English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


උඩුකුරු වූ ජනාධිපති මනස - ව්‍යවස්ථා කරණමකට සැරසෙයිද?


උඩුකුරු වූ ජනාධිපති මනස - ව්‍යවස්ථා කරණමකට සැරසෙයිද?

වත්මන් ජනාධිපතිවරයා නැවත වාරයක් ජනාධිපති ලෙස ධූර කාලයකට පත් වීම සඳහා උත්සහ කරමින් සිටින බව නොරහසක්. ඇතැම් උත්සාහයන් ඔහුව මුලූමනින්ම නිරුවත් කලද බලය උදෙසා ඔහු එම උත්සාහයන් නොපැකිිළව ගනිමින් සිටියි. ඔහුව ධූරයට පත් කිරීමට පිටුබලය සැපයූ දේශපාලන මතවාදයෙන් කිසිදු හිරිකිතයකින් තොරව ඔහු සෙමින් සෙමින් ඉවත් වෙමින් සිටියි. එපමණක් නොව ඔහුව බලයට පත් කල දේශපාලන අධිෂ්ඨානයන් විසින් නිර්මාණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ව්‍යුහයටද ඔහු පහර එල්ල කරමින් සිටියි. ඔහුව බලයට පත් කිරීම වෙනුවෙන් පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ තර්ජනයන්ට ලක් වෙමින් වෙහෙස නොබලා ක‍්‍රියාත්මක වූ සිවිල් සංවිධාන දැන් ඔහු හදුන්වන්නේ එන්.ජී. ඕ කාරයෝ යන රාජපක්ෂගේ ස්වරයෙනි. තවදුරටත් බලයේ සිටීමට නැතහොත් නැවත වාරයකට බලයට පත්වීමට ඇති ඔහුගේ අවශ්‍යතාවය වෙනුවෙන් පසුගිය වසරේදී ඔහු විසින් තීරණාත්මක පියවරයන් කිහිපයක් ගන්නා ලදී.

ප‍්‍රථමයෙන්ම ජනාධිපතිවරයා විසින් 19වන සංශෝධනයෙන් පසු සිය ධූර කාලය වසර 5ක්ද නැත්නම් 6ක් දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීය. ශ්‍රේෂ්ඨාධිකරණය එය වසර 5ක් බවට තීරණය කරමින් සිය මතය ඉදිරිපත් කරන ලදී. මීළගට ඔහු ගත් නෛතික වශයෙන් බැලූ බැල්මට ගැටළුකාරී බව පෙනෙන කිසිදු තීරණයක් පිළිබඳ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසන ලදී. ඔක්තෝබර් 26 නව අගමැතිවරයකු පත් කිරීමේ සිට පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා වූ සියළු ක‍්‍රියාමාර්ග ඔහු විසින් ඍජුවම ගන්නා ලදී. පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීමට නොහැකි වීමත්, ඔහු පත්කල අගමැතිවරයා විශ්වාසභංග මගින් පරාජය වීමත්, විශේෂයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් හේතුකොට ගෙන ඔහු විසින් සිදු කරන ලද කිසිම ක‍්‍රියාවක් ඔහුගේ පැත්තට වාසිදායක නොවුනි. දැන් ඔහු අලූතින්ම පිමි කීපයක් පනින්ට යන බවට ආරංචි පැතිරේ.

පළමු වැන්න ඉතාම වැදගත්. ඒ ඔහුගේ ධූර කාලය ඇරඹෙන්නේ කවදාද යනුවෙන් සාකච්ඡුාවට ලක් කිරීමට උත්සහ කරන කාරණාවයි. මේ හරහා ජනාධිපතිවරයාගේ උත්සාහය අන් කිසිවක් නොව මෙම ධූර කාලය තුළ තමා බලයේ සිටින කාල සීමාව වැඩි කර ගනිමින් ඔහුගේ ධූර කාලය තුළදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි. මේ සියල්ල සිදු කිරීමට උපයෝගී කර ගන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් හෝ දෙකකි. මාධ්‍ය හරහා එකී වගන්තිය පමණක් ඉස්මතු කරමින් අපූරු ව්‍යවස්ථා සෙල්ලමක් ජනපතිවරයා හා ඔක්තෝබර් 26 කි‍්‍රයාවලිය පරාජය වීමෙන් නන්නත්තාර වී ඇති ඔහුගේ දේශපාලන කඳවුර කරමින් සිටියි. ඔක්තෝබර් 26 ක‍්‍රියාවලියටද භාවිතා කලේ මේ සෙල්ලමමයි. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය බලය උදෙසා සිදු කරන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සෙල්ලම තීරණාත්මක ලෙස නතර කරන ලදී.

මෙම ධූර කාලය ඇරඹෙන්නේ කවදාද යන ප‍්‍රශ්නය ජනපතිවරයාගේ වාසියට හැරවීම සඳහා ඔහුගේ දේශපාලන කඳවුර වෙනුවෙන් ජනාධිපති උපදේෂක ශිරාල් ලක්තිලක හා දයාසිරි ජයසේකර තර්ක ඉදිරිපත් කරන බව පෙනෙයි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය පදනම් කරගෙන ඔවුහූ එම තර්කය ඉදිරිපත් කරයි. 19 සංශෝධනය  (1) 3 වගන්තිය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතා්න්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 46 වන ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවට අදාළවන තාක් දුරට වූ මේ පනතේ 9වන වගන්තියේ විධිවිධාන ද, මේ පනතේ 15,28,29,30 හා 31 වගන්තිවල විධිවිධාන ද මේ පනත ක‍්‍රියාත්මක වන දිනයට ඉක්බිතිවම පැවැත්වෙන මහා මැතිවරණය අවසන් වීමේදී බලාත්මක විය යුත්තේය.   

