English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සරත් දෑසින් කතා කළ සටන්කාමියා



71 කැරැල්ලට දඩුවම් ලබා මැගසින් බන්ධනාගාරයේ ජී සහ එච් වාට්ටුවෙහි අප ගත කළ මුල් දවස් එක්තරා අන්දමක ගන්ධබ්බ කාලයක් විය. අප දීර්ඝ කාලීන සිර ද`ඩුවමකට හුරු විය යුතුව තිබුණි. සරත් ප‍්‍රනාන්දු නම් ඒ අපූරු මිනිසා මා දැන හඳුනා ගත්තේ ඒ අවිනිශ්චිත දවස්හි දී ය.


ඒ නුහුරු මුල් දවස්වල දී බන්ධනාගාර නියාමකවරුන් සමග විවිධ කාරණා උඩ විවාදයන්ට ඇදී යන සරත් ඇස් දෙකෙන් ඉංගී‍්‍රසි බසින් තර්ක කරනු දැකීම අප බොහෝ දෙනෙකුට ආස්වාදයක් විය. ඇස් දෙකෙන් කතා කළ ද ඔහු හුඟ වේලාවකට තර්ක කළේ බිම දෙස නෙත් යොමා ගෙන ය.

ඇත්ත වශයෙන්ම නම් ඔහු බලාගෙන සිටියේ බිම දෙස නොවේ. කවර හෝ ආත්මීය විශ්වාසයක් දෙස ය. හිස ඔසවා සිය දෑස් අනෙකා වෙත යොමු කළේ තීරණාත්මක වචන සමග ය. එවිට ඒ වචන හී සැර මෙන් කා ගෙන ගියේ ය. ඔහුගේ චවන සැදී තිබුණේ අකුරුවලින් පමණක් නොවේ. බරම බර හැගීම්වලිනි.

සරත් ගැන මා තුළ පිළිසිඳ ගත් මුල් රූපය එය යි. එය කොතෙක් ආවේගාත්මක වූයේ ද යත් මසකට තරම් පෙර අප අතර වූ අවසාන අදහස් හුවමාරුව දක්වාම එය ජවබල සම්පන්න සාධකයක් වශයෙන් පැවැතුණි.

සරත් මෙන් ඉංගී‍්‍රසියෙන් හරඹ කළ හැකි අය සිරගෙදර අප අතර විරල වූහ. සිටිය ද වචන සමග ආත්මය මුසුකළ හැකි අයකු නොසිටි තරම් ය. ඔහු අසීමිත විශ්වාසයක් සහිත සටන්කරුවෙක් විය. ඔහුට මහා සිහින දැකීමටත් සහ ඒ සිහින යථාවක් බවට පෙරළීම පිණිස පළමු පියවර තැබීමටත් ඇතුළාන්තයෙන් ගලා එන නොසිඳෙන ආවේගයක් තිබුණි.

මැගසින් බන්ධනාගාරයේ මුල් කාලයේ දී සරත් තුන් දෙනකුගේ කණ්ඩායමක අයෙක් විය. සිරිපාල සහ අසෝකා අනෙක් දෙදෙනා විය. සිරා ඒ අතර සිටි නියම නිර්ධනයා විය. අසෝකා ගුවන් හමුදාවේ රගර් කණ්ඩායමේ කැපී පෙනුණු සාමාජිකයකුව සිට තිබුණි. ඔහු මහජන හමුදාව විය. අප විහිළුවට කීවේ සරත් නිර්ධන පන්තියට සේවය කරන බුද්ධිමතා බව ය.

එය විහිළුවක් නොවේ. ඇත්ත ය. සරත් සිය ජීවිත කාලය පුරාම සිය බුද්ධි මහිමය යෙදවූයේ පීඩිත ජනයාගේ ජීවිතය යහපත් කිරීමට ය. විශ්වවිද්‍යාලයේ දී අතැහැර දමන ලද ඉංජිනේරු උපාධිය ඔහු යළිත් ලිව්වේ නැත. ඒ වෙනුවට ඔහු විසින් ලියන ලද්දේ පරිසර සහ මහජන හිතවාදී චිරස්ථායී කෘෂිකර්මයක් වෙනුවෙන් තර්ක කළ තෙරක් නැති ලිපි ය.

සිරගෙදර දී ගත කළ අල්පේච්ඡු ජීවිතය ඔහුගේ ජීවන පැවැත්ම ම විය. සිර ගෙදර සිමෙන්ති පොළවෙහි ඇතිරූ කිළිටු රෙට්ටු මත සිය ගණන් දින ගෙවූ පරිද්දෙන් ම කාර්යාලයේ මේසය මත නින්දට වැටීම සරත් පුරුද්දක් කර ගත්තේ ය.

