English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අද්මිරාල්වරයා සහ අතුරුදහන් කළ පිරිමි ළමයි එකොළොස් දෙනාගේ නඩු


2008 දී පිරිමි ළමයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදි. නාවුක හමුදා නිලධාරීන් 14 දෙනෙකු ඊට සම්බන්ධ වී සිටි අතර ඉන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට පමුණුවා තිබේ. පසුගිය බ්‍ර​හස්පතින්දා (7) මේ සිද්ධියේ 14 වැනි සැකකරු වන, යුද සමයේ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් රටේ ඉහළම අධිකරණය තීන්දුවක් දුන්නේය. සමහර විට ඒ, නඩුව අවසන් වන තෙක්ම ඔහුව අත්අඩංගුවට ගත නොහැකි බව විය හැකිය.

අවුරුදු 10 ක දීර්ඝ කාලයක් තිස්සේ සරෝජිනී නාගානන්දන් උසාවි ගානේ ගියාය. සිය එකම දරුවා වූ රජීව් සොයා ගැනීමේ අවසානයක් නොපෙනෙන සෙවීමක ඒ මුළු කාලය තිස්සේ ඈ නිමග්නව සිටියාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගනු ලැබීම වළක්වන්නැයි ඉල්ලා කරන්නාගොඩ ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම, රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ පසුගිය බ්‍ර​හස්පතින්දා විභාගයට ගැනෙන මොහොතේත් ඈ එතැන සිටියාය. දුක්බර දෑසක් ඇති, වයස පනහක් පමණ වන ඈ, කළු පැහැති චාම් සාරියක් හැඳගෙන, පැය පහක් තිස්සේ දිග් ගැස්සුණු ඒ දීර්ඝ නඩු විභාගයට සාවධානව සවන්දෙමින්, කෙලින් වාඩි වී සිටියාය.

අපේ රටේ අපරාධ යුක්ති පද්ධතිය ඇයට සහ හිටපු නාවුක හමුදාපතිවරයාට දැනටමත් සලකා ඇති ආකාරයේ වෙනස පුදුම සහගත ය. අවුරුදු ගණනක් තිස්සේ ඈ පොලීසියෙන් පොලීසියට ගියාය. උසාවියෙන් උසාවියට ගියාය. එහෙත් තමාගේ දරුවා පැහැරගෙන යාම සහ අතුරුදහන් කැරැුවීම සම්බන්ධයෙන් වන ඇගේ පැමිණිල්ලවත් භාර ගැනුණේ නැත. එසේ වුණේ, ඇගේ පවුලේ සාමාජිකයන් මේ දරුවා බේරා ගැනීමට අදාළව නාවුක හමුදාවේ ඉහළ නිලධාරීන් සමග විවිධ ගනුදෙනු ගැනත් කතා කරගෙන තිබීමෙන් බොහෝ කලකට පසුව වීම විශේෂිත ය. තම පුතා නිදහස් කර ගැනීම සඳහා ඈ එසේ කතා කර ඇති අය අතරින් වසන්ත කරන්නාගොඩ ද කෙනෙකි. 2011 දී සරෝජිනී නාගානන්දන් තම දරුවා සම්බන්ධයෙන් හේබියස් කෝපස් නඩුවක් ද පවරා තිබේ. මේ දක්වා එහි විනිශ්චයක් නැත.

එහෙත්, ඉතා දීර්ඝ වූත්, සූක්ෂම වූත් පොලිස් අපරාධ පරීක්ෂණ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වශයෙන්, අවසානයේ නාවුක හමුදා නිලධාරීන් දහ දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන, හිටපු නාවුක හමුදාපතිවරයාත් ඒ සිද්ධියේ 14 වැනි සැකකරු වශයෙන් නම් කිරීමෙන් අනතුරුව, යුක්තිය පසිඳලෙතැයි යන අපේක්ෂාවේ තුනී සේයාවක් යළි ඇගේ සිතේ මතු විය. පසුගිය පෙබරවාරි 22 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ ‘‘බී’’ වාර්තාව තුළ, 2008 දී කොළඹදී පැහැරගත් තරුණයන් 11 දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ 14 වැනි සැකකරු වශයෙන් නම් කෙරුණි. මේ පැහැර ගැනීම් නාවුක හමුදාවේ පිරිසක් විසින් ගෙන ගිය සංවිධානාත්මක ජාවාරමක කොටසක් බව, දශකයක කාලයක් තිස්සේ සිදු කෙරුණු පොලිස් පරීක්ෂණ ආශ‍්‍රයෙන් අනාවරණය විය. මොවුන්ගේ ජාවාරම වුණේ, පොහොසත් පවුල්වල ළමුන් පැහැරගෙන ගොස් දරුවන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් ලබා ගැනීමයි.