මෙම වගන්තියේ දක්වා ඇති 9,15,28,29,30 හා 31 යන වගන්ති ජනපතිගේ ධූර කාලය හා සම්බන්ධ නොවෙයි. නමුත් මේ සමඟම කියවෙන මෙම සංශෝධනයේ 1 වගන්තියේ 2 උප වගන්තියේ දැක්වෙන්නේ 9 වගන්තියේ හා 15 වගන්තියේ විධිවිධාන හැර අනෙකුත් විධිවිධාන මේ පනත කි‍්‍රයාත්මක වන දිනයේදී බල පැවැත්විය යුතු බවයි.ඒ අනුව 19වන සංශෙෘ්ධනයට කතානායකතුමා අත්සන් කල දින සිට එය බල පැවැත්වෙන බැවින් වසර 5 ධූර කාලයද එදින සිට ක‍්‍රියාත්මක වන බව ඔවුන්ගේ අදහසයි.

මේ සියළු තර්කයන්ට එරෙහිව ඇසිය හැකි එක සරල ප‍්‍රශ්නයක් තිබේ. ඒ ජනාධිපතිවරයා අගෝස්තු මහ මැතිවරණයෙන් පසු හෝ 19වන සංශෝධනය සම්මත වීමෙන් පසු නැවත වසර 5ක ධූරකාලයක් සඳහා දිවුරුම් දුන්නේද යන්නයි. ජනාධිපතිවරයා එසේ දිව්රුම් නොදුන් අතර එසේ දිවුරුම් දීමට හැකියාවක්ද නැත. ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 8 දිනය. එදින ඔහු බෝල්පොයින්ට් පෑනකින් අත්සන් කර වීරෝධාර ලෙස ජාතිය අමතා සිදු කරන ලද ප‍්‍රකාශය මතක් කරගන්නා ලෙසද යෝජනා කරමි. එකී ජනවාරි 8 දා දිව්රුම් දුන්නේ වසර 6ක කාල සීමාවකටය. එකී වසර 6 අවසන් වීමට නියමිතව තිබුණේ වර්ෂ 2021 ජනවාරි 8 දාය. නමුත් ජනාධිපතිවරයාගේද සහයෝගය ඇතුව සම්මත කරන ලද 19වන සංශෝධනය මගින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ  වගන්තිය සංශෝධනය කරමින් ධූර කාලය වසර 5කට අඩු කරන ලදී. මීට පසුව පත්වන ජනාධිපතිවරුන් ඒ අනුව පත්වන්කේ වසර 5ක ධූර කාලයකටයි.  මෙම වසර 5 ධූරකාලය දැනට සිටින වත්මන් ජනාධිපතිවරයාටත් අදාළ බව ඔහු විසින්ම ඉහත දක්වා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධීකරණයෙන් සිදු කෙරුණූ මත විමසීමේදී ශ්‍රේෂඨාධිකරණය මේවන විටත් ප‍්‍රකාශ කර තිබේ. එනම් 19වන සංශෝධනයේ බලපෑම වත්මන් ජනාධීපතිවරයාට තිබෙන බව අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධීකරණය පෙන්වා දී තිබේ. 

මේ අනුව වර්ෂ 2015 ජනවාරි 8වන දින වත්මන් ජනාධිපතිවරයා වසර 6ක කාලයක් සඳහා ජනාධිපති ලෙස දිව්රුම් දෙන අතර එකී වසර 6ක කාලය පැහැදිලිවම වසර 5 දක්වා 19වන සංශෝධනය මගින් අඩු කර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා 19වන සංශෝධනයෙන් පසු නැවත දිව්රුම් දීමක් සඳහා සංශෙෘ්ධනය මගින් කිසිදු ප‍්‍රතිපාදනයක් වෙන් නොවීමත් එලෙස ප‍්‍රායෝගිකව දිව්රුම් දීමත් සිදු නොවූ බැවින් ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ වෙන කිසිම දිනක නොව වර්ෂ 2015 ජනවාරි 8වන දාය. ඒ අනුව ජනාධිපතිවරයාගේ දේශපාලන කඳවුර සිතා සිටින දෙය නම් සිදු නොවේ. ජනාධිපතිවරයා මේ ආකාරයට ධූර කාලය වැඩි කර ගැනීමට උත්සහ දැරුවහොත් ඔහු ඉතාමත්ම පහළ අඩියකට සමාජය ඉදිරියේ ඇද වැටුනු ඇත.

ජනාධිපතිවරයාගේ අනෙක් දේශපාලන පිම්ම ලෙස වැටහී යන හදිසි ජනාධිපතිවරණයක් කැදවීම ජය පරාජය කෙසේ වෙතත් ඉහත ක‍්‍රියාවලියට යොමු වීමට වඩා ඔහුව යම් පමණකට හෝ දේශපාලනිකව ස්ථාවර කරනු ඇත.


නීතීඥ දුලාන් ප‍්‍රභාචන දසනායක
dulandasanayaka@gmail.com




2019-04-15
Advertisement

Find us on Facebook