English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශක්තිමක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මං සලකුණු 19 වෙනි සංශෝධනයෙන් ගොඩනැගී තිබෙනවා. - නීතිඥ ප්‍රබෝධ රත්නායක


19 වෙනි සංශෝධනය හුදකලා හෝ අහඹු සිදුවීමක් නෙමෙයි. 2015 වසර වනතුරු ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ නායකයින් රාජ්‍ය පාලනය කරපු ආකාරය සම්බන්ධයෙන් සිවිල් සමාජයේ වගේම දේශපාලන සමාජයේත්, ඇතිවන ප්‍රශ්නයක්, ප්‍රතිවිරෝධයක් නිසා තමයි 19 වෙනි සංශෝධනය ඇතිවෙන්නේ. රාජ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රීයකරණය වීම සම්බන්ධයෙන් අති දැවැන්ත ගැටළුවක් තිබුණා. ගැටළුවට උත්තරයක් වශයෙන් තමයි 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට එන්නේ. රාජ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ක්‍රියාවලිය 19 වෙනි සංශෝධනය මගින් සිද්ධවෙන්නේ කොහොමද පැහැදිලි කිරීමේදී කරුණු 10 ක් මගින් රාජ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රීකරණය වූ බව පැහැදිලි කරන්න පුළුවන්.

19 වෙනි සංශෝධනය නිසා සිදුවූ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් 10 

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යන්න ස්ථාපිත වුනා 19 වෙනි සංශෝධනය නිසා. රටේ වෙනම ඡන්දයකින් බලයට පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පාලනය කිරීම කියන තත්ත්වය තමයි 2015 වනතුරු අපිට අත්දකින්න සිදුවුනේ. ඒත් 19 වෙනි සංශෝධනය නිසා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි තැනැත්තා වශයෙන් අගමැතිවරයාට හැකි වුනා පාර්ලිමේන්තුවේ පාලනය, බලය ලබාගන්න. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව පාලනය කිරීමට තියෙන හැකියාව, 19 වෙනි සංශෝධනය නිසා නැතිවුනා. මෙය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන ප්‍රධාන පියවරක්.  

කොමිෂන් සභා තහවුරුවීම

19 වෙනි සංශෝධනය නිසා ස්වාධීන කොමිෂන් සභාව නැවතත් ස්ථාවර වුනා. තහවුරු වුනා. ඒ වගේ බලය වැඩි වුනා. මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව වැනි කොමිෂන් සභාවන් රැසක බලය ස්ථාවර වුනා. ස්වාධීන පොලිස් සේවයක් ඇති කිරීමට 19 වෙනි සංශෝධනය ප්‍රබල දායකත්වයක් දුන්නා. මැතිවරණ සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ රටේ ඇති කරන්න විශාල පිටු බලයක් 19 වෙනි සංශෝධනය නිසා ලැබුණා. 19 වෙනි සංශෝධනයෙන් පසුව තමයි පලාත් පාලන මැතිවරණය රටේ පැවතුණේ. මේ පලාත් පාලන මැතිවරණය ගැන සලකා බැලීමේදී මෙතෙක් කල් පැවති සාමකාමීම, රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා වුනු මැතිවරණය කියලා කියන්න පුළුවන්. මේ වගේ මැතිවරණයක් පවත්වා ගන්න අවශ්‍ය බලතල මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණේ 19 වෙනි සංශෝධනය නිසා. විශේෂයෙන් 19 සංශෝධනයෙන් මැතිවරණ කොමිෂමට බලය ලැබුණා, මෙතෙක් කල් නොතිබුණු ආකාරයට මැතිවරණ සම්බන්ධයෙන් උපමාණ ඉදිරිපත් කරලා, උපමාණ අනුව මැතිවරණ පවත්වනවද කියන එකට, 19 වෙනි සංශෝධනය උදව් කලා. මෙහි ප්‍රථිඵල අපිට අත්දකින්න පුළුවන් වුනා පසුගිය මැතිවරණයේදී.

ජනාධිපති ධූර කාලය සීමාවීම

ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙනුත්, වඩාත් ප්‍රගතිශිලී හොඳ දෙයක් සිදුවුනා. ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 06 ක් තිබුණු එක එය අවුරුදු 05 ක් දක්වා අඩුවුනා. අසීමාන්තික ලෙස ජනාධිපතිවරයෙක්ට ඉදිරිපත්වීමට තිබුණු හැකියාව, ධූර කාල 02ක් දක්වා සීමා කරන්න 19 වෙනි සංශෝධනය නිසා පුළුවන් වුනා. එයත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉදිරි පියවරක්.

