English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජිනීවා ගොඩ දා ගැනීම

අප්‍රේ්‍ල් මාසයේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීම ලාංකික අපට කෙතරම් හුරුපුරුදු ද යත් ඒ තරමටම මාර්තු මාසයේදී ජිනීවා චාරිත්‍රය සිදුකිරීම හුරු වී ඇත. අප්‍රේල් මාසය එළඹෙද්දී ඇසෙන සුපුරුදු කොහෝ කොහෝ සින්දු මෙන්ම මාර්තු මාසය ඇරඹෙන්නේ රට පාවාදීම සහ රණවිරු දඩයම සිංදුවෙනි. දැන් අප මාර්තු මැද ජිනීවා මංගල්‍යයයේ උත්කර්ෂවත්ම දින කිහිපය පසු කරමින් සිටී. මෙම ලිපිය ලියන දිනය සහ පුවත්පත ඔබ අතට පත්වන දින අතර කාලයේදී ලංකාව සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුවෙනු ඇත. එයට ප්‍රවේශයක් වශයෙන් මේ වන විට පවතින තත්ත්වය තේරුම් ගැනීම වැදගත් වනු ඇත.  

2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී, ජිනීවා මානව හිමිකම් කොමිසම තුළින් ඉදිරිපත් වූ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහහකත්වය ලැබූ 30/1 යෝජනාවලිය සම්මත විය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මූලිකව අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වූවද එය එලෙසින්ම ඉටු කිරීමට ලංකාව අසමත් වීම නිසා ලංකාණ්ඩුව 2017 වසරේ දෑ අවුරුද්දකට කල් ගත්තේය. 2017 වසරේ ඉදිරිපත් කෙරුණු 34/1 යෝජනාවලිය මඟින් යම් නිශ්චිත විෂය ක්ෂේත්‍රයන් යටතේ රට තුළ කළ යුතු වූ නීතිමය ප්‍රතිසංස්කරණයන් කිරීමටත් දෙමුහුන් අධිකරණය, හානිපූරණය, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන යාන්ත්‍රණයන් පිහිටුවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ඇතුළු තෝරා ගත් විශේෂිත නඩු සම්බන්ධයෙන් විමර්ශනයන් කර අවසන් කිරීමටත් නිර්දේශ විය. ඒ අනුව මෙම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අදාළව වාර්තාවක් සැපයීමට 2019 මාර්තුවේදී ලංකාවට නියමව තිබුණි. එහෙත් අපේක්ෂිත අන්දමින් එය ඉටු කිරීමට අසමත් වූ ආණ්ඩුව නැවත වතාවක් දෙවසරකට කල් ලබා ගැනීමට මෙවරද සමත් විය. එහිදී පසුගිය ඔක්තෝබර් 26 සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය රජයට විශාල ආශිර්වාදයක් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලට් පසුගිය දා ලංකාවට අදාළ 30/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිය වාර්තාව ඉදිරිපත් කළාය. ලංකාවේ මානව හිමිකම්, වගවීම, සංහිඳියාව ඇති කිරීමෙහිලා ආණ්ඩුව පෙන්වා ඇති උනන්දුව එතරම් සතුටුදායක අන්දමින් ඔවුන් බාරගෙන තිබු බවක් මෙම වාර්තාව තුළින් ප්‍රකාශමාන වන්නෙ නැත. වින්දිතයින් ලෙසත් මානව හිමිකම් ක්‍රියාධරයන් ලෙසත් බලාපොරොත්තු වූ සහනයන් ජනතාවට ලැබී නැති බව පැහැදිලිය. එහෙත් රාජපක්ෂරු සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රට තුළ ඇති කරන ලද සංහිඳියා විරෝධී, මානව හිමිකම් විරෝධී, ප්‍රජාතත්ත්‍රීය ප්‍රතිසංස්කරණ විරෝධී මතවාදයන් නිසා ආණ්ඩුවට ඇති තරම් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. ඒ නිසා වාර්තාවේ කෙතරම් විවේචනයක් තිබුනත් ආණ්ඩුව අවශ්‍ය කල් ගැනීම එලෙසින්ම ඉටු වනු ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවන්ට තවදුරටත් සමදායකත්වය දැක්වීමෙන් වැළකිය යුතු බවත් ජිනීවාවලදී දැනට එල්ල වී ඇති චෝදනා කිසිදු පරීක්ෂණයකින් තොරවම ආණ්ඩුව ප්‍රතිෂේප කළ යුතු බවත්ය.  