එහෙත්, කරන්නාගොඩ මේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සිටි පසුගිය පෙබරවාරි 22 වැනි දාම, තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙළේය.

පෙබරවාරි 28 වැනි දා මේ පෙත්සම මුලින් විභාගයට ගැනුණු අවස්ථාවේ, හිටපු නාවුක හමුදාපතිවරයාට විරුද්ධ අධිචෝදනා ‘ගොනු කොට ඉදිරියට යාමට සූදානම්’ බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. එදා කරන්නාගොඩගේ නීතිඥවරයා මොන තරම් ඉල්ලා සිටියත්, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට නොගන්නා බවට සහතිකයක් දීමට තමන්ගේ දෙපාර්තමේන්තුවට නොහැකි බව නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේය. ඒ වන විට, කරන්නාගොඩ යනු, නීතියෙන් පලා යමින් සිටි පුද්ගලයෙකි.

නඩුව විභාග කරමින් සිටි එක් විනිසුරුවරයෙකු, පෞද්ගලික නීතිඥවරයෙකු වශයෙන් කලක් කරන්නාගොඩ වෙනුවෙන් තමා කටයුතු කර ඇතැයි යන හේතුව උඩ මේ නඩුව ඇසීමෙන් ඉවත් වන සැටි, ඊළඟට, කරන්නාගොඩගේ නීතිඥවරයා ඉල්ලා සිටින පරිදි කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නා බවට සහතික වන්නැයි නැවත නැවතත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින සැටි, සරෝජිනී නාගානන්දන් බලා සිටියාය. ඒ සා කාලයක් තිස්සේ පුත‍්‍ර ස්නේහය නිසා විඳවමින් සිටි මාතාව, යුක්තිය ඉෂ්ට වන බවට වගබලා ගැනීම සඳහා නීතිඥයෙකු මාර්ගයෙන් මේ නඩු කටයුත්තට තමාත් මැදිහත් විය යුතු බව දුටුවාය.

තම පුතාට සහ අනෙක් වින්දිත තරුණයන්ට සිදු වුණේ කුමක්ද යන්න ගැන ඇත්ත කියන නාවුක හමුදාවේ නිලධාරීන්ගේ සාක්ෂි සහාය ලබා ගැනීමත්, පැහැරගෙන ගිය පුද්ගලයන්ට සහ මිනීමරුවන්ට එරෙහිව නඩුවක් ගොනු කිරීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කෙතරම් දුෂ්කර කාර්යයක් වී ඇත් ද යන්න ඈ හොඳින් දැන සිටි කාරණයකි. එසේ සාක්ෂි දීමට කැමැත්තෙන් සිටි නාවුක හමුදාවේ නිලධාරීන් දෙන්නෙකුට කරන්නාගොඩම තර්ජනය කළ බවට ඔවුන් පැමිණිලි කොට තිබුණි. තවත් කෙනෙකුට වෙනත් ජ්‍යෙෂ්ඨ නාවුක හමුදා නිලධාරියෙකු ගිනි අවියකින් පහර දී තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට සහාය දැක්වීම නිසා ඔවුන්ගේ වෘත්තීය උසස්වීම් අවහිර කොට තිබුණි. තම පුතා පැහැරගෙන යාමට නොව, ඝාතනය කිරීමට සහාය වීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නාගොඩට එරෙහිව නගන චෝදනාව තිබියදීත්, ඔහු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙක් ය යන සංඥාව යම් අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා නිකුත් වුවහොත්, තවත් සාක්ෂිකරුවන් මේ සම්බන්ධයෙන් ඉදිරියට ඒමට බිය වෙතැයි ඈ බිය වූවාය.

මේ පරීක්ෂණයේදී හමුදාවෙන්, නාවුක හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන තිබූ කිසි වාර්තාවක, පැහැර ගත් වින්දිත තරුණයන්ගෙන් කිසිවෙකු එල්.ටී.ටී.ඊ. හෝ වෙනත් ත‍්‍රස්තවාදී කටයුත්තකට කිසි ආකාරයක සම්බන්ධයක් තිබූ බවට මොනම සාක්ෂියක්වත් හමුව නැත. මුලින්ම, කොළඹ කොටුවේ නාවුක හමුදා බන්ධනාගාරයේ රඳවාගෙන සිටීමෙන් අනතුරුව ත‍්‍රිකුණාමලයේ නාවුක කඳවුරේ ඝෝර යටිබිම් කුටිවල මේ දරුවන්ව සිරකොට තබා තිබේ. ඔවුන්ගේ සිරුරු කිසි දිනක හමුව නැත. එහෙත් 2009 මැයි මාසයේ යම් දවසක ඔවුන් ඝාතනය කරන්ට ඇතැයි පරීක්ෂකවරු විශ්වාස කරති.