අධිකරණයේ ස්වාධීනත්වය සහ වෙනත් පත්වීම්

19 වෙනි සංශෝධනය නිසා අධිකරණයේ ස්වාධීනතාවය තහවුරු වුනා, අධිකරණයේ ස්වාධීනතාවය තහවුරුවුනා, පහුගිය කාලය තුළ. මෙතෙක් තිබූ අසීමාන්තික කැබිනට් මණ්ඩලයක් වෙනුවට සීමිත කැබිනට් මණ්ඩලයක් පත්වුනා. ඉහළ තනතුරු සඳහා පත්කිරීම් නිර්දේශපාලනික පත්කිරීම් ලෙස පත්කිරීමට හැකියාවක් ලැබුණා. පාර්ලිමේන්තු මහා ලේකම්වරයා, විගණකාධිකාරිවරයා, වැනි තනතුරු වලට පුද්ගලයන් පත් කිරීම, දේශපාලනයෙන් තොරව ස්වාධීනව කරන්න ලැබුණා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට තිබුණු අවස්ථාව අහෝසි වුනා.

එමෙන්ම තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් විදියට තහවුරු වුනා. 19 වෙනි සංශෝධනය වෙනම ගන්නවට වඩා  මේ කරුණු 10 සමග බැලුවම පේනවා එහි තිබෙන බලපෑම.

ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් සඳහා එල්ලවන චෝදනාවන් හා පිළිතුරු

මෙතරම් සුබවාදී කරුණු රැසක් තිබියදී 19 වෙනි සංශෝධනය ගෙන ආ අයම ඇයි පවසන්නේ දැන් එය නුසුදුසුයි කියලා. ඇයි විවේචනය කරන්නේ? චෝදනා කරන්නේ ?

මේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කරද්දි අවබෝධ වන කරුණ වන්නේ සමහර චෝදනා වලට කිසිඳු පදනමක් නෑ. 19 වෙනි සංශෝධනය නැමති සුජාත දරුවා අපචාරයට ලක්කිරීම කිව්වම, ඒක නිකන් වාක්‍යයක් විතරයි. මෙම විවේචන වලින් අවමානයට ලක් කරන්නේ එක්තරා විදියකට 19 වෙනි සංශෝධනය සහ ඒ නිසා ඇතිවුනු, ශක්තිමත් වුනු ආයතන. එම ආයතනයන්ට චෝදනා එල්ල කරමින්, එය ආයතන දුර්වල කිරීමේ ප්‍රවනතාවයක් තිබේ. මේ චෝදනාවලට පදනමක් නැත. සමහර චෝදනාවන්ට පිළිතුරු ලැබී තිබේ. ජනාධිපතිවරයා පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවෙන් විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් යවන ලද විනිසුරුවරුන් 14 දෙනෙක් ප්‍රතික්ෂේප වී තිබීම චෝදනාවක් ලෙස ඉදිරිපත් කලා. ඒ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් කතානායකවරයා විසින් දී තිබෙනවා. ඔහු කියා තිබෙන්නේ ලැබෙන සියලුම පත් කිරීම් සිදු කරනු ලබන්නේ, ලැබෙන නම් සියල්ලම පත් කිරීම් වශයෙන් සිදු කිරීමට හෝ අධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නේ ජේෂ්ඨත්වය සලකා බලමින් පමණක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කිරීමේ තේරුම කුමක්ද යන්නයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සිදු කරන්නේ ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොවෙයි, වෙනත් සාධක ගණනාවක් සලකා බලා තමයි මේ පත් කිරීම් සිදුකරන්නේ. එය තමයි අපේ රටේ නොතිබුණු සම්ප්‍රදාය. අලුත් සම්ප්‍රදායක් තමයි මේ ඇතිවෙමින් තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ නියෝජනය වෙනවා. සිවිල් සමාජය නියෝජන කරන නියෝජිතයෝ එතන ඉන්නවා. කිසිම කෙනෙක්ට චෝදනා කරන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දේශපාලන හේතූන් උඩ පත්වීම් කරනවා කියලා.

චෝදනා එල්ල කරන්නේ කව්ද?

