English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රකාශන නිදහස හා පුද්ගලික නිදහස අරගලය අධිකරණයේ දී


ප‍්‍රකාශන නිදහස හා පුද්ගලික නිදහස අරගලය අධිකරණයේ දී

ශක්තික සත්කුමාර සමාජ මාධ්‍ය තුළ පළකරන ලද ”අර්ධ” කෙටිකතාව හේතුවෙන් පසුගිය අපේ‍්‍රල් 01 වන දින අත්අඩංගුවට ගෙන අපේ‍්‍රල් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර මෙහි නඩුව අපේ‍්‍රල් 09 වනදිනපැවැත්වුණි.

මෙම නඩුවට පෙනී සිටි නීතිඥයන්ගෙන් එක් අයකු වන අථිල අතාවුද පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී එදින සිදුවූයේ කුමක්දැයි යන්න සිය මුහුණු පොතේ පළ කළ සටහන පහතින් දැක්වේ.

ස්වාමීන්වහන්සේලා අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයේ

ශක්තික සත්කුමාර විසින් ”අර්ධ” නම් කෙටි කතාවේ යම් කොටසක් මගින් බෞද්ධාගමට බලපෑමක් විනැයි පොල්ගහවෙල පොලිසිය මගින් පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අප්‍රෙල් 09 දිනයේ කැඳවන ලදි. එහිදී උදෑසන පටන්ම පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය පරිශ‍්‍රය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඇතුලූ පිරිසක් නිහඩ විරෝධතාවයක යෙදෙනු දක්නට ලැබුණි. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද විරෝධතාකරුවන්ගේ ඡුායාරූප ගැනීමෙහි යෙදී සිටිනු දක්නට ලැබුණි.

නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පොල්ගහවෙල පොලිසියේ නිලධාරීන් පිරිසකුත් අගතිය පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මහේෂ් හේරත්, නීතිඥ උපුල්සරා ජයසිංහ, නීතිඥ පද්මසිරි හේරත් යන මහත්වරුන් සමග නීතිඥ සරත් දසනායක පෙනී සිටින ලදි.

ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ නිහාර රන්දෙණිය, නීතිඥ අථිල අතාවුද, නීතිඥ සංජය විල්සන්, නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක, නීතිඥ බුද්ධදේව ගුණරත්න, නීතිඥ තුෂාර ද සිල්වා සහ නීතිඥ එස්.ගොටගොඩහෙට්ටි යන අය සමග ජනාධිපති නීතිඥ එස්.ටී.ජයනාග පෙනී සිටියෝය.

දණ්ඩ නීති නීති සංග‍්‍රහයේ 291 හා ICCPR 3 වැනි වගන්ති අනුව වරදක්

පොල්ගහවෙල පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාල විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත්, මෙය දණ්ඩ නීති සංග‍්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනතේ 3 වැනි වගන්ති යටතේ කරන ලද වරදක් වන හෙයින් ඇප ලබාදීමේ බලය මෙම අධිකරණයට නොමැති හෙයින් සැකකරු දිගටම රක්ෂණ භාරයට පත් කරන මෙන් ඉල්ලා සිටියෝය.

ඡායාරූපය නිසා කැලඹීමක් ඇති වෙලා

අගතිය පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සරත් දසනායක මහතා කරුණු දක්වමින් ප‍්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇතත්, ඒ සඳහා ද සීමාවන් පවත්නා බව සඳහන් කළේය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙම කෙටි කතාව මුහුණු පොතේ පළ කිරීමට යොදාගෙන ඇති ආවරණ

ඡායාරූපය අඩ නිරුවත් එකක් බවත්, එය බෙහෙවින් අනුචිත බවත්, මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාව අතර ඉමහත් කැළඹීමක් ඇති වී තිබෙන බවත්, එම ජනතාවගෙන් කොටසක් අද දිනයේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක යෙදෙන බවත් කියා සිටියේය.  



සැකකරු කවුද ?

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග පළමුවෙන්ම සැකකරු කවරෙක් ද යන්න පිළිබඳව අධිකරණයට හැඳින්වීමක් කළේය. ඔහු සාහිත්‍යකරුවෙකු බවත් සාහිත්‍යයට විචාරකයෙකු බවත්, දැනට පොත් ගණනාවක් ලියා පළ කළ ගත්කතුවරයෙකු බවත් අධිකරණයේ අවධානයට යොමු කරමින් ඔහු විසින් රචනා කරන ලද පොත් ලැයිස්තුවක් ද, පොත් වලින් 03 පමණ ප‍්‍රමාණයක් ද, අධිකරණයට ඉදිරිපත් කර සිටියේය. ඊට අමතරව සැකකරු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන බව ද, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු බව ද අධිකරණයේ අවධානයට යොමු කර සිටියේය.
  