සංහිඳියා ක්‍රියාවලිය සඳහා කාලය ගත වේවි. බොහොමයක් දෙනා මේ පිළිබඳව නොඉවසිලිමත්. අප ඔවුන්ගේ නොඉවසිලිවන්තභාවය සහ ඒ සඳහා ඔවුන්ට ඇති සම්පුර්ණ අයිතිය වටහාගෙන ඇත. කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ඉතා සැළකිලිමත් ලෙස සැලසුම් කළ යුතුයි.’ 30 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර සිදුකළ මෙම ප්‍රකාශය අදටත් එලෙසම වලංගු වන්නේ අණ්ඩුව ඇත්තටම රටේ සංහිඳියාව ගොඩ නැගීම හෝ ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පෙන්වා ඇති අසමත්භාවය වසා ගැනීමට අවශ්‍ය පොදු සතුරෙකු මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශ මගින් ගොඩනගා දෙන නිසාය. මංගල සමරවීර ප්‍රකාශකරන වින්දිතයින්ගේ ඒ නොඉවසිලිවන්තභාවය සමහන් කරන්නට තරමේ පිළිතුරක් තවම ලැබී නැත. හුදු යාන්ත්‍රණ පිහිටුවීමෙන් පමණක් ඔවුන්ගේ අපේක්ෂා ඉටු නොවේ. ඔක්තෝබර් 26 ඇරඹුණ දින 51 දේශපාලන පෙරළිය විසින් ලංකාවේ වින්දිත ප්‍රජාවන් තුළ ඇති කළා වූ චලනයේ දේශපාලන පිළිඹිබුව ලෙස මෙම මහ කොමසාරිස්වරියගේ වාර්තාව දෙස බැලීමටද අපට හැකිය. ලංකාව මුහුණ දෙන අසීරු අභියෝගය ජිනීවා නොවේ. සැබැවින්ම අසීරු අභියෝගය වන්නේ ආයතනික සහ දේශපාලනික ව්‍යුහය ප්‍රතිසංස්කරණය කරමින් කල්පවත්නා සංහිඳියාවක් ගොඩනගා ගැනීමයි. මේ ජිනීවා විරෝධය කරමින් සිටින්නේ එම අභියෝගය කල් දැමීමට ආණ්ඩුවට සහය වීමයි. එමනිසා ජිනීවා විරෝධය සහ පක්ෂපාතීත්ය යනු එකම කාසියක දෙපැත්තය. සිංහල සහ දෙමළ ඩයස්පෝරා හඬ වෙනුවට නැවතත් ආණ්ඩුවේ හඬ ජිනීවා තුළ තහවුරු වනු ඇත්තේ එම නිසාය. එනම් නැවතත් ආණ්ඩුව ජිනීවා ගොඩ දා ගනු ඇත. 

එළැඹෙන 20 වැනිදාවේ 30/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ සංවාදය පැවැත්වීමට නියමිතව ඇත. එම වාර්තාවේ ඇති කරුණු අප සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ එහි ඇති යෝජනා ඉටු වුවහොත් මහින්ද රාජපක්ෂ කඳවුර කියන ආකාරයට රටට වන හානිය අපට තේරුම් ගැනීමට අපහසු වන නිසාය. ■  

ලංකාව සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරියගේ නිර්දේශ

මිෂෙල් බැචලට් - මානව හිමිකම් මහ කොමසාරිස්

මිෂෙල් බැචලට් – මානව හිමිකම් මහ කොමසාරිස්

■  මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ වර්තමාන හා පෙර වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණ, කාලානුරූපී සැලසුමක් සකස් කිරීම හා ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ විධායක කණ්ඩායමක් පත් කිරීම.

