English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වහල් සමාජයට, රාජ අණදීම් සහ ක්‍රියාවන්ට එරෙහිව ආ ව්‍යවස්ථා සභාව - ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ජනක එදිරිසිංහ


19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිගෙන එන ආ ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතිනවා. විද්වතුන්, දේශපාලනඥයින් විසින් ඉදිරිපත් කරනවා. මේ චෝදනා, මත දැක්වීම් පටන් ගන්නේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනි දිනින් පසුවයි. ජනාධිපතිවරයා තමන්ගේ බලතලයැයි සිතාගෙන, ඇති කරපු නව දේශපාලන ගැටුම, අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවගේ මූලික නීතියට හා නිදහසට එකඟ නැති බව ප්‍රකාශ කරමින්, පැහැදිලි නිරාකරණ නඩු තීන්දුවක් දුන්නට පසුවයි. ඇයි ඒක එහෙම වෙන්නේ කියන එක රටට ආදරය කරන අවංක මිනිසුන් හැටියට, තේරුම්ගත යුතු කාරණයක්.

2015 ට පෙර ජනතාව

ජනතාව දන්නවා ජනතාව වින්ද දේ. ඕනම තැනක මරා දාන්න. රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියන්න. කටුනායක වැටුප ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මරා දාන්න. මේ දේවල් සාධාරණ දේවල් හැටියට එදා පෙන්නුවා. ඒ පෙන්වන්න හේතුව ඒකයි. මේ බලය තනි බලවන්තයෙක් අතේ තිබ්බහම, ඔහු රජෙක් වගේ වැඩ කරන්නේ. නීතිය තිබුණේ ඔහුට උඩින් නෙමෙයි ඔහුගේ පාද පාමුල. මීට හොඳ උදාහරණය වන්නේ 2015 පෙර මේ රටේ නඩු තීන්දු ලිවීමේදී සහ අග්‍රවිනිශ්චකාර තනතුරේ සිටම විනිශ්චකාරවරුන්ට නොයෙකුත් බලපෑම් ඇති වීමයි.  

ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන්න හේතු ව? කොයි කාලෙද?

2015 දී ඉතාම ඒකාධිපති ලක්ෂණ සහිත, ජනාධිපති තනතුර පාවිච්චි කිරීමක, අත්දැකීම් ලබපු මේ රටේ ජනතාව සහ සිවිල් සංවිධාන එක පෙළට හිටගන්නවා. බයෙන්, සන්ත්‍රාසයෙන් ජීවත්වෙන්න බෑ කියලා. අද එලියට බැහැලා කතා කළොත් හෙට ජීවත් වෙයිද? නැද්ද කියන බයෙන්, කුකුසෙන්, ජීවත්වෙන්න බැහැ කියලා. ජනතාවට වුවමනා වෙන්නේ නිදහසේ කතා කරන්න පුළුවන්, නිදහසේ හිතන්න පුළුවන්, ක්‍රමානුකූලව නීතියේ හැටියට පාලනය වෙන රටක්.

විධායක බලය අහෝසි කිරීමට පැමිණි නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්

2015 දී බලය නැති නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ඇළුම් කරන පක්ෂ එකතුවෙනවා. සෝභිත වහන්සේගේ නායකත්වය යටතේ, ලංකා ඉතිහාසයේ වුනා වගේම, සංඝ පීතෘවරයෙක්ගේ නායකත්වයෙන් සිවිල් සංවිධාන සහ සිවිල් ජනසමාජය, පෙළ හැහෙනවා දේශපාලන පක්ෂත් එක්ක. විධායක බලය අහිමි කරන මැතිවරණ පොරොන්දුවක් සමඟ තමයි 2015 ජනාධිපතිවරණයත්, 2015 මහමැතිවරණයත්, දෙකම පෙළගැසෙන්නේ. මේ තත්ත්වය යටතේ තමයි ජනතාව තීරණය කළේ මේ පාලනය වෙනස් කරන්න ඕනා කියලා. පොදු අපේක්ෂයෙක් හැටියට, නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රිපාල සිරිසේන එන්නේ ජනාධිපති තනතුරේ භයංකර කමින් ඉවත් කරමින්, ජනාධිපති තනතුර අහෝසි කරන්න.