හිටපු නාවුක හමුදාපතිවරයාගේ මෙම නඩුවට තමාට මැදිහත් වීමට අවසර ඉල්ලා සරෝජිනී නාගානන්දන් තම නීතිඥයන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය. කප්පම් ජාවාරමක් සඳහා මෙසේ පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන නාවුක හමුදාවේ සියල්ලන් අරභයා නීතියේ නිසි ක‍්‍රියාවලිය භාවිත වීම, තමා වැනි අනෙක් වින්දිත පවුල්වලට වැදගත් වන්නේ මන්දැයි අධිකරණයට ප‍්‍රකාශ කර සිටීම ඇගේ අරමුණ විය. ඇය ඉදිරිපත් කළ ඒ පුපුරන සුළු පෙත්සම තුළ, හිටපු නාවුක හමුදාපතිවරයාගේ බිරිඳ සහ ඔහුගේ පුද්ගල ආරක්ෂක නිලධාරියා වන ලූතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ අතර පැවති හොර ආලයක් නිසා එම නිලධාරියාට විරුද්ධව කරන්නාගොඩ පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන් විය. මේ පැමිණිල්ල කර ඇත්තේ 2009 මැයි 28 වැනි දා, කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ය. කරන්නාගොඩගේ පැමිණිල්ල වුණේ, මේ නිලධාරියාට ඇතැයි කී එල්.ටී.ටී.ඊ. සම්බන්ධතාවන් සහ වංචනික මූල්‍ය ගනුදෙනු කිහිපයකි. තරුණයන් පැහැරගෙන යාමේ ජාවාරමක් පිළිබඳ සැකයක් ගැන කිසිවක් කරන්නාගොඩගේ පැමිණිල්ලේ සඳහන් නොවීය. එහෙත් තමා යටතේ සිටි නිලධාරීන්ට එවැනි පැහැර ගැනීම් ගැන චෝදනා එල්ල වී තිබුණු බව, 2009 මැයි 10 වැනි දා වන විටත් තමා දැන සිටි බව, කරන්නාගොඩ විසින්ම පිළිගනු ලැබ තිබේ.

සරෝජිනී නාගානන්දන් කියා සිටින්නේ, මුණසිංහට විරුද්ධව කරන්නාගොඩ පොලීසියට පැමිණිලි කරන්නේ පැහැර ගැනීමේ ජාවාරම ගැන ඇති වූ කැක්කුමක් නිසා නොව, ඔහුගේ බිරිඳ සහ මුණසිංහ අතර පැවති අනාචාර සම්බන්ධය ගැන ඇති වු පුද්ගල වෛරය නිසා වන බවයි. සරෝජිනී නාගානන්දන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ, ‘කරන්නාගොඩගේ පැමිණිල්ල ළමුන් පැහැර ගැනීම ගැන පැමිණිල්ලක් නොවුණු’ බව පැහැදිලිව සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුව කළ පරීක්ෂණ මාර්ගයෙන් හෙළි වූ ආකාරයට, මේ මුණසිංහ තවත් මුණසිංහ කෙනෙකු සමග එකම කාමරයක නවාතැන් ගෙන තිබේ. අනෙකා, ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ ය. මේ ළමුන් පැහැර ගැනීමේ කල්ලියේ නායකයා වශයෙන් සැක කෙරෙන්නේ ඔහු ය. 2009 මැයි මාසයේ කරන්නාගොඩ මේ කාමරය පරීක්ෂා කරන ලෙස ප‍්‍රධාන නිලධාරියෙකුට නියෝග කර තිබේ. එහිදී, ජාතික හැඳුනුම් පත් සහ විදේශ ගමන් බලපත‍්‍ර ගණනාවක් සහ විශාල මුදල් ප‍්‍රමාණයක් සොයා ගැනුණි. එහෙත් 2009 මැයි 28 වැනි දා කරන්නාගොඩ කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කළ පැමිණිල්ලේ, මුණසිංහගේ කාමරය බෙදාහදා ගත් මේ ‘නේවි සම්පත්’ හෙවත් ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ගැන කිසි සඳහනක් කරන්නේ නැත. එසේ සඳහන් කිරීමෙන් කරන්නාගොඩ වැළකී ඇත්තේ, තරුණයන් පැහැරගෙන යාමට ‘නේවි සම්පත්’ නැමැත්තා සම්බන්ධ බවට සැක කෙරෙමින් තිබියදී ය.