අර්ධ වලින් බුදුදහමට හානියක් වීද ?


ඉන්පසු පොලිසිය විසින් මෙම වරදට අදාළව සම්පූර්ණ කරුණු අධිකරණය වෙත වාර්තා කර නොමැති බවත්, යටත් පිරිසෙන් ප‍්‍රශ්න ගත වී ඇති සම්පූර්ණ කරුණු අධිකරණය වෙත වාර්තා කර නොමැති බව අවධානයට යොමු කළ ජනාධිපතිවරයා අර්ධ කෙටි කතාවේ සම්පූර්ණ පිටපතක් පළමු වරට අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සම්පූර්ණ කෙටි කතාව කියවා බලන කළ ඉන් බුදුදහමට හෝ බෞද්ධාගමික විශ්වාසයට කිසිඳු අපහාසයක් සිදුවන බවක් අනාවරණය නොවන බවයි. 


ඒ අනුව මෙහිදී සිදුවී ඇති සත්‍ය සිදුවීම මෙම සිද්ධිම සම්බන්ධයෙන් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු වාර්තා කර ඇති ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන දෙකෙහිම ඇති සංඝටක තෘප්ත නොකරන බව අධිකරණයට සැළ කළ ජනාධිපති නීතිඥ ජයනාග, මහනුවර මහාධිකරණයේ දී විනිසුරු ආර්.බී.රණරාජාගේ අධිකරණ තීන්දුවක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කරමින් එම තීන්දුවේ දක්වා ඇති පරිදි පොදු ආචාර්ධර්ම සම්බන්ධයෙන් අධිකරණය මැදිහත්වීම අනවශ්‍ය බවත්, පුද්ගල නිදහස මිනිසෙකු සතු පූජනීයම අයිතිය බවත්, අත් අඩංගුවට පත් වීම නිසා ඔහුට එම නිදහස අහිමි වනවා මෙන්ම විමර්ශන නිලධාරීන්ට අත්අඩංගුවට පත්වන පුද්ගලයා කෙරෙහි අසීමිත බලයක් ලැබෙන බවත්, එවන් අවස්ථාවක පොලිසිය මගින් ඉදිරිපත් කරන අසාධාරණ තොරතුරු වාර්තාවකට වලංගුභාවයක් ලබාදෙන හුදු රබර් මුද්‍රාවක තත්ත්වයට අධිකරණය පත්විය යුතු නැති බවත් සැල කර සිටියේය.  

පූර්ව නිගමන


ඩැනී ඉදිරිව සිරිනිමල් සිල්වා පොලිස්පති නඩු තීන්දුව උපුටා දක්වමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා යම් පූර්ව නිගමනයක් කරපින්නාගත් විමර්ශකයෙකු නිර්දය අභිලාසයන් මුදුන් පමුණුවාලීමට මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවෙකු බන්ධනාගාරගත නොකළ යුතු බව අවධාරණය කළේය.



ඇප ලබාදෙන්න මේ අධිකරණයට බලය තිබෙනවා

සෙබස්තියන් ප‍්‍රනාන්දු එදිරිව කටාන විවිධ සේවා සමූපකාර සමිතිය නඩු තීන්දුව උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයනාග යම් අවස්ථාවක අදාළ වන නීතිය පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් පවත්නා විට සහ තෝරා ගැනීම් දෙකක් සිදු කළ හැකි විට දණ්ඩන නියමක් නොපැණවිය හැකි යම් විකල්පයක් වේ නම් එය තෝ්රාගත යුතු බවත්, මෙහිදී පොලිසිය විසින්ම දණ්ඩ නීති සංග‍්‍රහයේ 291 වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යයන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය ආදී වශයෙන් විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇති තත්ත්වයක් තුළ එකම වරදකට චෝදනා දෙකකට වරදකරු නොකළ හැකි හෙයින් මෙහිදී ඇප දිය හැකි වරදක් වන දණ්ඩ නීති 291 වගන්තිය තෝරාගෙන ඒ අනුව ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලය ඇති බවත් සඳහන් කරමින් සැකකරුගේ පූර්ව කල්ක‍්‍රියාව, පෙර වැරදි හෝ පවත්නා නඩු නොමැති වීම, සැකකරුට කුඩා දරුවන් දෙදෙනෙකු සිටීම යනාදී කරුණු ද සළකා බලා එළඹෙන සිංහල අලූත් අවුරුදු සමයේ සැකකරුට පවුලේ සමාජිකයන් සමග ගත කිරීමට අවස්ථාව හිමිවන පරිදි ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටින ලදි.

ඉන්පසු මහේස්ත‍්‍රාත්තුමිය විසින් සැකකරු අපේ‍්‍රල් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

ලංකා ගාර්ඩියන් අනුග‍්‍රහයෙනි




2019-04-12
Advertisement

Find us on Facebook