English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රති ත‍්‍රස්ත පනත - ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිම දමයි


ජනාධිපති ජේ.ආර් ජයවර්ධන පාලන සමය වූ 1979 දී මතු වූ දෙමළ සන්නද්ධ කි‍්‍රයාකාරකම් හේතුවෙන් තාවකාලික පනතක් වශයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1982 දී ස්ථාවර පනතක් සේ සම්මත විය. දශක ගණනාවක් පුරා කි‍්‍රයාත්මක වූ මෙම පනතට එය කි‍්‍රයාත්මක කරන අවස්ථාවේ සිට මේ දක්වා දැඩි විරෝධයක් සියළු ජනකොටස් වලින් මතු ව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන් වලදී 1979 ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යයන්තර ප‍්‍රමිතීන්ට අනුව නව පනතක් ගෙන එන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව සකස් කර තිබෙන නව ප‍්‍රති ත‍්‍රස්තවාදය පනත සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවාද සම්පන්න තත්ත්වයක් මතු කර තිබේ. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ස්වාධීන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් පර්යේෂකයින්, මානව හිමිකම් කි‍්‍රයාකාරීන් විරුද්ධත්වය ප‍්‍රකාශ කර සිටියි.

ජනමාධ්‍යවේදීන්ට බලපාන තත්ත්වයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන තුනක් එක්ව ජනතාව දැනුවත් කිරීම සඳහා ප‍්‍රවෘත්ති සාකච්චාවක් පවත්වනු ලැබුවා. ඒ 2019 මාර්තු මස 18 වෙනි දින කොළඹ ජනමාධ්‍ය ආයතනයේදී. මෙම ප‍්‍රවෘත්ති සාකච්චාව කැඳවනු ලැබුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශී‍්‍ර ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයයි. මේ සඳහා දැනුවත් කිරීම සඳහා මානව හිමිකම් කි‍්‍රයාධරයෙක් මෙන්ම පර්යේෂකයෙක් ද වන රුකී ප‍්‍රනාන්දු, සහ මානව හිමිකම් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සමාජික නීතිඥ විරංජන් හේරත් විසින් ද අදහස් දැක්වීමක් සිදු කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත, ශී‍්‍ර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දුමින්ද සම්පත්, මාධ්‍ය සේවක වෘත්තීය සමිතිය වෙනුවෙන් ප‍්‍රධාන ලේකම්ධර්මසිරි ලංකාපේලි සහභාගි විය.


සී.දොඩාවත්ත - කැඳවුම්කරු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
 
පසුගිය වසර අවසානයේ දී පමණ පවතින පනතට විකල්පයක් ලෙස, නව කෙටුම්පතක් ඉදිරිපත් වීමත් සමග සංවාදයක් රට පුරා ඇති වී තිබෙනවා. නව කෙටුම්පත සම්බන්ධ සාකච්ඡුාව පැන නැගීමත් සමග, ලංකාවේ මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, තුළ මේ පිළිබඳ උනන්දුවක් ඇති විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් අනෙකුත් මාධ්‍ය සංවිධාන තුළත් සාකච්චාව එලෙසම ඇතිවුනා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ඉන්ෆෝර්ම් මානව හිමිකම් ව්‍යාපාරය, මේ සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පවා උත්සාහ කලා. ඒ උත්සාහය පළමුවෙනි අදියරේදී සාර්ථක වුනේ නෑ. දෙවනුව අපි සාකච්ඡුා කළා මෙහි ආදීනව සමාජය දැනුවත් කිරීමට සහ රජයට බලපෑම් කිරීමේ වැඩසටහනක් අවශයයි කියලා. ඉතිහාසය පුරාම මේ සම්බන්ධයෙන් වැඩ කල මාධ්‍ය සංවිධාන දෙකක් වන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ මාධ්‍යවේදී වෘත්තීය සමිති සම්මේලනය සමග දැනුවත් කිරීම්, බලපෑම් කිරීම්, ඒකාබද්ධව කිරීමට සැලසුම් කලා.