■  මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධීක්ෂණය කිරීම, මහ කොමසාරිස්වරයාගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහය සැපයීම සඳහා උපදෙස් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) ආරාධනා කිරීම.

■  පොදු ජනතාවගේ, වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ, සිවිල් සමාජයේ මෙන් ම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් යුක්තිය, විශේෂයෙන් සත්‍යය සෙවීමේ සහ වගවීම් යාන්ත්‍රණ, වන්දි ලබා දීම් සහ සිහිපත් කිරීම් පිළිබඳව අව්‍යාජ උපදේශන ආරම්භ කිරීම. මෙම ක්‍රියාවලිය තුළ මහජන දැනුවත්වීම සහ සහභාගිත්වය සහතික වන අයුරින් පොදු අධ්‍යාපනික වැඩසටහන් සමග ක්‍රියාත්මක කළ යුතුය.

■  මෙම ක්‍රියාවලිය වෙනුවෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සත්‍යය, යුක්තිය, වන්දි සහ නැවත සිදුනොවීම සහතික කිරීම් පිළිබඳ විශේෂ නියෝජිතයාට ආරාධනා කිරීම, සහ වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හා අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පිළිබඳව මහ ලේකම්වරයාගේ අදාළ විශේෂ නියෝජිතයන්ට රට තුළ සංචාරය කිරීමට ඇරයුම් කිරීම.

ආයතනික ප්‍රතිසංස්කරණ

■  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා සුදුසුකම් ලත් නව සාමාජිකයන් පත් කිරීම සහ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ සිදුවීම් අධිකරණයට යොමු කිරීමේ හැකියාව ඇතුළු එහි බලතල ශක්තිමත් කිරීම.

■  වධහිංසා, දූෂණ, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නීති විරෝධී බවට ආරක්ෂක හමුදා හා ආරක්ෂක බලඇණිවලට අයත් සියලු‍ අංශවලට පැහැදිලි, පොදු සහ ස්ථිර නියෝග නිකුත් කිරීම. එවැනි ක්‍රියාවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වන්නන්ට එරෙහිව විමර්ශන පවත්වා දඬුවම් දෙන බවත්, සියලු‍ දෙනා දෙස අවධානයෙන් සිටින බවත්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ගැන සෙවිල්ලෙන් සිටීම, හිංසාකිරීම් සහ පළිගැනීම් සිදු නොවීය යුතු බවට දැනුවත් කිරීම. 

■  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා සම්බන්ධ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබිය හැකි ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු හෝ හමුදා නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට නිසි ක්‍රියා පටිපාටියක් සැකසීම.

■  ආරක්ෂක හමුදා විසින් අත්පත් කර ගත් පෞද්ගලික ඉඩම් යළි පවරා දීම සහ සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සම්බන්ධ වීම අවසන් කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම.

■  දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී සිටින සන්නද්ධ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් නිරායුධ කිරීම, ඔවුන් ආරක්ෂක අංශ, බුද්ධි සේවාවන් සහ වෙනත් රජයේ බලධාරීන් සමග පවත්වාගෙන යන සබඳතා නතර කිරීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, එහි රෙගුලාසි සහ මහජන ආරක්ෂක පනත අහෝසි කිරීම සහ ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන් අනුකූල වූ නව ජාතික ආරක්ෂක රාමුවක් සකස් කිරීම සඳහා ඉහළ මට්ටමේ සමාලෝචනයක් ආරම්භ කිරීම.

