English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සංවාදයට විවෘතය - ශිෂ්‍යයෝ ද මනුෂ්‍යයෝය

ශිෂ්‍ය විරෝධතාවයන් හා මර්ධනය - සංවාදයට විවෘතය

ශිෂ්‍යයෝ ද මනුෂ්‍යයෝය

රටක රාජ්‍ය යාන්ත්‍රණය විසින් අතිශයින්ම ආරක්ෂාකළ යුතු යැයි පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කොට, රටක උපරිම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඍජු ආරක්ෂණයට යටත් කර ඇති  අයිතිවාසිකම් කොටසක් වශයෙන් මූලික අයිතිවාසිකම් හඳුනාගත හැක. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ රාජ්‍යයේ විධායක හෝ පරිපාලක ක්‍රියාවක් මගින් වන හෙයින් මෙවැනි අයිතියක් කඩවූ විට වින්දිතයෙකුගේ ප්‍රතිවාදි පාර්ශවය වන්නේ රටේ ආණ්ඩුවයි. ඒ අනුව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මෙම අයිතිය සාමාන්‍ය පුද්ගලයෙක් විසින් බලාත්මක කරගැනීමට යාමේදී මුහුණදීමට සිදුවන ප්‍රයෝගික ගැටලුව අවබෝධ කරගැනීම එතරම් අපහසු කාර්‍යයක් නොවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂික මූලික අයිතිවාසිකම් අතර ඉතාම වැදගත් ප්‍රපංචයක් වන්නේ 14 වන ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ, රැස්වීමේ, සමාගමේ, රැකියාවේ හා යාම් ඊම් යනාදියේ නිදහසයි. මේ යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කිරීමේ නිදහසද ලැබී ඇත. පසුගිය වසර කිහිපය තුල මුලික වශයෙන් කොළඹ කේන්ද්‍රය කරගනිමින් සංවිධානය වූ උද්ඝෝෂණ මාලාවක් එක් නියැදියක් ලෙස ගෙන මෙයින් ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කෙරේ. පසුගිය වසර තුනක පමණ කාලය තුල විවිධ පොදු සමාජීය ගැටළු වෙනුවෙන් හඬනැගූ ප්‍රබල ව්‍යාපාරයක් ලෙස විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ව්‍යාපාරය හඳුනාගත හැක.

පොදු අරමුණක් මුදුන්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් එක්වන පුද්ගල සමුහයක්, ඔවුන් තම අරමුණට ලඟා වීමට භාවිත කරන ක්‍රමවේදය මත එය උද්ඝෝෂණයක් ද විරෝධතාවයක් ද නැතිනම් රැළියක ද යන්න තීරණය වේ. කෙසේ නමුත් ඔවුන් භුක්ති විඳින්නේ ව්‍යවස්ථාපිතව හිමිවී ඇති නිදහසකි. එම නිදහස මහජන සාමයට බාධාවක් වන ආකාරයෙන් භුක්ති විඳින විට එය පාලනයට පොලිසියට මැදිහත් වීමක් සිදු කළ හැකි අතර, එම මැදිහත් වීම අධිකරණ නියෝග තුලින් සිදුවේ. අධිකරණයේ නියෝගයට අවනත නොවී දිගින් දිගටම මහජන සාමයට බාධාවන වන ආකාරයෙන් කටයුතු කළහොත් අත්අඩංගුවට ගැනීමේ බලයක් පොලිසියට මේ අවස්ථාවේ නිර්මාණය වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 24 වන වගන්තියේ යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා විට පොලිසිය ක්‍රියා කල යුතු ආකාරය දක්වා ඇත. ඒ අනුව මුල් අවස්ථාවේ

දී අත්අඩංගුවට ගැනීම වාචිකව හෝ ශරීරය ස්පර්ශ කර රඳවා තබාගැනීම මගින් සිදුකල හැක. යම් ප්‍රතිවිරෝධයක් මතුවන අවස්තාවන් වලදී සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම යොදා අත්අඩංගුවට ගත යුතු බව වගන්තියේ වැඩි දුරටත් සඳහන් වේ. මෙම වගතියේ වඩාත් අවධානය යොමු කලයුතු කොටස වන්නේ ප්‍රතිරෝධයක් දක්වන විට අවශ්‍ය උපක්‍රම යොදා අත්අඩංගුවට ගතයුතුය යන කොටසයි.