දුමින්ද සම්පත් - සභාපති - ශී‍්‍ර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

අපි මෙතනට ආවාට පස්සේ මට මතක් වුනේ අපි කාටද මේ දැනුවත් කිරීම් කරන්නේ කියලා. මොකද ජනමාධ්‍යවේදීන් වශයෙන් අපි මේ ජනමාධ්‍යවේදීන් ගැන තමයි මේ කතා කරන්නේ. මේක තමයි අපි ඉදිරියේ දී අත් විඳින්නට යන දේ. අපි අපි වෙනුවෙන් පෙනී නොසිටියොහොත් ජනමාධ්‍යවේදීන්ගේ අනාගතය ඉදිරියේදී අඳුරුයි. එහෙම අඳුරු යුගයක ඉඳලා බැට කලා තමයි ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන වශයෙන් අපි මේ ඉන්නේ. අපි නිහඬ වුනොත් ඒ අඳුරු යුගය මේ රටේ නැවත බිහිවෙන්න පුළුවන්. මේ රජය පත්වෙන්න ඉස්සෙල්ලා තිබුණා ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, ජනමාධ්‍යවේදීන්ට පහරදීම්, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම්, සුදුවෑන් සංස්කෘතිය තුළින් භීතිය ඇති කරපු ඉතිහාසයක් තිබුනා.  ඒ ඉතිහාසයට විරුද්ධව ජනමාධ්‍ය සංවිධාන සියල්ල වැඩ කලා. කාටවත් නැහැයි කියන්න බෑ. එහෙම කරපු, එහෙම හදපු රජයක් මේක. මේ රජය ආවේ අපි මතින්. ජනමාධ්‍ය සංවිධාන, ජනමාධ්‍යවේදීන් මතින් තමයි ඒ අය පාලනයට ආවේ. ඒ අය කිව්වේ ජනමාධ්‍යවේදීන් සිද්ධ වෙච්ච අපරාධවලට සාධාරණයක් ඉෂ්ඨ කරනවා කියලා. අද ඒ සාධාරණය ඉෂ්ඨ වෙලා තියෙනවද?

ලිච්චවී පාලනයක් ගැන කතා කරපු ආණ්ඩුවකට, පාලකයන්ට, මෙවැනි පනතක් කොහොමටවත් හඳුන්වා දෙන්න බෑ. සමගිව සාකච්චා කරන්න. සමගිව විසිර යන්න, නීතියෙන් නෙමෙයි ඒක කිව්වේ. ඔවුන් කිව්වේ අපි ගේන්නේ සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් කියලා. හැබැයි මේ පනත හරහා රටේ සමස්ථා ප‍්‍රජාතන්ත‍්‍රවාදයම අභියෝගයකට ලක් කෙරෙනවා. මේ පනතෙන් මාධ්‍යයට විතරක් නෙමෙයි ගුටි කන්න වෙන්නේ, වෘත්තීය සමිතිවලට, ශිෂ්‍ය ව්‍යාපාරවලට, වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලන අයට, තමන්ගේ ආයතනයකවත් වෘත්තීය අයිතිය ඉල්ලන්න බැරිවෙන තරමට, සමස්ත රටටම බලපාන විදියට මේ පනත බලවත් කරලා තියෙනවා.
 
අපි අවුරුදු 40 ක් ත‍්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ දුක්වින්දා. 1979 දී මේ පනත තාවකාලිකව ගෙනල්ලා අහෝසි කරනවා කියලා කිව්වට, අද වන විටත් මේ පනත කි‍්‍රයාත්මකයි. යහපාලන ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා කිව්වේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. දැන් අවුරුදු හතරකට වැඩි කාලයක් ගෙවිලා ඉවරයි. ඒ පනත අහෝසි කරනවා වෙනුවට ගේනවා ප‍්‍රති ත‍්‍රස්ත පනත. අපි මේ පනතට විරුද්ධ වෙන්නේ. ඉතිහාසයේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් බැට කාපු අපිට තවත් පනතකින් බැට කන්න බැරි නිසා. මේකේ ලස්සනට කියලා තියෙනවා මේවා මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා. පනතෙන් වැඩි බලතල දීලා තියෙනවා පොලිසියට. ජනාධිපතිවරයට බලය තියෙනවා ඇඳිරි නීතිය පැනවීමට, මහජන සාමය පවත්වා ගැනීමට ති‍්‍රවිධ හමුදා කැඳවීමට. දැනටම තියෙන නීති 14 ක් පමණ ප‍්‍රමාණවත් මේ කියන ප‍්‍රතිත‍්‍රස්ත පනත නැති වුනාට අපරාධයක් සම්බන්ධව කි‍්‍රයාත්මකවීමට හා හදිසි අවශ්‍යතාවයකදී ප‍්‍රයෝජනයට ගැනීමට.


