English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ගැටළුව ?


ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ගැටළුව ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සැරසෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක්ද, හයක්ද යන කාරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට පෙර මත විමසීමක් කරන ලදී. ඒ අනුව, එම ධූර කාලය වසර පහක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කෙරුණි.

මේ ආකාරයට පොදු වැදගත්කමකින් යුත් නීතිය හෝ සිද්ධීන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමේ හැකියාව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට හිමිව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව අනුව, 'ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුත් යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවකදී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැක්කේය.' යනුවෙන් දක්වා ඇත. එසේ යොමු කරනු ලැබූවිට එම යොමු කිරීමේ නිශ්චිතව සඳහන්ව ඇති කාල සීමාව ඇතුලත හෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ කරන ලද යම් කාලසීමාවක් ඇතුලත හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝග්‍ය යැයි සලකන විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයාට වාර්තා කළ හැකිය.

මීට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (3) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය, තීරණය සහ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් පස් දෙනෙකු විසින් සලකා බැලීමෙන් පසුව ප්‍රකාශ කළ යුතුය. මෙම නඩු කටයුත්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ හේතු යටතේ අන්‍යාකාර විධානයක් කළහොත් මිස අප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය 2015 ජනවාරි මස 08 වන දින සිට බලපැවැත්වෙන බව දැක්වුවහොත් 2019 වර්ෂය අවසානයේ දී අනිවාර්යයෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු අතර, එම ධූර කාලය 2015 ජූලි මස 21 වන දින සිට බලපැවැත්වෙන බව දැක්වුවහොත් 2020 ජුනි මාසයේ දී හෝ ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි වේ.  



2019-04-10
Advertisement

Find us on Facebook