මෙහි ඇති අපූරු සරදම වන්නේ, තරුණයන් පැහැරගෙන යාමේ ජාවාරම ගැන තමාගේ බුද්ධි අංශ මගින් තමාට වාර්තා කර තිබූ තොරතුරු ගැන ඒ වන විටමත් දැනගෙන සිටියදීත් ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නැති කරන්නාගොඩගේ පොලිස් පැමිණිල්ල දැන් ඔහුගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර ඇති පරීක්ෂණ නිස්සාර බවත්, දේශපාලනිකව උසිගැන්වූ ඒවා බවත්, අසද්භාවයෙන් පිරුණු ඒවා බවත් පෙන්නුම් කිරීම සඳහා පාවිච්චියට ගැනීමයි.

අංක 502 අධිකරණ ශාලාව, පැය දෙකක කාලයක් තිස්සේ ඔහුගේ කරුණු දැක්වීම් අතරේ විටින් විට ඔහුගේ ගෝරනාඩුවෙන් ගිගුම් දුනි. ‘‘එහෙනං ඇයි පොලීසියට ගියේ?’’ වරක් ඔහු බෙරිහන් දුනි. ‘‘දන්න තොරතුරු යටපත් කරන්න නං කෙනෙක් පොලීසියට යන්න ඕනේ ද? මේ අපි කතා කරන්නේ 2009 මැයි මාසේ ගැන. මේගොල්ලෝ රණවිරුවෝ. ඒගොල්ලන්ට ඕනේ නං, ඕනේ කෙනෙක්ව මරලා ඒක යටගහන්නත් පුළුවන් කම තිබුණා.’’

පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ බාධාවකින් තොරව කරුණු ඉදිරිපත් කරගෙන යාමට අධිකරණය ඔහුට ඉඩ හැරියේය. ඒ කරුණු දැක්වීම අතරේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පදනම් විරහිත, දත්තමය වශයෙන් වැරදි චෝදනා ගණනාවක්ම, නීතිපතිවරයාට සහ පරීක්ෂණය භාර පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල කෙළේය. පුදුමය වන්නේ, පොලීසිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ඒ කිසිවකට විරෝධය නොපෑමයි.



නීතිපතිට එල්ල කළ ප‍්‍රහාරය

නීතිපතිවරයා සහ සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා හමු වී ඇති බවත්, එවැනි හැසිරීමක් ඇති නීතිපතිවරයෙකුගේ දෙපාර්තමේන්තුවකට ඉස්සර තිබූ විශ්වසනීයත්වය තවදුරටත් හිමි නොවන බවත්, රොමේෂ් ද සිල්වා විවෘත අධිකරණය ඉදිරියේ චෝදනා කොට සිටියේය. කිහිප වරක්ම මේ ද්වේෂ සහගත චෝදනාව ඔහු ඉදිරිපත් කළත් එය සනාථ කෙරෙන කිසි සාක්ෂියක් ඔහු ගෙනහැර දැක්වූයේ නැත. එපමණක් නොව, මේ අසාමාන්‍ය හැසිරීම ගැන විනිශ්චයාසනයෙන් ඔහුට කිසි තරවටුවක් කෙරුණේ ද නැත.

හිටපු නාවුක හමුදාපතිවරයා සැකකරුවෙකු වශයෙන් නම් කොට ඇත්තේ ප‍්‍රමාද වී බව, ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ රොමේෂ් ද සිල්වා කියා සිටියේය. ඔහුට අනුව, ‘‘ඒ, ජිනීවා සමුළුව ආරම්භ වූ පසුව ය. පෙත්සම්කරු කලින් ආණ්ඩුව සමග සම්බන්ධ බවට අදහසක් තිබේ.’’

‘‘මේ තමයි අපි වෙනුවෙන් යුද්ධය දිනපු මිනිහා. අපි ඔහුට ණයගැති වෙන්න ඕනේ. එන්.ජී. ඕ. වලින් ජීවත්වෙන, එන්.ජී. ඕ. එක්ක ගනුදෙනු කරන පුද්ගලයෝ තමයි මොහුව පටලවන්න බලන්නේ.’’ සිය අතිශය පිළිකුල් සහගත කරුණු දැක්වීමේදී මේ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු නැතැයි අධිකරණයට කියා සිටි ජනාධිපති නීතිඥවරයා, කරන්නාගොඩට චෝදනා ගොනු කර ඇත්තේ දණ්ඩනීති සංග‍්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ වන නිසා ඔහුට ඇප නොලැබෙන බවත් අධිකරණයට මතක් කර දුන්නේය. ‘‘එහෙම වුණොත් මාස ගානක් ඇතුළේ ඉන්න වෙයි.’’ ඔහු තවදුරටත් විස්තර කෙළේය.