විධායකයේ අධික බලතල කොහොම අයින් වෙන්නේ ?

මෑත ඉතිහාසයේ සෑම මැතිවරණයකදීම බලපාපු දෙයක් තමයි විධායක ජනාධිපති තනතුරේ ඇති අධික බලය. ඒ ඒකාධිපති බලතල අයින් කරන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට යටතේ. ජනාධිපති බලයේ කොටසක් ජනාධිපතිවරයාගෙන් අයින් කරලා, ඉතාම නැණවත්, ප්‍රභූ නිලධාරී සහ සියළු දේශපාලන පක්ෂවල එකඟතාවය ඇති මණ්ඩලයකට පත් කරන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තීරණය කරනු ලබනවා. එවිට තනි පුද්ගලයෙක් වන ජනාධිපතිවරයට හිතුවක්කාර තීරණයක් ගන්න බෑ, අධිකරණයට බලපෑම් කරන්න ඇති හැකියාව අහිමි වෙනවා. නමුත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවාට පසුව, ව්‍යවස්ථාදායක සභාව පිහිටුවනවා. වර්තමානයේ ඕනම පත්වීමක පත්වීම් බලධරයා වෙන්නේ ව්‍යවස්ථාදායක සභාව. විශේෂයෙන් රජයේ ලැයිස්තුගත පත්වීම් වල. දැන් ජනාධිපතිවරයා තමයි පත්වීම් අත්සන් කරන්නේ. හැබැයි ව්‍යවස්ථාදායක සභාව අනුමත කරන්න ඕනා. දැන් ව්‍යවස්ථාදායක සභාවට අදාල නම් දෙන්නේ ජනාධිපතිවරයා. ඒ දෙන නම් ව්‍යවස්ථාදායක සභාවෙන්, ඔවුන්ගේ පළපුරුද්ද, ඔවුන් පිළිබඳ ඉතිහාස කතා, සියල්ල විමසලා බලලා, පොදුවේ හැම කෙනෙකුටම එකඟ විය හැකි, පිළිගත හැකි, අව්‍යාජ සේවයක් කරයි කියලා කියලා හිතෙන තැනැත්තන්ව තමයි පත් කරන්නේ.

ව්‍යවස්ථා සභාව කියන්නේ මණ්ඩලයක්. විවිධත්වය ඇති පුද්ගල කණ්ඩායමක්. තනි පුද්ගලයෙක් අතේ තිබුණා ඊට කලින්. ඒ කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කලින්. ව්‍යවස්ථාදායක සභාවට ඇගිලි ගහන්න ජනාධිපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, පාර්ලිමේන්තුවටවත්, ඇමතිවරයාටවත් පුළුවන් කමක් නෑ. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනව, නිවැරදිව ක්‍රියාත්මක වෙනවා.

