English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වින්දිතයන් සඳහාම වූ හානිපූරණය


වින්දිතයන් සඳහාම වූ හානිපූරණය

වසර තිහකට අධික කාලයක් පැවතුනු කුරිරු යුද්ධය අවසන් වී මේ වනවිට වසර දහයකට ආසන්න කාලයක් ගත වෙමින් පවතී. මෙහිදී විනාශ වූ ජීවිත හෝ දේපළ සංඛ්‍යාවෙහි වටිනාකම තවමත් හරිහැටි ගණන් බලා නැත. යුද්ධය අවසන් වීමෙන් පසුව ජාතීන් අතර සංහිඳියාව ගොඩනැංවීම සඳහා විවිධ වූ වැඩසටහන් ඉදිරිපත් විය. මෙහිදී වැදගත් එක් කාර්යයක් වන්නේ යුද්ධය හේතුවෙන් විනාශ වූ දේපළ, ජන ජීවිතය ඇතුළු දේ යථා තත්ත්වයට පත් කිරීමය. ඒ සඳහා වූ එක් පියවරක් වශයෙන් හානිපූරණය සඳහා වන කාර්යාලයක් පිහිටු වීමේ පනත වර්ෂ 2018 ඔක්තෝම්බර් මස 22 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටුවීම, හානිපූරණය සඳහා යෝග්‍ය පීඩාවට පත් තැනැත්තන් හඳුනා ගැනීම සහ එම තැනැත්තන්ට තනි හා සාමූහික හානිපූරණයන් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම, හානිපූරණයන් ලබාදීමේ ප‍්‍රගතිය අධීක්ෂණය කිරීම මෙම පනතෙහි අරමුණු වේ.

මෙහිදී, පීඩාවට පත් තැනැත්තන් ලෙස අදහස් කරන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප‍්‍රතිඵලයක් ලෙස, ඊට සම්බන්ධව හෝ එහි පසුවිපාකයක් ලෙස හෝ දේශපාලන නොසන්සුන්තාවයක්, සිවිල් කැළඹීම හේතුවෙන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන්වීමක් හේතුවෙන් ජීවිතය අහිමිවීම හෝ ඔවුන්ගේ දේපළවලට හානිවීම හේතුවෙන් පීඩාවට පත් වූ තැනැත්තන්ය. එහිදී, මියගිය තැනැත්තකුගේ හෝ අතුරුදහන් වූ තැනැත්තෙකුගේ ඥාතීන් ද පීඩාවට පත් වූ තැනැත්තන් ලෙස හැඳින්වේ.

පනතට අනුව, හානිපූරණය යන්නට තනි සහ සාමූහික හානිපූරණය ඇතුලත් වේ. තනි හානිපූරණය යන්නට තනි පීඩාවට පත් තැනැත්තෙකු සඳහා සපයන ලද යම් මූල්‍යමය ගෙවීම් හෝ ද්‍රව්‍යමය ප‍්‍රතිලාභ, ක්ෂුද්‍ර මූල්‍ය සහ සහනදායී ණය, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම්, කුසලතා සංවර්ධන වැඩසටහන්, පීඩාවට පත් තැනැත්තෙකු සඳහා සපයන ලද මනෝ සමාජයීය සහාය ඇතුළු පරිපාලන සහාය, සුභසාධන සේවා, ඉඩම් සහ නිවාස සැපයීම සහ හානිපූරණය කාර්යාලය විසින් හඳුනාගත් වෙනත් සුදුසු පියවර ඇතුලත් වේ. සාමූහික හානිපූරණය යන්නට ස්මාරක ඇතුළුව මියගිය තැනැත්තන් අනුස්මරණ ක‍්‍රම, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම් සහ කුසලතා සංවර්ධන වැඩසටහන්, ප‍්‍රජා සංවර්ධන වැඩසටහන් හෝ සේවා සහ හානිපූරණය කාර්යාලය විසින් හඳුනාගත් වෙනත් සුදුසු පියවරයන් ඇතුලත් වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් පස් දෙනෙකුගෙන් හානිපූරණය සඳහා වන කාර්යාලය සමන්විත විය යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම කාර්යාලයේ සාමාජිකයින් පස්දෙනාගෙන් තිදෙනෙකු නිර්දේශ කිරීමෙන් අනතුරුව එම තිදෙනා අතුරින් එක් අයෙකු හානිපූරණය සඳහා වන කාර්යාලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. කාර්යාලයට සාමාජිකයින් පත් කිරීම සඳහා නිර්දේශ කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ලිංග භේදය ඇතුළු ශ‍්‍රී ලාංකික බහුවිධ ස්වභාවය පිළිබිඹු කිරීම ආදී කරුණු සැළකිල්ලට ගත යුතු වේ. සාමාජිකයින්ගේ ධූර කාලය වසර තුනක් වන අතර, සාමාජිකයෙකු ඉවත් කරනු ලැබුවේ නම් හැර, නැවත පත් වීමේ හැකියාව ඇත. හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් ඔවුන් අතුරින් එක් සාමාජිකයෙකු හෝ හානිපූරණය සඳහා වන කාර්යාලයේ වෙනත් නිලධාරියෙකු තොරතුරු දැන ගැනීමේ පනත අනුව ‘තොරතුරු නිලධාරියා’ වශයෙන් පත් කළ යුතු අතර, කාර්යාලයේ සභාපතිවරයා ‘නම් කළ නිලධාරියා’ වේ.