කරන්නාගොඩව පටලවා ඇත්තේ විශ‍්‍රාමික නාවුක හමුදා නිලධාරීන් දෙදෙනෙකු දුන් කටඋත්තර දෙකක් මගින් පමණකැයි රොමේෂ් ද සිල්වා බොරු කීවේය. පැහැර ගත් දරුවන් මරා දැමීමේ කුමන්ත‍්‍රණයට කරන්නාගොඩ සම්බන්ධ බවට, හිටපු අද්මිරාල්වරුන් සහ හිටපු ඇමතිවරයෙකු ඇතුළු, අඩු වශයෙන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට සාක්ෂි වශයෙන් කටඋත්තර දී තිබේ.

හිටපු නාවුක හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා 2017 දී අපරාධ විමර්ශන අංශයට සාක්ෂි වශයෙන් දුන් ප‍්‍රකාශයක් ගැනත් රොමේෂ් සිල්වා සඳහන් කෙළේය. සින්නයියාගේ ප‍්‍රකාශයේ සඳහන් වන්නේ, ත‍්‍රිකුණාමලයත් අයත් වන නැගෙනහිර පළාත භාර නාවුක ආඥාපතිව තමා සිටි අවදියේ, ත‍්‍රිකුණාමලේ නාවුක කඳවුරේ පිහිටි ‘ගන් සයිට්’ නැමැති ස්ථානයේ පුද්ගලයන් සිරකර තබාගෙන සිටි බවත්, එකී රඳවා ගැනීම් ගැන සොයා බැලීම එවක නාවුක හමුදාපති කරන්නාගොඩ විසින් තමාට තහනම් කොට තිබූ බවත්, මේ ‘ගන් සයිට්’ නැමැති ස්ථානයට යන එන වාහන පරීක්ෂා නොකරන ලෙස තමන්ට ඔහු කෙලින්ම දැනුම් දී තිබුණු බවත් ය. මේ කියන ස්ථාන පිළිබඳ කටයුතු කිරීමට අවසර තිබුණේ හිටපු නාවුක හමුදා ප‍්‍රකාශක ඞී. කේ. පී. දසනායකට සහ ත‍්‍රිකුණාමල කඳවුරු ප‍්‍රධානී සුමිත් රණසිංහට පමණක් බවත් සින්නයියා සිය ප‍්‍රකාශය මගින් කියා තිබේ. දසනායක සහ රණසිංහ යන දෙදෙනාම මේ සිද්ධියේ විත්තිකරුවන් වන අතර මේ වන විට ඇප මත නිදහස්ව සිටිති.

මේ පැහැරගෙන යාමේ ජාවාරම ගැන පස්සෙන් පන්නන්නේ එන්.ජී. ඕ. කාරයන් ය යන ස්වකීය සුපුරුදු තර්ක ක‍්‍රමය ඔස්සේ යමින්, අද්මිරාල් සින්නයියා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ බවත් රොමේෂ් සිල්වා අධිකරණයට මතක් කර දුනි. ‘‘නාවුක හමුදාවේ දෙවැනියා විදිහට ඉඳගෙන මේ ප‍්‍රකාශය කරන සින්නයියා, ඊළඟට නාවුක හමුදාපති පදවියටත් පත්කෙරුවා.’’ යැයි කරන්නාගොඩගේ නීතිඥවරයා කියා සිටියේය.

කරන්නාගොඩව මේ සිද්ධියට සම්බන්ධ කරන දෙවැනි ප‍්‍රකාශය පොලීසියට ලබා දෙන්නේ, කරන්නාගොඩගේ පුද්ගලික ලේකම් වශයෙන් එදා සිටි රෙයාර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු ය. ඒ ගැන සඳහන් කරමින්, ෂෙමාල් ප‍්‍රනාන්දු විසින් කරන්නාගොඩට යවන ලද කෙටි පණිවිඩ කිහිපයක් රොමේෂ් සිල්වා කියැවීය. එකක්, පාස්කු උත්සවයට ආශීර්වාද කොට සුභ පතමිනි. තව එකක්, විවාහ මංගල්‍යයකට ආරාධනා කරමිනි. ‘‘මේවා කියෙව්වට පස්සේ මං හිතාගත්තා, ඉච්චාකාරයන්ව නං කවදාවත් විස්වාස කරන්න හොඳ නැහැ කියලා. එහෙම පණිවිඩ එවලා මාස ගානකට පස්සේ කරන්නාගොඩට විරුද්ධව (මේ පුද්ගලයා) මෙහෙම චෝදනා කරනවා.’’ රොමේෂ් සිල්වා කීය.