ව්‍යවස්ථාදායක සභාව සිදුකරන පත්වීම් නිසා ඇති වන ස්වාධීනත්වය

මේ විදියට ව්‍යවස්ථාදායක සභාවක් මගින් පත්වීම් කළ විට, තමන්ගේ පත්වීම්වලට අත්සන් කළාට ජනාධිපතිවරයා, ඒ කිසි නිලධාරියෙක් පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිවරයා තමයි පත්වීම් ලිපි අත්සන් කරන්නේ නමුත් නිලධාරීන්ට පත්වීම් දෙන්න තීරණය කරන්නේ කව්ද ව්‍යවස්ථාදායක සභාව. එහෙම වුනාම, ජනාධිපතිවරයාටවත්, වෙනත් දේශපාලන බලවතෙක්ටවත් තමන්ට ඕනෑ විදියට මේ අධිකරණ නිලධාරීන්ව හා වෙනත් නිලධාරීන්ව තමන්ට ඕන දේ කරන්න භාවිතා කරන්න බෑ. ඒ නිසා තමයි ව්‍යවස්ථාදායක සභාවට මේ විදියට චෝදනා එල්ල වෙන්නේ. හොඳම උදාහරණයක් තමයි ජනාධිපතිවරයාම ජ්‍යෙෂ්ඨත්වය සලකා බලලා ඉදිරිපත් කළ නම් කිහිපයක්, ඒකෙන් අගවිනිසුරුවරයාව තෝරාගත්තා කියලා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කලා. ඒ තෝරාගැනීම කරලා කාලයක් ගතවෙන්න කලින් ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා, අලුත් අගමැතිවරයෙක් පත් කරලා, තමන්ට ඕන විදියට, කැබිනට් එකත් පත් කලා. මේ ගැන අධිකරණයට ගියාම, ඒ නඩුව ඇහෙන්නේ ඒ අගවිනිසුරු ඇතුළු විනිසුරු මණ්ඩලය ඉදිරියේ. නමුත් හරි වැරැද්ද පෙන්නුවා මිසක කිසිකෙනෙකුට නැමිලා පක්ෂග්‍රහී වුනේ නෑ. මේ අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන්න නම් අධිකරණයේ විනිශ්චකාරවරුන් සහ නිලධාරීන් ස්වාධින වෙන්න ඕනා. විනිශ්චකාරවරු ස්වාධින වෙන්න නම් ජනාධිපති, අගමැති ඇතුළු කිසි කෙනෙකුට නොබැඳුනු ලෙස ඔවුන් පත්වෙන්න ඕනා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාවක් ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදීමෙන් කිසි කෙනෙකුට බැඳෙන්නේ නැති අධිකරණ පද්ධතියක් , විනිශ්චකාරවරුන්ගේ පත්වීමක්, කිසිකෙනෙකුට බැඳෙන්නේ නැති මැතිවරණ කොමිෂන් සභාවක්, කාටවත් බය නැති, කාටවත් යටත් වෙන්නේ නැති, මොන දේශපාලන නායකයා කිව්වත් නීතියෙන් පිට වැඩ නොකරන, අවංක ඉහළ නිලධාරීන් බිහිවෙනවා. මෙය සිදුවෙන්නේ ව්‍යවස්ථාදායක සභාව යටතේ.

ඇයි ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කරන්නේ ?

දැන් මේ ව්‍යවස්ථාදායක සභාව නරකයි කියලා කියන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම විතරයි. ඇයි අනෙක් පක්ෂ ඒක විවේචනය කරලා නරකයි කියන්නේ නැත්තේ. මොකද ව්‍යවස්ථාදායක සභාව හැදිලා තියෙන්නේ, සියළු පක්ෂවලින් නියම කරපු, තොරලා දීපු, සාමාජිකයින්ගෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට නොදුන්නු බලයක් අතට අරගෙන, ජනාධිපතිවරයා විසුරෙව්වා. නමුත් ව්‍යවස්ථාදායක සභාවෙ යටතේ නිදහස් පත්වීමක් ලබපු ශ්‍රේෂ්ඨාධිකරණය නෑ ඒක වැරදියි කියලා බය නැතුව ප්‍රකාශ කලා. ඒක නෙමෙයිද මිනිසුන්ට ඕනේ. මේක නෙමෙයිද රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙනවා කියන්නේ. මේක ඉල්ලලා නේද හඩ නඟන්නේ. ඇයි ඒක එපා කියලා දැන් කියන්නේ. ඒ කියන්නේ මේ 19 වෙනි සංශෝධනය යටතේ, ගෙනාපු ව්‍යවස්ථාදායක සභාව එපා කියනවා නම්, ඔය ඉල්ලන්නේ වෙන මොකවත් නෙමෙයි, ඉස්සර වගේ ජනාධිපතිවරයාට ඕන ඕන විදියට ජනාධිපති මන්දීරයේ හෝ ජනාධිපතිගේ මේසයක් උඩ තියාගෙන, නඩු තීන්දු ලියන නඩුකාරයෝ බිහිකරමු අපි කියලයි මේ කියන්නේ. දේශපාලන බලවතාට ඕන විදියට, නීතිය ඕන ඕන විදියට වෙනස් කරලා වැඩ කරන, පරණ ක්‍රමය හදමු කියලා තමයි ඒ කියන්නේ.

