English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“සුළු පක්ෂ නායකයින් පෞද්ගලික වාසි තකා විධායකය කේවල් කරනවා!” - පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයම්පති වික්‍රමරත්න


“ මෑත දී දින 52 සිදුවීමෙන් පසුව සිදුකරන ලද සමීක්ෂණයකින් පෙනී යනවා, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට, වැඩි සහයක් ලැබෙන්නේ සුළුජාතීන්ගෙන්. කවුරු හරි නායකයෙක් දෙන්නෙක්, තාමත් කියනවා නම් විධායක ජනාධිපතිධූරය තියාගන්න ඕනා කියලා, හොඳට පේනවා එය ඔවුන් නියෝජනය කරන ප්‍රජාවේ අදහස නම් නෙමෙයි. එය පුද්ගලික දේශපාලන වාසි තකා කරන කතාවක් කියලා. ඒ කුඩා ජනවර්ගවල නායකයින්ට අවශ්‍ය අමාත්‍යංශය සහ වෙනත් නොයෙකුත් වාසි සඳහා වෙන්න පුළුවන්. ”

දින 52 අත්දැකීම් අනුව අපි කළ යුත්තේ කුමක්ද? මේ විධායක ජනාධිපති ක්‍රමය තියාගෙන රට ඉදිරියට ගෙනි යන්න බෑ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධනයට මම අදත් සහය දෙනවා. 20 සංශෝධනයත් සියළුම ජනාධිපති බලතල ඉවත් කරලා නෑ. 20 සංශෝධන යෝජනාව ආවේ දින 52 කට ඉස්සෙල්ලා. දැන් අපේ අත්දැකීම්වලින් පස්සේ මම හිතන්නේ, ජනාධිපතිවරයට කිසිම බලතලයක් තිබිය යුතු නැහැ. අපි නාමික විධායකයක් ගොඩනගන්න අවශ්‍යයි. විධායක ජනාධිපති බලය අහෝසි කිරීමට අද වන විට විශාල සහයක් ලැබෙනවා. විශේෂයෙන් දින 52 අත්දැකීම් අනුව.

පාර්ලිමේන්තුවේදී මට හමුවන සමහර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දවස් 52 ට පෙර කොච්චර වුනත් විධායක ජනාධිපති ධූරය සුදුසුයි කියලා කිව්වා. නමුත් අද ඒ තත්ත්වය නෑ. සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. කුඩා දේශපාලන පක්ෂවලට අයත් සමහර දේශපාලඥයන් කිහිප දෙනෙක් පමණක්, විධායක ජනාධිපතිධූරය තියාගන්න ඕනා, සෘජුව පත් කරන ජනාධිපතිවරයෙක් පත් කරන කොට, ජාතික මැතිවරණයක් නිසා කුඩා පක්ෂවලට වාසියක් තියෙනවා කියලා කියනවා. මොනවද වුනු වාසිය? 1982 අගදී, මේ රටේ සුළු ජනවර්ග ජේ.ආර් ජයවර්ධනට ඡන්ද දුන්නා. 1983 ජූලි කලබල එනකොට ජයවර්ධනට පුළුවන් වුනාද ඒක පාලනය කරන්න. බැරිවුනා. අත්තවාදී බලපෑම නිසා.

මේ සැරේ උදාහරණය ගන්න, මෛත්‍රිපාල සිරිසේනට, සුළු ජාතීන් අති විශාල වශයෙන් ඡන්ද දුන්නා. ඔහු සුළු ජාතීන්ට විරුද්ධයි කියලා මම කිසිසේත් කියන්නේ නැහැ. ඒත් සුළුජාතීන්ට ඔහු නිසා විශේෂ රැකවරණයක් ලැබුණේ නෑ. අන්තවාදීන්ට විරුද්ධව ඔහු කටයුතු කලාද? නෑ. අන්තවාදී කොටස් එක්ක ඔහු දැන් ගනුදෙණු කරමින් සිටිනවා.

2014,2015 අපි කළ දේවල් ගැන අපිට අත්දැකීමක් තියෙනවා. අපි සටන්පාඨ තෝරාගෙන ඒ සටන් පාඨ වටේ එකතු කෙරුවා ජනතාව. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීම සහ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම කියන සටන් පාඨ ඉදිරියට ගෙනවා. 19 වෙනි සංශෝධනයෙන් කරගන්න බැරි වුනු දේවල්, 20 වෙනි සංශෝධනයකින්, අලුත් ව්‍යවස්ථාවකින් යන කරුණු ඔස්සේ තමයි අපිට ජනතාව ඒකාරාශී කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව අපිට නැවතත් පොදු අපේක්ෂකයෙක් කියන සංකල්පයට යන්නට වෙනවා.





2019-03-14
Advertisement

Find us on Facebook