කරන්නාගොඩගේ නීතිඥයන් විසින් නගන ලද චෝදනාවලට පිළිතුරු දීම සඳහා අද්මිරාල් සින්නයියා සහ රෙයාර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටියේ නැත.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කොට ඇති ‘බී’ වාර්තාවේ කරුණු රොමේෂ් සිල්වා මෙහිදී වසං කෙළේය. ත‍්‍ර‍්‍රිකුණාමලේ රඳවාගෙන සිටි මේ තරුණයන් ඝාතනය කිරීමට, තොරතුරු වසං කිරීමෙන් අද්මිරාල් කරන්නාගොඩ සහාය වී ඇති බවට වන කරුණු, අද්මිරාල් ජේ. ජේ. රණසිංහ, අද්මිරාල් ගුරුගේ, කොමදෝරු බණ්ඩාර, ලූතිනන් කමාන්ඩර් වෙලගෙදර සහ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා පොලීසියට දී ඇති කටඋත්තරවලින් හෙළිදරව් වන බව, රොමේෂ් සිල්වා වසං කෙළේය.

2015 දී මේ ‘ගන් සයිට්’ නැමැති ස්ථානය නැරඹීමට ගිය ‘බලහත්කාරයෙන් අතුරුදහන් කැරැුවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම’ ගැනත් රොමේෂ් සිල්වා සඳහන් කතා කෙළේය. ඒ පිළිබඳ කරුණු විකෘති කරමින් අධිකරණයට කරුණු දක්වා සිටි ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නමක් නැති ‘එන්.ජී. ඕ’ සංවිධාන සමග එක්ව, මේ ‘ගන් සයිට්’ නැමැති ස්ථානයෙන් සොයා ගත් සත්ව ඇටකටු වගයක් මිනිස් ඇටකටු සේ හුවාදක්වමින් නාවුක හමුදාවේ කීර්ති නාමයට කැළැල් කිරීමට තැත් කෙළේ යැයි චෝදනා කෙළේය. ඔහු කියන ඒ තැත ඔහු කියන පරිදි ව්‍යවර්ථව ඇත්තේ, රජයේ රස පරීක්ෂකවරයා ලවා එම ඇටකටු පරීක්ෂා කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කිරීම නිසා ලූ.

ඇත්ත වශයෙන්ම, මේ ඇටකටු මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට ඒවා රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂා කර ගත යුතු බවට නියෝගයක් ඉල්ලා සිටියේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. රොමේෂ් ද සිල්වා අධිකරණය ඉදිරියේ කළ මෙවැනි වැරදි ප‍්‍රකාශ ගණනාවක් නිවැරදි කිරීමේ මගක් නොවීය. ඔහු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාව හැඳින්නුවේ දේශපාලනිකව පත්කළ ‘අලූගෝසුවෙකු’ සහ ‘හතර අතේ දුෂ්ටයෙකු’ වශයෙනි. මේ සිද්ධිය පරීක්ෂා කිරීමට නිශාන්ත සිල්වා පත්කෙළේ 2015 දී යැයි රොමේෂ් සිල්වා කියා සිටියේ, රාජපක්ෂගේ පරාජයෙන් පසුව ජනවාරියේ බලයට පත් පාලකයන්ගේ වුවමනාවට නිශාන්ත සිල්වා ඒ සඳහා පත්කරන ලදැයි ව්‍යංගාර්ථවත් කිරීමට ය. ඇත්ත වශයෙන්ම, නාවුක හමුදාවේ මේ පැහැර ගැනීම් පිළිබඳ පරීක්ෂණ භාර නිලධාරියා වශයෙන් නිශාන්ත සිල්වා කටයුතු කරන්නේ දැන් අවුරුදු 8 ටත් වැඩි කාලයක් තිස්සේ ය.

අභියෝග නොකිරීම

රොමේෂ් ද සිල්වා ගෙනහැර දැක්වූ කරුණුවල සාවද්‍ය භාවය නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අභියෝග කෙළේ නැත. තමාගේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට විරුද්ධව ඔහු නැගූ චෝදනා ගැන ඔහුට තරවටු කෙළේ ද නැත. ඔහු උසාවියට කියා සිටියේ, කරන්නාගොඩගෙන් ප‍්‍රකාශයක් ගැනීම හැරුණු කොට, මේ පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ සියලූ පරීක්ෂණ අවසන්ව ඇති බවත්. කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව උදක්ම ඉල්ලා නොසිටින බවත් ය.