ධර්මසිරි ලංකාපේලි - ප‍්‍රධාන ලේකම් - මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

ඇයි මේ මොහොතේදී ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ප‍්‍රති ත‍්‍රස්තවාදී පනතක් හඳුන්වාදීමට ආණඩුව උත්සාහ කරන්නේ. ජාත්‍යයන්තර මානව හිමිකම් කොමිෂම වැනි සංවිධාන ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනයවීම්, ජනතාවගේ අයිතිවාසිකම්, ප‍්‍රකාශන හා භාෂණයේ නිදහසට, එල්ල කරන ලද බරපතල තර්ජනයන් පිළිබඳව දිගින් දිගටම ප‍්‍රශ්න කෙරුණා. ඒ විතරක් නෙමෙයි ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නට බලපෑම් කෙරුණා. අන්තර්ජාතික වශයෙන් ආණ්ඩුවට කෙරුණු බලපෑම් නිසා මේ අලූත් පනත ගේන්න යන්නේ. නමුත් කලින් තිබූ පනතට වඩා බියකරු පනතක් තමයි හඳුන්වාදෙන්න යන්නේ.

පනත හොඳට පරිශීලනය කළාම, පේනවා අධිකරණය ඉක්මවා යන අධික බලයක් පොලිසියට ලැබෙනවා කියලා. මේ මගින් කුමන අරමුණු සාක්ෂාත් කරගන්න රජය උත්සාහ ගන්නවාද කියලා අපට පේනවා. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න සිදුවූ අත්දැකීම් අපි දන්නවා. සිදුවීම් සියගණනක් තියෙනවා. එක් සිදුවීමක් සිහිපත් කරන්න අවශ්‍යයි. තිස්සනාගයම් සිද්ධිය. ඔහු ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් කටයුතු කළ, පුවත්පත් කිහියකම සේවය කළ ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙක්. ඔහුගේ සඟරාව තුළ පළ කළ ලිපියක් නිසා, ඔහුට විසි අවුරුදු සිර දඬුවමක් හිමි වුනා. මෙය සිදුවුනු එක් තර්ජනයක් පමණයි. ප‍්‍රකාශනයේ සහ භාෂණයේ නිදහසට. මාධ්‍ය ආයතන වලට, මාධ්‍ය හිමිකරුවන්ට, ප‍්‍රධාන කර්තෘවරුන්ට, ලසන්ත වික‍්‍රමතුංග වැනි ජනමාධ්‍යවේදීන්ට, ගවේශනශීලී මාධ්‍යවේදීන් හඹාගෙන යෑම. මේ සියළු දේවල් සිද්ධ වුනේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ. අතුරුදහන්වීම්, චෝදනා රහිතව රඳවාගෙන සිටීම් සිදුවුනා. දැනටත් රඳවාගෙන ඉන්නවා.

මේවන විට පිරිස් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සිටිනවා. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය මේ වන විටත් විරෝධය පාරට ගෙනැවිත් තිබෙනවා. ඒ අවස්ථාවේදී එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය ඇතුළු තවත් ශිෂ්‍යයන් ගණනාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි දන්නවා මේ රටේ දේශපාලනයෙන් විසඳන්න බැරි ප‍්‍රශ්න විසඳාගැනීමට වීදියට ඇවිල්ලා, තමන්ගේ නගරයට ඇවිලා ජනතාවත් එක්ක එකතු වෙලා ආණ්ඩුවට බලපෑම් කිරීම මේ ආණ්ඩුවට හිසරඳයක් වෙලා තියෙනවා. ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාන්න මේ ලෑස්ති වෙලා ඉන්නේ.

( මේ සම්බන්ධයෙන් නීතිමය පැහැදිලි කිරීම් වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න. )



2019-03-21
Advertisement

Find us on Facebook