අවශ්‍ය උපක්‍රම යන්නට නිශ්චිත සීමාවක් දැක්වීමේ පවතින අපහසුතාවය නිසා උද්ඝෝෂණ ව්‍යාපාරයක් විසිරුවාහරීමේදී කදුළුගෑස්, ජල ප්‍රහාර, මාර්ග බාධක මෙන්ම බැටන් පොලු රැගත් පොලිස් හා කැරළි මර්ධන භටයන් සිටීම ලංකාවේ සාමාන්‍ය තත්වයකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව අනුව වධහිංසා වලින් නිදහස් වීම මිනිසුන්ට ඇති අයිතියකි. එම අයිතිය අනුව කිසියම් පුද්ගලයෙකුට කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලින් හා දඬුවම් වලින් නිදහස් වීමේ හැකියාව ඇත. ඒ අනුව 14 ව්‍යවස්ථාව යටතේ ලැබුණු භාෂණයේ, රැස්වීමේ, සමාගමේ, රැකියාවේ හා යාම් ඊම් යනාදියේ නිදහස භුක්ති විඳින උද්ඝෝෂකයන්ට ලබාගත හැකි එක්තරා ආරක්ෂණයක් ලෙස මෙම 11 ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ හැක. උද්ඝෝෂණයක් මහජන සාමයට බාධාවක් වන ආකාරයෙන් පවත්වාගෙන යනවිට එය විසිරුවා හැරීමට කටයුතු කිරීමට මෙම ව්‍යවස්ථාවෙන් බාධාවක් නැත.

නමුත් ගැටලුව වන්නේ විසිරුවා හැරීමට යොදාගන්න ක්‍රමවේදයයි. අධි පීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් වලට වඩා දරුණු ප්‍රතිවිපාක ඇති කරන්නේ පොලිස් හා කැරළි මර්ධන නිලධාරීන්ය. ඔවුන් අවශ්‍ය උපක්‍රම යන වචනය අයුතු ලෙස යොදාගනිමින් අමානුෂික ආකාරයෙන් උද්ඝෝෂකයන්ට පහර දෙමින් මර්ධනය සිදු කරයි. මෙය පසුගිය වසර කිහිපය තුලම මාධ්‍ය මගින් දක්නට ලැබුණු තත්වයයි. මෙහි ඛේදනීය ප්‍රතිඵලය වන්නේ යම් අයිතිවාසිකමක් වෙනුවෙන් හඬ නගන උද්ඝෝෂකයන් රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගැසීමත් උද්ඝෝෂණය අවසාන ප්‍රතිඵලය වශයෙන් උද්ඝෝෂකයන් පොලිසියේ අමානුෂික පහරදීමට ලක්වීම යන කාරණා සමාජයේ අතිශය සාමාන්‍යකරණයට ලක්වීමයි. විනෝදයට මල්ලවපොර තරඟ නරඹන සමාජයට, පොලිස් පහරදීම් ගැන උජාරුවෙන් කතාකරන රාත්‍රී පුවත් විකාශය අතිශය ආශ්වාදයක් වන තත්වයටම එය සාමාන්‍ය කරණය විය.