එසේ වෙතත්, ‘බී’ වාර්තා ඇතුළු වෙනත් මාර්ගවලින් ‘සනඩේ ඔබ්සර්වර්’ පුවත්පත විශ්වාස කටයුතුව දැනගෙන ඇති පරිදි, මේ පිළිබඳ පරීක්ෂණ තවමත් කෙරීගෙන යයි. තවත් අමතර සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට තිබේ. වින්දිතයන් ඝාතනය කිරීමට අදාළ අවශේෂ සාක්ෂි වශයෙන් සපයා ගත යුතු, අමතර භෞතික සහ විද්‍යුත් සාක්ෂි ගණනාවක් සපයා ගැනීමට තිබේ. එම පරීක්ෂණ සඳහා අඩු වශයෙන් තව මාස දෙකක කාලයක්වත් ගතවෙනු ඇත. පරීක්ෂණ බොහෝ දුරට අවසන්ව ඇතැයි අතිරේක සොලිසිටර්වරයා අධිකරණයට දන්වා සිටීම, ඒ අනුව, සාවද්‍ය ය.

එසේම, තරුණයන් පැහැරගෙන යාම පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් කරන්නාගොඩ නිදොස් කළ හැකි බව අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණයට දන්වා සිටියේය. එය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසි විටෙක දරා ඇති මතයක් නොවේ. තරුණයක් පැහැරගෙන යාම පිළිබඳ හිටපු නාවුක හමුදාපතිවරයාගේ සම්බන්ධය ගැන තවදුරටත් කරුණු සොයා බැලීමට ඇති බව පොලිසියේ මතයයි. තමන්ගේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කප්පම් ගැනීම සඳහා කරගෙන ගිය මේ පැහැරගෙන යාමේ සහ ඝාතනය කිරීමේ ජාවාරමට කරන්නාගොඩ අනුමැතිය දී ඇති බවට තවම සාක්ෂි මතු වී නැති බව සැබෑ මුත්, එකී ජාවාරමේ ප‍්‍රධාන චූදිතයන් වන කමාන්ඩර් සම්පත් මුණසිංහ, කමාන්ඩර් සුමිත් රණසිංහ සහ ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි යන තිදෙනාම රාජකාරී කෙළේ එදා නාවුක හමුදාපති කරන්නගොඩගේ සෘජු අධීක්ෂණය යටතේ ය.

සරෝජිනී නාගානන්දන් වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ වැලිඅමුණ උත්සාහ කළත් රොමේෂ් සිල්වා කෑගසා ඔහු යටපත් කොට, වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීමට වැලිඅමුණට ඉඩ නොදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සාක්ෂිකරුවන් කෙරෙහි ඉතා නරකට බලපාන බව උදක්ම කියා සිටි වැලිඅමුණ, එසේ වීමෙන් කරන්නාගොඩ නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු සේ පෙනී යාම හේතුවෙන් ඔහුට විරුද්ධව සාක්ෂි දීමට සාක්ෂිකරුවන් බිය වන බව කියා සිටියේය.

රොමේෂ් ද සිල්වාගේ පැත්ත ගත් අධිකරණය, වැඩි දුර කරුණු දැක්වීමෙන් වැලිඅමුණව වැළැක්වීය. එහෙත් සරෝජිනී නාගානන්දන් වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණය සවන්දිය යුතු බවට වැලිඅමුණ පෙරැුත්ත කරනු දුටු විට රොමේෂ් ද සිල්වා අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න දෙසට හැරුණි. විනිශ්චය මඬුල්ල ඉදිරියේ දෙන්නා කතිකා කර ගැනීමෙන් අනතුරුව, කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නා බවට විරාජ් දයාරත්න පොරොන්දු වීමෙන් පසුව විභාගය අවසන් කිරීමට තීරණය විය.

දත්තමය වශයෙන් වැරදි කරුණු මත පදනම්ව ඇති කර ගන්නා මෙවැනි සමතයක් පිළිබඳ නිවැරදි කරුණු වාර්තාගත විය යුතු බවට වැලිඅමුණ දිගින් දිගටම ඉල්ලා සිටියත්, වින්දිතයන් වෙනුවෙන් කරුණු දැක්වීමට විනිශ්චය මණ්ඩලය ඔහුට ඉඩ නොදුනි. අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මූනිච්චාවට පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ අනුමැතිය ඇතිව කරන්නාගොඩගේ ඉල්ලීම පිළිගනිමින් අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම වාරණය කෙළේය. මේ සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් බවට හෝ කරන්නාගොඩ අත්අඩංගුවට නොගත යුතු බවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට උපදෙස් දී නොතිබුණු බව සැලකුව මනා ය.