මේ වැරදි චෝදනා එන්නේ ඇයි? කියන දේ තමයි සොයා බැලිය යුතු වන්නේ. මේ චෝදනා එන පසුබිම කුමක්ද? මේ චෝදනාවල දේශපාලන පසුබිම තේරුම්ගතහොත් අපිට පේනවා මේ චෝදනා එන්නේ පසුගිය කාලයේ බලය අයුතු ලෙස පාවිච්චි කරපු, 19 වෙනි සංශෝධනය මගින්  කලින් සඳහන් කළ ප්‍රජාතන්ත්‍රීය වෙනස එහෙමත් නැත්නම් ඇති කරපු ව්‍යූහාත්මක වෙනස මගින් රටේ ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදී දියුණුව දරාගැනීමට නොහැකි ඒ නිසාම තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියක් ආසාර්ථක වුනු පිරිසක් තමයි, 19 වෙනි සංශෝධනය සහ ඒ තුළින් ඇති කරපු ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් වලට චෝදනා කරන්නේ. මෙන්න මේ දේශපාලන පසුබිම ගැන තමයි අපි අවධානයෙන් ඉන්න ඕන.

ඒකාධිපතිත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස

ලංකාවේ දේශපාලනයේ කාලයක් තිස්සේ එන මිථ්‍යා විශ්වාසයක් තියෙනවා, ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගොඩනගන්න බෑ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය නිසා දුර්වල නායකයෝ බිහිවෙනවා කියලා. ඒක නිසා මේ කණ්ඩායම් භාවිතා කරන ක්‍රමවේදය තමයි, රටේ ප්‍රබල නායකයෝ හදන්න ඕනා කියන එක. ඒ සඳහා භාවිතා කරන උපක්‍රම තමයි ජාතිවාදය, ජනප්‍රියවාදය සහ ඒකාධිපතිත්වය. ඊට එරෙහිව 19 වෙනි සංශෝධනයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් භාවිතා කරමින්, ස්ථාවර, ප්‍රබල දේශපාලන නායකත්වයක් හදන්නේ කොහොමද කියන එකට නියම පදනමක් ලැබී තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 26 වෙනි දින සිදුවුනු දේශපාලන කුමණ්ත්‍රණය දෙස බැලීමේදී මේ කුමණ්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය කරන්නට පුළුවන් වුනේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නොතිබුණා නම්, අපට මේ කුමණ්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ නිසාම තමයි කුමණ්ත්‍රණයට දායක වුනු පිරිස 19 වෙනි සංශෝධනයට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ. අපි දැක්ක මේ කුමණ්ත්‍රණය වෙලාවෙදි අධිකරණය කොතරම් ස්වාධීනව ක්‍රියාත්මක වුනාද? මැතිවරණ කොමිෂමේ කොමසාරිස්වරයෙක් කුමණ්ත්‍රණයට එරෙහිව අධිකරණයට ගියා. පොලිසිය කොහොමද ක්‍රියාත්මක වුනේ. සියළු ආයතන බලගැන්විලා තියෙන්නේ 19 සංශෝධනය හරහා. ඒ නිසා අපට පැහැදිලියි 19 වෙනි සංශෝධනය නිසා ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට හා ප්‍රජාතන්ත්‍රවාදයට තහවුරු වෙන්න පුළුවන්. කලින් ගෙනෙන ලද චෝදනාවට ප්‍රතිපක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය නිසා දුර්වල නායකයෝ තමයි හැදෙන්නේ කියන දේට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් නායකයෙක් හදන්න 19 ව්‍යවස්ථා සංශෝධනය අපිට භාවිතා කරන්න පුළුවන්.

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම

අපේ රටේ ප්‍රධාන වශයෙන් සිටින්නේ කොටස් දෙකක්. පළමු කොටස තමයි ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පිරිස. අනෙක් කොටස තමයි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි, එය පිටු දකින, අයිතිවාසිකම් වලට එරෙහි කණ්ඩායම. මේ කොටස් දෙක අතරින්, 19 වෙනි සංශෝධනය තුළින් පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කිරීම පැවරිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිසට. රටේ ඉදිරිය තියෙන්නේ, අපේ ප්‍රබල සටන තියෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දුරට ආරක්ෂා කරගන්නවාද, නැත්නම් නැවතත් පසුගාමී, ගෝත්‍රවාදී වැඩවසම් සමාජ ලක්ෂණ වලට අපි යනවද කියලා. 19 වෙනි සංශෝධනය ව්‍යූහාත්මකව මේ වෙනසට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කරලා දීලා තියෙනවා. ඒ නිසාම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමක් වෙමින් පවතිනවා. ඒ ශක්තිමත්වීම උඩ, ප්‍රජාතන්ත්‍රවාදීව රට වෙනස් කරන්න පුළුවන් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තියෙනවා.





2019-03-13
Advertisement

Find us on Facebook