සමාජයට පීඩාකාරී හෝ මහජන දේපළ වලට හානි කරන උද්ඝෝෂණ විසිරුවාහැරීම සාධාරණ ක්‍රියාවකි. නමුත් එය සිදු කරන විට නිරායුධ උද්ඝෝෂකයන්ට පොලිසිය විසින් බැටන් පොලු වලින් අමානුෂික ලෙස පහර දීම 11 වන ව්‍යවස්ථාව යටතේ එන මුලික අයිතිවාසිකම් කඩකිරීමකි. මෙවැනි අවස්ථවක පොලිසියට ආයුධ භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්පොතෙහි කරුණු ඇතුලත් වේ. ඒ අනුව පොලිස් නිලධාරියා යොදන බලය ප්‍රතිවිරෝධයට සාපේක්ෂ විය යුතුය. එනම් අවම බලය නැතහොත් අවශ්‍ය බලය යන සංකල්පය මත සිට පොලිසිය එම විසිරුවා හැරීම් කල යුතුය. නිරායුධ විරෝධතාකරුවන්ට බැටන් පොලු හෝ වෙනත් ආයුධ යොදාගෙන අමානුෂික ලෙස පහර දීම සියලු නීති යටතේ තහනම් ක්‍රියාවකි.

1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහිවූ සම්මුති පනතේ 2 වගන්තියේ වධදීම නිර්වචනය කර ඇත්තේ අයෙකුට දැඩි ශාරීරික හෝ මානසික වදහිංසා ගෙන දෙන ක්‍රියාවක් වශයෙනි. මෙම වගන්තිය තුල රජයේ නිලධාරීන්ගේ ක්‍රියාවන් ද ඇතුලත් වේ. ඒ අනුව පොලිස් නිලධාරීන්ට ද මෙම පනත අදාළ වේ. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා වරදකරු වුවහොත් වසර 7 කට නොඅඩු වසර 10 කට නොවැඩි සිරදඬුවමකට හෝ රුපියල් දස දහසකට නොඅඩු පනස් දහසකට නොවැඩි දඩයකට යටත් කිරීමටද හැකියාව ඇත. පනතේ 3 වගන්තිය අනුව මහජන හදිසි අවස්ථවක රාජ්‍ය අධිකාරියක නියෝග මත වධදීමේ වරද සිදු කළාය යන්න ව්‍යතිරේකයක් ලෙස යොදාගත නොහැක. ඒ අනුව පසුගිය සමය තුල ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීමට පොලිසිය සිදුකල පහරදීම අවශ්‍යයෙන්ම නීති විරෝධී ක්‍රියාවන්ය.

මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය සංවිධානය විසින් සම්පාදිත දින 100 ශිෂ්‍ය මර්ධනය යන වාර්තාවෙහි එම කාලයට සරසවි සිසුන්ට කල පහරදීම්, තර්ජනය කිරීම් හා බිය වැද්දීම්, අත්අඩංගුවට ගැනීම් හා පැහැරගෙන යාම් සම්බන්ධව කරුණු වාර්තා කර ඇත.

පොලිසිය විසින් සාමාන්‍ය මහජනතාවට තම බලය අයුතු ලෙස යොදාගනිමින් කරන වධ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම තමන්ට රටේ උත්තරීතර නීතියෙන් ලැබී ඇති නිදහස අනුව ඔවුන්ගේ අයිතීන් දිනාගැනීමට අරගල කළ ශිෂ්‍යන්ට පහර දීමෙන් සිදුවූ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමද ඉතා වැදගත්ය. යම් හෙයකින් මෙම තොරතුරු නිසි ලෙස වාර්තාවුයේ නම් ශ්‍රී ලංකාවේ වධහිංසාව සම්බන්ධයෙන් පසුගිය සමය තුල වාර්තාවූ දත්ත හා සංඛ්‍යා ලේඛන සැලකිය යුතු ලෙස වෙනස් වීමට ඉඩ තිබුණි. ශිෂ්‍යයෝද මනුෂ්‍යයෝය ඔවුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කල පමණින් අමු අමුවේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩදිය හැකිද?

( මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස් අපවෙත එවන්න - righttolifemedia@gmail.com ) 

ඉසුරු  ඕෂධ




2019-04-15
Advertisement

Find us on Facebook