවල රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය

ඒ පහරදීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. අපි 1983 ඉඳලා ගත්තොතින්, සුප‍්‍රසිද්ධ කුට්ටුමනී ඝාතනය කළ අවස්ථාවේ ඉඳල 2018 වසරේ අගවෙනකම්ම අපි දකිනවා බන්ධනාගාර තුළ පහරදීම්, ඝාතනය කිරීම් සිදුවෙනවා. ඒ අතරින් මෑත දශකයේ බරපතලම සිදුවීම දැක්කේ 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ නොවැම්බර් 09 වෙනි දින සිදුවූ සිදුවීම. ඇතුළෙදි සිරකරුවන්ට ඒ විදියට පහර දෙන්න බෑ, පුරවැසියන්ව ඝාතනය කරන්න බෑ, නීතියට පිටින් ගිහින් දඬුවම් දෙන්න බැහැයි කියන ස්ථාවරයේ ඉන්න අපිට එල්ල වෙන චෝදනාව තමයි, සිරකරුවන්ට, වැලිකඩ බන්ධනාගාර ඝාතනය සාධාරණයි කියන එක. ඒ සිදුවීමට සමාන සිදුවීමක මුල් අදියර තමයි අපි අගුණකොළපැලැස්සෙන් දැක්කේ. වැලිකඩ සිරකරුවන් ඝාතනය, පහරදීම සම්බන්ධයෙන් වෙනස් මතයක් දරපු බොහෝ පිරිස, අගුනකොළපැලැස්ස සිදුවීම දැකලා කියන්න උත්සාහ කලා, සිරකරුවන්ට පහරදීම වැරදියි කියලා. මේ ආකාරයටම තමයි 2012 වසරේත්, වැලිකඩ බන්ධනාගාර සිද්ධියෙදිත්, සිරකරුවන්ට ආරක්ෂක නිලධාරීන් පහර දෙන්නේ. ඒ පහරදීමෙන් පස්සේ තමයි, වේදනාව, කෝපය මුදා හරින්න තමයි ඔවුන් නැවත පෙරළා ආරක්ෂක හමුදාවන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙන්නේ. දෙවෙනි අදියරක් විදියට සිදුවුනු අගුණකොළපැලැස්ස සිදුවීම මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කලා සහ  තේරුම් ගත්තා අගුණකොළපැලැස්සෙදි වෙච්ච දේම තමයි එදා වැලිකඩදිත් වෙන් ඇත්තේ කියලා.
යහපාලන රජයේ වැලිකඩ බන්ධනාගාර පොරොන්දුව.

රජය මේ සම්බන්ධයෙන් අපරාධය සඳහා දඩුවම් දීමට මැදහත්වීමක් නිසි ලෙස සිදුවෙලා නෑ. යහපාලන රජය බලයට ආවෙම, පසුගිය දශකයේ වෙච්ච ඝාතන, අපරාධ, විශේෂයෙන් වැලිකඩ බන්ධනාගාර සිදුවීම හොයන බව පවසමින්. එය ඔවුන්ගේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුනා. යහපාලනය ගෙන එන්න කලින්, ඒ සංකල්පය ගෙන එන ගමන්ම, වර්තමාන ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දැන් බලයට පත් වෙලා ඉන්න ආණ්ඩු පක්ෂයේ සියලූ මැති ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන්, සියළු දෙනාම පුන පුනා කිව්වා අපි බලයට පත් වුනු වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නවා කියලා. එහෙම කියලා ආපු අයගේ පාලන කාලය තුළම තමයි අගුණකොළපැලැස්ස සිදුවීමත් වෙන්නේ.

කමිටු වාර්තා සහ යුක්තිය

වැලිකඩ බන්ධනාගාර ඝාතන 24 සම්බන්ධයෙන් ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කලා. අධිකරණ කටයුතු සිදුවෙනවා. නමුත් අධිකරණ කටයුතු දීර්ඝව ඇදි ඇදී යනවා මිසක් තාම යුක්තිය ඉටුවීමක් සිදුවෙලා නෑ. අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කලා විෂයභාර ඇමතිතුමිය විසින්. නමුත් එහි අවසනාවන්ත කාරණය තමයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකට විදියට ඉන්න එක් කොමසාරිස්වරයෙක් වන තුෂාර උපුල්දෙණියවම තමයි මේ කමිටුවේ සමාජිකයෙක් විදියට කටයුතු කරන්නේ. ඒ කියන්නේ බන්ධනාගාරය තුළින් වෙච්ච පහරදීම හොයන්න හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ ක‍්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. මේ මොහොත වෙනකම් ඒ සම්බන්ධ ති‍්‍රපුද්ගල කමිටුව ගැන කිසිදෙයක් හෙළිකරල නැ. මේ සිද්ධිය කියලා පැහැදිලිව වාර්තා කරලත් නැහැ. ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් අරගෙනත් නැහැ මේ රජය. ජනතාව, සිවිල් කි‍්‍රයාකාරින්, මාධ්‍යවේදීන් විදියට, අපිට මේ රජයෙන් අහන්න තියෙනවා මේ රජයත් කරන්නේ පහුගිය රජයන් කරපු දේම නේද කියලා. ඒක සාධාරණ ප‍්‍රශ්නයක්. ඒක මටත්, මේවා බලන, මේවා අහන, සමාජයට තියෙන සාධාරණ ප‍්‍රශ්න.