හානිපූරණය සඳහා වන කාර්යාලයේ බලතල සහ කාර්යයන් කිහිපයක් පවතී. පීඩාවට පත් තැනැත්තන්ගෙන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ඉල්ලීම් ලැබීමට සහ එම ඉල්ලීම්වල හානිපූරණය කිරීම සඳහා වන යෝග්‍යතාවය තක්සේරු කිරීම, හානිපූරණයන්ගේ ආකාරය සහ උචිත අවස්ථාවන්හි දී ඒවා සපයනු ලබන ප‍්‍රමාණය සහ ඒ සඳහා වන නිර්ණායකයන් ඇතුලත් හානිපූරණ ප‍්‍රතිපත්ති සහ මාර්ගෝපදේශයන් සකස් කිරීමේ බලය එම කාර්යාලයට හිමි වේ. හානිපූරණ ප‍්‍රතිපත්ති සහ මාර්ගෝපදේශයන් සකස් කළ පසුව ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කිරීම හානිපූරණ කාර්යාලය විසින් සිදු කළ යුතුය. එම ප‍්‍රතිපත්ති සහ මාර්ගෝපදේශයන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පසුව ඒවා ක‍්‍රියාත්මක කිරීම සහ හානිපූරණ ප‍්‍රදානය කිරීමට කාර්යාලයට හැකියාව ඇත. තවද, හානිපූරණය සඳහා වන කාර්යාලය හමුවේ පෙනී සිටින පීඩාවට පත් තැනැත්තන් සඳහා අවශ්‍ය වූ විට පරිපාලනමය සහාය, ප‍්‍රවාහන ගාස්තු ආපසු ගෙවීම සහ මනෝ සමාජයීය සහාය ඇතුළුව සහාය සැපයීම, පීඩාවට පත් තැනැත්තන්ට තර්ජනයක් ඇතිවිට නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතනවල සහාය සහිතව ඔවුනට ආරක්ෂාව සැලසීමේ හැකියාව හානිපූරණ කාර්යාලය සතු වේ. මීට අමතරව, හානිපූරණය සඳහා වන කාර්යාලයට ලේකම් කාර්යාලයක් පැවතිය යුතු අතර, හානිපූරණය සඳහා වන කාර්යාලයේ කටයුතු පරිපාලනය කිරීම සම්බන්ධ වගකීම එම ලේකම් කාර්යාලය භාරව සිටී. ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන විධායක නිලධරයා වන්නේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

හානිපූරණය සඳහා වන කාර්යාලය සතුව අරමුදලක් පවතින අතර, ශ‍්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව පරිත්‍යාග, ප‍්‍රදාන හෝ තෑගි වශයෙන් හානිපූරණය සඳහා වන කාර්යාලයට අරමුදල් ලබා දිය හැකි වේ. නමුත්, සියලූ විදේශ අරමුදල් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලබාගත යුතුය. යම් පුද්ගලයෙකු හානිපූරණ කාර්යාලය සඳහා වන පනතේ බලය පවරනු ලැබූ යම් නිලධරයෙකුට ඔහු වෙත පවරන ලද බලතල ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රතිරෝධය පාන්නේ නම්, බාධා කරන්නේ නම්, බලතල සහ කාර්යයන් ඉටු කිරීමේදී හෝ ක‍්‍රියාත්මක කිරීමේදී හානිපූරණය සඳහා වන කාර්යාලයට අයුතු ලෙස බාධා කරන්නේ නම් හෝ අවහිර කරන්නේ නම්, හානිපූරණ කාර්යාලයට හිතාමතා අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ නම් හෝ පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් යම් රහස්‍ය තොරතුරු හෙළි කරන්නේ නම් එම පුද්ගලයා හානිපූරණය සඳහා වන කාර්යාලයේ අධිකාරි බලයට විරුද්ධව අපහාස කිරීමේ වරදට වරදකරුවෙකු වේ. එලෙස අපහාස කිරීම අභියාචනාධිකරණයට විරුද්ධව සිදුකරන ලද අපහාස කිරීමේ වරදක් ලෙස සලකා අභියාචනාධිකරණය විසින් ඒ සඳහා දඬුවම් පැමිණ විය හැකිය.

සමස්ථයක් ලෙස ගත්විට හානිපූරණය සඳහා වන කාර්යාලය සංහිඳියාව සඳහා වන ගමනට තවත් එක් අඩිතාලමක් සකස් කර දෙන අතර, කඩා වැටුණ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට හානිපූරණය සඳහා වන කාර්යාලයෙන් ගනු ලබන උත්සහයට සහාය දීමට අප සැමගේ යුතුකමක් පවතින බව සඳහන් කළ යුතුය.


පුබුදු රන්දිම




2019-04-14
Advertisement

Find us on Facebook