සරත් බැබලූණේ බාහිර ඔපයෙන් නොවේ. සිය බුද්ධි මහිමයෙන් සහ කැපවීමෙනි. විදේශ ගමන යන විට සෝදා මැද ගමන් බැගයේ අතුරා දෙන කලිසම් කමිස ආපසු එන විටත් එලෙසම තිබෙන්නේ යැයි දවසක් සුමිත‍්‍රා, සරත්ගේ බිරිඳ කීවේ විහිළු කරන ගමන් ය. කොළඹ සම්මන්ත‍්‍රණයකට ආ සරත්ගේ කලිසමේ ඉදිරිපස බොත්තමක් ගැලවී ගියෙන් එතැනට ආයකටුවක් ගසා ගෙන තිබුණේ ගාණක්වත් නැතිව ය. එම සම්මන්ත‍්‍රණයේ දී එකල අප හැමගේ ගෞරවයට පාත‍්‍රව වී සිටි ආචාර්ය කාලෝ ෆොන්සේනා සරත් හඳුන්වා දුන්නේ නව පරපුරේ දාර්ශනිකයකු ලෙස බව මට තවමත් මතක ය. සරත් හුදු දාර්ශනිකයකු පමණක් නොව මාක්ස් පෙන්වා දුන් පරිදි අදහස් ජනයා අතරට ගෙන යෑම මගින් ඒවා බල ගැන්වීමට කි‍්‍රයා කළ දාර්ශනිකයෙක් විය.

දීර්ඝ කාලීන ද`ඩුවම් ලබා සිටි අප බොහෝ දෙනෙකු මැගසින් බන්ධනාගාරයේ මුල් දිනවල දී ඒ සඳහා මනසින් සූදානම්ව සිටියේ ‘අනවශ්‍ය’ ගැටුම් ඇති කර ගන්නේ නැතිව දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කිරීමට ය. අප වේලාවට අවදි වී උදෑසන කෑම පෝලිමේ ගොස් පාන් සමග පොල් සම්බල් පිගානට ගෙන ‘හොඳ ළමයින්‘ සේ ඉක්මණින් වැඩ මුරයට ගියෙමු.

බරපතළ වැඩ වෙනුවෙන් අපට තිබුණේ ටේලර් පාටිය යි. ඒ වෙනුවෙන් මහන මැෂින් ද අපේ වාට්ටු බිමටම ගෙනැවිත් තිබුණේ අනෙක් සිරකරුවන් සමග අප මිශ‍්‍ර වීම වැළැක්වීමට ය. එමෙන්ම වැඩ පාටිය පිණිස තාප්පයකට වහළක් බා මඩුවක් ද සාදා තිබුණි. සෑම දවසක ම සියලූදෙනාම වෙනුවෙන් මසා අවසන් කළ යුතු වැඩ ප‍්‍රමාණයක් නියම කෙරුණි. එනමුත් තිහ හතළිහක් වූ මුළු කණ්ඩායමටම තිබුණෙන් මැෂින් හය හතකි. ඒ දැවැන්ත මහන මැෂින්හි වැඩ කළේ මා ඇතුළු කිහිප දෙනෙක් පමණි. පිරිසකට බොත්තම් කාස මැසීම, පඥාදු කිරීම (එනම් පිටතට නොපෙනෙන සේ සීරුවට වාටි අතින් මැසීම) භාර විය. වැඩ නොකර සිටීමට අවස්ථාව තිබූ නමුත් වැඩ පාටියෙන් බැහැර යාම සහ ඔබ මොබ යාම තහනම් විය.

බලාධිකාරියට විරුද්ධ වීම දේශපාලන සිරකරුවන් වශයෙන් කළ යුතු යැයි සිතූ නියාවෙන් සරත්-සිරා-අසෝක ති‍්‍ර පුද්ගල කණ්ඩායම එම රීති කිසිවක් තැකුවේ නැත. සටන පටන් ගැනුණේ මෙහෙම ය: වැඩ පාටියට පාන් ගෙනැවිත් කෑම තහනම් වූ නිසාම සිරා ජම්පරය අස්සේ පාන් සඟවා ගෙන පැමිණ පාන් කමින් ඇවිදින්නට පටන් ගනී. එවිට මැෂින් පාටියේ මාස්ටර් පාටියට එන ලෙස ආයාචනා කරයි. සිරා ගණන් ගන්නේ නැත. දෙවැනිව නියාමකවරයෙක් පැමිණ සිරා අල්ලා ගනී. එවිට සරත් සහ අසෝක වාදයට එළඹෙති. සරත් වාද කරන්නේ නැත. දීර්ඝ දේශනයක් පවත්වයි. තවත් නියාමකවරු පැමිණෙති. ඔවුහු සිරා රැුගෙන යාමට සැරසෙති. එවිට අපි බෙහෝ දෙනෙක් ද වාදයට පැටලී අවුල විසඳා ගනිමු. නිදාසිටිනවුන් ඇහැරවීම එදා සරත්ගේ අරමුණක් වූවා වැන්න.

සිය ස්වයං චරිතාපදානයෙහි ද සරත් ලියන්නේ ගැටුම නරක දෙයක් නොවේ. යහපත් ලෙස හසුරුවා ගත් කල එය සාධනීය අවසානයකට මඟ පෙන්වයි කියා ය. ද`ඩුවම් ලබා සිර ගෙදර ගත කළ මුල් දවස්හි සරත් ගැටුම් සමනය කිරීමට සටන්කාමීත්වය ද ආගමික බැතිමත්භාවය ද එකසේ යොදා ගත්තේ ය.