වැඩියෙන් සමාන වීම

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා නිකුත් කළ යුතු නියෝග කොටස් කියවමින් රොමේෂ් ද සිල්වා විනිසුරු මඬුල්ල පෙළඹවීමට තැත් කරද්දී, කරන්නාගොඩ ‘අත්අඩංගුවට ගැනීම/භාරයට පත්කිරීම’ වළක්වන්නැයි වචනයෙන් වචනය විනිශ්චයාසනයට කියා දීමට යාමේදී, රොමේෂ් ද සිල්වාගේ සේවාදායකයාට එරෙහිව ගොනු කළ යුතු අධිචෝදනා පත‍්‍රය ලියැවිය යුතු ආකාරයත් ඒ අයුරින්ම විනිශ්චයාසනයට කියා දුන්නොත් මැනවැයි වැලිඅමුණ සෝපාහාසයෙන් කීවේය.

කරන්නාගොඩ ‘භාරයට පත්කිරීම’ වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන අවසාන විනිශ්චයක්, නඩුව පැවැත්වෙන කාලය පුරාම බලපැවැත්වෙන නියෝගයක් වශයෙන් ඔහුගේ නීතිඥවරයා අර්ථ දැක්වීමට ඉඩ ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතට කීය. ඒ අනුව, මිනිමැරුමට ආධාර දීම සහ අනුබල දීම යන අධිචෝදනා පත‍්‍ර ගොනු කිරීමෙන් පසුවත්, කරන්නාගොඩට එක දිනක්වත් රක්ෂිත බන්ධනාගාරගත නොවී සිටීමට හැකි වනු ඇත. එය, මෙවැනි බරපතල අපරාධයක් වෙනුවෙන් චෝදනාවට ලක්වන වෙනත් කෙනෙකුට කිසි දවසක හිමි නොවන වරප‍්‍රසාදයකි.

සති දෙකක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සැඟවී සිටින කරන්නාගොඩ, අත්අඩංගුවට නොගන්නේය යන සහතිකය මත, මාර්තු 11 වැනි සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට විත් කටඋත්තරයක් දීමට කැමැත්තේදැයි රොමේෂ් සිල්වාගෙන් විනිශ්චයාසනය ප‍්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු පිටුපසින් සිටි නීතිඥයෙකු වෙත රොමේෂ් සිල්වා හැරුණේය. මොහු නඩුවලට පෙනී සිටින නීතිඥයෙකු නොවන ව්‍යාපාරිකයෙකි. මාධ්‍ය අයිතිකරුවෙකි. සුරැුකුම්පත් වෙළඳපොළේ ගනුදෙනු කරුවෙකි. කරන්නාගොඩ සඳහා එම යෝජනාව යෝග්‍ය බව රොමේෂ් ද සිල්වාට දන්වා සිටියේ එම පුද්ගලයා ය. මේ නීතිඥ ව්‍යාපාරිකයාගේ ටෙලිෆෝනය නඩුව ඇසෙන වාරයේ විටින් විට හැඬවෙනු එහි සිටි කාටත් ඇසුණි. ඒ අවස්ථාවල ඔහු අධිකරණ ශාලාවෙන් විටින් විට එළියට ගියේය. ඒ ගැන විනිශ්චයාසනයෙන් මොනම තරවටුවක්වත් නොනැගුණි.

අවුරුදු දහයක් තිස්සේ ආගිය අතක් නැතිව සිටින තම පුතා ගැන වන තමාගේ කතාවට සවන්දීම තවත් අධිකරණයක් මගින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සරෝජිනී නාගානන්දන් ආපසු ගෙදර ගියේ, පුතා නිදහස් කර දෙන බවට පොරොන්දු වූ පදක්කම්ලාභී ‘රණවිරුවා’, නීතිය සහ අධිකරණ ඉදිරියේ සිය ආදරණීය පුතාට වඩා වැදගත් බව, යළිත් වතාවක් පසක් කර ගනිමිනි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඒ බව අධිකරණයට පැහැදිලි කොට දුන්නේය. එනම්, 2008 මැයි මාසයේදී, කරන්නාගොඩට අවශ්‍ය නම් කෙනෙකු ඝාතනය කොට දඬුවමෙන් ගැලවී සිටීමටත් හැකියාව තිබුණු බව අධිකරණයක් ඉදිරියේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කරමිනි. එවැනි බලයක් වෙන කාට නම් හිමි වේදැ යි සරෝජිනී නාගානන්දන්ගේ හදවත ප‍්‍රශ්න කරයි. ඔවුන් පවා, අධිකරණයේ දෑස් ඉදිරියේ, නීතියට උඩින් සිටින්නේදැ යි ඇගේ සිත විපිළිසර වෙයි.

මනෝජ් කොළඹගේ

*2019 මාර්තු 10 වැනි දා ‘සනඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ“The Admiral & the Case of 11 Missing Boys” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා



2019-03-15
Advertisement

Find us on Facebook