යුක්තිය

■  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාවට වඩා හොඳ ආරක්ෂාවක් සැලසීම සඳහා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සමාලෝචනය කිරීම; සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අධිකාරියට පත් කරනු ලබන නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ ස්වාධීනත්වය හා අවංකභාවය සම්පූර්ණයෙන්ම තහවුරු කිරීම; සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පද්ධතියට අවශ්‍ය පහසුකම් ලබා දීම.

■  බලහත්කාරයෙන් සිදු කරන අතුරුදන්වීම්වලින් සියලු‍ දෙනා ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, ජිනීවා සම්මුතිවලට අදාළ අතිරේක ලේඛන සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුකූල වීම;

■  යුද්ධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනිස් ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් අපරාධ ගණයට ඇතුළත් වන ලෙස නීති පැනවීම; විශේෂයෙන් අණ දීම් හෝ ඉහළින් එන වගකීම් ආදී සියලු‍ ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් වගකීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම.

■  ස්වකීය ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීමේ ආයතනයක්, ආරක්ෂක කාර්යාංශයක් සහ සාක්ෂි සහ වින්දිත ආරක්ෂණ වැඩසටහනක් සමග, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම.

■  සියලු‍ අපරාධ පරීක්ෂණ, හබයාස් කෝපස් හා මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සොයා බැලීම සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විශේෂ විමර්ශන කොමිෂන් සභාවන්හි සොයා ගැනීම් විශේෂිත අධිකරණය වෙත යොමු කිරීම.

■ DNA පරීක්ෂණ, අධිකරණ මානව විද්‍යාව හා පුරාවිද්‍යාව ආදී අධිකරණයේ විද්‍යාත්මක තාක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් ලබා දීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රැඳවියන්ගේ සියලු‍ නඩු කටයුතු සමාලෝචනය කිරීම හෝ ඔවුන් නිදහස් කිරීම හෝ නඩු විභාග කිරීමට වහා ම පියවර ගැනීම; විශේෂයෙන් ම වදහිංසා යටතේ ලබා ගත් පාපෝච්චාරණ මත දඬුවම් ලැබූවන්ගේ නඩු යළි විමර්ශනය කිරීම.

සත්‍යය/දැන ගැනීමේ අයිතිය

■  අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම විසුරුවා හැර අතුරුදන්වූවන්ගේ පවුල් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් සම්බන්ධ පැමිණිලි විශ්වසනීය හා ස්වාධීන ආයතනයකට යොමු කිරීම‍;

■  ස්වාධීන පරීක්ෂණයකින් පසු රැඳවියන්ගේ පවුලේ සාමාජිකයින්ට හෝ ඥාතීන්ට තොරතුරු දැන ගත හැකි පරිදි සියලු‍ රැඳවියන් පිළිබඳ මධ්‍යම දත්ත ගබඩාවක් සකස් කිරීම සහ සියලු‍ රැඳවුම් මධ්‍යස්ථානවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීම.

■  අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව සහ වින්දිත සිවිල් වැසියන් පිළිබඳ යුද්ධ හමුදා විමර්ශන අධිකරණය ආදී මානව හිමිකම් සම්බන්ධ කොමිෂන් සභාවල ප්‍රකාශයට පත් නොකළ සියලු‍ වාර්තා ප්‍රකාශයට පත් කිරීම.

■  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන සන්තකයේ පවතින සියලු‍ වාර්තා සංරක්ෂණය කිරීමට විධිමත් සැලැස්මක් හෝ යාන්ත්‍රණයක් සකස් කිරීම.

හානිපූරණය

■  කාන්තාවන් සහ දරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ජාතික වන්දි ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ රාජ්‍ය අයවැයෙන් ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කිරීම.

■  වින්දිතයින් වෙනුවෙන් සිදු කෙරෙන මනෝසමාජයීය සහය ලබා දීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම.

සමබිම ඉරිදා අතිරේකයේ පලවූ ලිපියකි



2019-03-26
Advertisement

Find us on Facebook