ව්‍යවස්ථා සභාව ගැන තව දුරටත්

දැන් මේක විවේචනය කරනවා තව විදියකට. මේක දේශපාලන අධිකාරියේ පත්වීම් වැඩියි. නිලධාරීන් තමයි වැඩියෙන් අවශ්‍ය කියලා. නිලධාරීන් පත්කිරීම් කියන කාරණය ගේන්න හේතුවක් තියෙනවා. නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළහොත්, ඒ නිලධාරීන්ව පත් කරන්නේ ජනාධිපතිවරයා. එවිට ඔවුන් යටත්වෙනවා, බය පක්ෂපාතීත්වයක් දක්නවා ජනාධිපතිවරයාට. එය හොඳටම පේන අවස්ථාවක් තමයි නඩු පැවරීම් වලදි නීතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුවට සිද්ධ වෙලා තියෙනවා හරි වැරදි කොතන වුනත්, දේශපාලන බලාධිකාරිය හරියි කියලා කියන්න. අධිකරණය ඉදිරියේ ඒ සඳහා සටන් වදිනවා. එය නොවෙයි සිදුවිය යුත්තේ. හරි දේට හරියි කියන, මහජන ආරක්ෂාව ප්‍රමුඛත්වයේ තබන, රාජ්‍ය පරිපාලනයක්, අධිකරණ පරිපාලනයක්, හැදෙන්න ඕනා. අද එය සිදුවී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසා. මිනිස්සු නොදන්න කමින් හෝ මේ රටේ මේ සභාව විසුරුවන්න හෝ මේකේ බලතල අඩුකරන්න හැදුවොත්, ඒකෙන් තේරෙන්නේ එතනින් අඩුවෙන බලතල ජනාධිපතිවරයාගේ අතට යනවා. ඒ කියන්නේ අපි ආපහු රාජඋෂ්ණය තියෙන, රාජ බලතල තියෙන හිතුවක්කාර ජනාධිපතිවරයෙක් බිහි කරනවා. ඒක මේ රටේ මිනිස්සුන්ට කවදා හරි ලතවෙන්න සිද්ධවෙන ක්‍රියාදාමයක්. 

ජනතාවගේ වගකීම

රටේ ජනතාව කල්පනා කරන්න ඕනා මොන පක්ෂයක වුනත් කමක් නෑ. ඔබත් ඔබේ දරුවා අනාගතයේ ජීවත් වෙන්න ඕනේ දේශපාලන බලවන්තයින්ට බයෙන්, යටත්ව ද? නැත්නම් නිදහස් පුරවැසියෙක් විදියට ද?. එහෙම වෙන්න නම් නීතිය නීතිය විදියට ක්‍රියාත්මක වෙන්න ඕනා. ඒ විදියට වෙන්න නම්, මේ අධිකරණය, මැතිවරණ අයිතිය, දේශපාන නායකයින්ට අවශ්‍ය විදියට හසුරුවන්න බැරි විදියට හැමදාම, ස්ථාවර ක්‍රමයකට, ඒක ක්‍රමයකට තියෙන්න ඕනා. ඒක තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ.

තමන්ට පක්ෂයක් තියෙනවා වෙන්න පුළුවන්. තමාගේ තාත්තා, අත්තා, මුත්තා, ඒ පක්ෂයෙක් සමාජිකයෝ වෙන්න පුළුවන්. නමුත් ජනතාව ක්‍රියා කළ යුත්තේ ඔවුන් එතන සිටි නිසා නෙමෙයි. ඔබ සිටිය යුත්තේ ඔබේ ලෙයින් ජාතක වෙන දරුවෝ වහල්ලුන්වගේ, යටත් වැසියෝ වගේ, බයෙන්, හැමදාම කුලීකාරයෝ වගේ ඉන්න ඕන රටක් ද ඔබ ඉතුරු කරලා යන්නේ. මේ විදියට නීතියේ ආධිපත්‍යය තිබිය යුතු නැද්ද?





2019-03-12
Advertisement

Find us on Facebook