බන්ධනාගාර තුළ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින සිරකරුවන්ව පසුගිය රජය ඝාතන කලා. මේ රජයේ පහරදීම් ඇස්පනා පිට දකිද්දිත්, තවමත් අලූත් පරීක්ෂණ සිදුවෙන්නෙත් නැහැ. පරණ පරීක්ෂණ සිදුවෙන බවත් පේන්නෙත් නැහැ. ඒක නීතියේ ආධිපත්‍යය. යහපාලනය සහ ශිෂ්ඨ රටක් වෙනුවෙන් කතා කරපු මේ අයගේ කි‍්‍රයාකාරිත්වය ගැන පෙරළා අපිට ප‍්‍රශ්න කරන් සිද්ධවෙනවා. ජනාධිපතිවරයගෙන්, අගමැතිවරයාගෙන් සහ බන්ධනාගාර ඇමතිතුමියගෙන් ඇතුළු යහපාලන රජයෙන්ම.
යුක්තිය ප‍්‍රමාද වෙන්නේ දේශපාලන වුවමනාව නැති නිසා .

ඇත්තමට මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මකවීමට  ඕනවටත් වඩා නීති තියෙනවා. මේ රටේ ඉතා දක්ෂ පොලිසියක් ඉන්නවා. ඉතා දක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඉන්නවා. රජයේ රස පරීක්ෂකවරු ඉන්නවා. සාක්ෂි එළිපිට පේන්න තියෙනවා අගුණකොළපැලැස්ස සිදුවීම් සම්බන්ධයෙන්. ඒ වගේම වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් කමිටු වාර්තා, රස පරීක්ෂක වාර්තා ඇතූළු සියළුම දේවල් තියෙනවා. ඇසින් දුටු සාක්ෂි තියෙනවා. රටේ විශිෂ්ඨ අධිකරණයක් තියෙනවා. විනිසුරුවරු ඉන්නවා. ඒවට අවශ්‍ය තාක්ෂණයත් තියෙනවා. නවීනම තාක්ෂණය නැතත්, අවශ්‍ය සියලූම අපරාධ විමර්ශනය කරන්න ශක්තිය තියෙනවා. ආයතන තියෙනවා. නමුත් යුක්තිය ඉටුවෙන්නේ නැහැ. යුක්තිය ප‍්‍රමාදවෙනවා කියන්නේ, ඒ කියන්නේ මේ යාන්ත‍්‍රණය එන්න එන්න මිනිසුන්ගෙන් පිරිහීමට පත්වෙමින් යනවා. හේතුව ඉහළින් එන යම් බලපෑමක් නිසා හෝ දේශපාලන බලපෑමක් නිසා වෙන්න පුළුවන්, යම් කිසි පිරිසක් ආරක්ෂා වෙනවා වෙන්න පුළුවන්.

බන්ධනාගාර තුළ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය වාර්තා කිරීම

2012 නොවැම්බර් මාසයේ සිට මම වැලිකඩ ඝාතන සිදුවීම දිගටම රාවය පුවත්පතට වාර්තා කලා. ඊට අමතරව වෙනත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මෙම සිදුවීම වාර්තා කලා. දැන් වසර 07 කට ආසන්න වෙනවා මේ හෙළිදරව්ව කිරීමට සම්බන්ධ වෙලා. මම ඒ සම්බන්ධයෙන් පොතක් ලිව්වා. මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් සිදු කරලා තියෙනවා. ඒ සඳහා අදාළ හෙළිදරව් කිරීම් දිගින් දිගටම සිදු කලා. සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, ඉදිරිපත් කරලා තියෙනවා.