ජී වාට්ටුවෙහි අනෙක් අය නිදි සුව විඳින අතරෙහි රාති‍්‍රයක් පසුපස රාත‍්‍රියක් පාසා සරත්, මඳ ආලෝකයෙන් මැක්සිම් ගෝර්කිගේ කෙටිකතා සිංහලට පරිවර්තනය කරයි. අනතුරුව ඒවා පිටපත් කරමින් වැඩි දෙනෙකුට කියැවීමට බෙදා හැරෙයි. පරිවර්තනයක් කර දෙන්නැයි හෝ ව්‍යාපෘතියක් ලියා දෙන්නැයි කැරෙන සහෝදර ඉල්ලීම් බැරි නොකියා බාර ගත් සරත් ? මැදියමෙහි පවා එක්කෝ කොළඹ මොන්ලාර් කාර්යාලයෙහි හෝ නැත්නම් කුරුණෑගල නිවසෙහි මේසයට බර වී ඒ කාරියෙහි නිරත වීම, පසු කාලයෙහි නිරන්තර දසුනක් විය.

තමා පාසලෙහි කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා බවට පත් වූ අන්දම සරත් ස්වයං චරිතාපදානයෙහි සටහන් කරන්නේ තමාට එම ගෞරවය ලැබුණේ පසු නොබැස දිගටම කී‍්‍රඩා පුහුණුවට ගිය නිසා බවයි. තමා පුහුණුවට නොයා අතහැරිය බවත් පුහුණු භාර ගුරුවරයා ඒ ඇයි දැයි විමසූ බවත් ඊට හේතුව මාසයක් ම පුහුණුවට ආව ද එක් දිනක් හෝ පන්දුවට පහර දීමට නොලැබුණ නිසායැයි කී බවත් සරත් ලියයි. මාසයක් නොව අවුරුද්දක්ම පන්දුවට පහර දීමට නොලැබුණ ද පුහුණුවට ආ යුතු බවට එවිට ලද ඔවදන සරත් සිහි කරන්නේ බැතියෙනි. ඔහු අපූරු දකුණත් දඟ පන්දු යවන්නකු බව සිරගෙදර ගැසූ ඕවර දහයේ තරගවලදී අප දැන ගතිමු. ඔහු හොඳට පන්දුවට පහර ද දුන්නේ ය.

සිර ගෙදරදීත් අපි කි‍්‍රකට් ගැසුවෙමු. ගී ගැයුවෙමු. වාද කළෙමු. ඇර ගත්තෙමු. සරත් මිහිරි හඩින් ගී ගැයුවේ ය.

අතනෑර සටන් කිරීම ජයග‍්‍රහණයේ පදනමක් බව චීන විප්ලවයේ නායක මා ඕ සේතුං ලීවේ ය. සරත් කි‍්‍රකට් පුහුණුවේ දී පමණක් නොව සිය දේශපාලනයේ දී එමඟම ගත්තේ ය. සරත් සමග රටපුරා ගිය රථාවාර්ය වූ පේමේ දෙකක් දා ගත් විට මෙසේ කියන්නට පුරුදුව සිටියේ ය. ‘බය නැතිව දා ගන්න කියන්න ඕන ගොවි රැුස්වීමක්. සරත් අයියට එන්න බැරි වුණොත් මට පුළුවන් ඒ කතාවම කරන්න, සිය පාරක්වත් අහළ තියෙනවනෙ.’ සරත් අරගලය අත හැරියේ නැත.

මිනිසකු වීමට කොතරම් මාවත්වල ගමන් කරන්නදයැ’යි බොබ් ඩිලන් ගැයූ පරිදි සරත් සිය ජීවිතයෙහි බොහෝ මංමාවත් ද අතුරු මාවත් ද හරහා ගමන් කළේ ය. එමගින් අර්ථවත් බරසාර මිනිසකු බවට පැමිණිණි.

සරත්, සතුටට හේතුවකි. මන්ද යත් එවැනි මිනිසකු ජීවිතය අර්ථාන්විත බවට පත් කරන නිසා ය. එවැනි මිනිසකු විසින් මානව වර්ගයාගේ අනාගතය පිළිබද නව දැක්මක් සපයන නිසා ය. කෙටියෙන්, අප සතුටු විය යුත්තේ සරත් වනාහි යහපත් සමාජයක් අරමුණෙන් පවත්නා සදාතනික අරගලයේ අපූරු වඩදිය රළක් වන නිසා ය. එය බැස යන්නේ නිසැකවම ආපසු ඒමට ය.

ජයවේවා සරත්. ඔබට සුබ ගමන්!


සුනන්ද දේශප්‍රිය

(පසුගිය හත්වැනිදා සැඳෑවෙහි අප අතරින් වියෝ වූ සරත් ප‍්‍රනාන්දු සහෝදරයා වෙනුවෙනි.)



2014-09-15
Advertisement

Find us on Facebook