බන්ධනාගාර චූදිත ඝාතකයා හඳුනාගැනීම


එවැනි තත්ත්වයක් තුළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වසරක පමණ කාලයක තිස්සේ සමාජ මාධ්‍ය හරහා මගේ ඡුායාරූප පළ කරමින්, මා සම්බන්ධව විවිධ අදහස් දක්වමින්, තර්ජන දිගින් දිගටම සිදු කරනවා. ඒ වගේම මට සමාජ මාධ්‍ය හරහා පණිවිඩ එවලා තිබුණා තර්ජනාත්මකව. නමුත් ඒ සම්බන්ධව මම නිහඩ සිටියා. මොකද මගේ කාර්යභාරය ජනමාධ්‍ය. වෙන පුද්ගලයෙකුට දඬුවම්දීම හෝ වෙන පුද්ගලයෙක් වැරදිකාරයෙක් කිරීම නෙමෙයි. මට තියෙන්නේ පුද්ගලයෝ සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේ ක‍්‍රමයේ ප‍්‍රශ්නයක්. නෛතිකභාවයන් ඇතුළේ, ජනමාධ්‍යයන් ඇතුළේ තමයි මගේ වගකීම හා කාර්යභාරය තියෙන්නේ. මගේ කාර්යභාරය අවසන් කරලා තියෙද්දි, යමෙක් මට තර්ජනය කරනවා නම්, ඒක සමස්ත මාධ්‍ය නිදහස සහ රටේ ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය, භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස, අහුරා දැමීමක් විදියට තමයි ඒක අර්ථදක්වන්න තියෙන්නේ. ඒ මට කා සමග හෝ ගල උඩ සටනක් හෝ නිලධාරියෙක් එක්ක පුද්ගලික සටනක් නැති නිසා.

අනීතික ආණ්ඩු සමයේ සමාජ මාධ්‍ය චණ්ඩියා

ඒ තර්ජන තීව්ර වෙනවා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුවන අනීතික ආණ්ඩු පෙරළියත් එක්ක. සමාජමාධ්‍ය දිගින් දිගටම පළ කිරීමක් සිදුකරලා තිබුණා මම පාතාලකාරයන්ගේ පත්තරකාරයා, කුඩුකාරයන්ගේ පත්තරකාරයා, ඒ සඳහා ඔවුන් මිලියන ගණන් මුදල් වියදම් කරනවා. රාජිත හා පාඨලී කියන අමාත්‍යවරුන් මේ සඳහා පිටුපස්සේ ඉන්නවා කියලා. මම එන්.ජී. ඕ. කාරයෙක් කියලා තිබුණා. මම ඔවුන් කිසි දිනක දැක කතා කරලත් නැහැ. දිගින් දිගටම මේ අපහාස චෝදනා එල්ල කිරීම් ඉවසන්න බැරි තැන මම කි‍්‍රයාත්මක වුනා.

ජනමාධ්‍යවේදියෙකුගේ හෘදය සාක්ෂිය 

මට දැන් යන්න තියෙන්නේ අධිකරණයට. 2015 සම්මත වුනු වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට. මේ රටේ අග‍්‍රවිනිශ්චයකාරයට, පොලිස්පතිවරයට, ජනාධිපතිවරයට, මානව හිමිකම් කොමිසටම, මම ගිහින් පැමිණිල්ලක් කලා. සාමාන්‍ය ජනතාවට ප‍්‍රශ්නයක් වුනාම යන්න තියෙන තැන්වලට මම ගියා. මගේ ආරක්ෂාවට පමණක් නෙමෙයි. මේ රටේ ඉදිරියේ සාක්ෂි ලබා දෙන්න ඉන්න සහ වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න ඉන්න මිනිස්සුන්ට. යම් කිසි යුක්තියක් හා ආරක්ෂාවක් තිබිය යුතුයි කියන කාරණය. මම දන්න එකම දේ මගේ දෑත් පිරිසිදුයි, මගේ හෘදය සාක්ෂිය පිරිසිදුයි.


( රාවය, ඉරුදින, රැුස පුවත්පත් වල සේවය කරන ද ලද කසුන් පුස්සවෙල වැලිකඩ 2012 දී සිදුවූ රැුඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගවේශනාත්මක වාර්තාකරණයක යෙදුනි. 12.11.10 වැලිකඩ, විනිර්මුක්තිය. නමින් ග‍්‍රන්ථ දෙකක් රචනා කර ඇති කසුන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.)

රයිට් ටු ලයිෆ් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

<iframe width="500" height="300" src="https://www.youtube.com/embed/eurPflE7sxI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>




2019-04-17
Advertisement

Find us on Facebook