English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’
ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ගැන හිතාගෙන ඊට අදාළ කළමණා සකස් කරමින් සහ උපායික පියවර ගනිමින් සිටී. අගමැති රනිල් වික‍්‍රමසිංහ ගිය මාසයේ උතුරේ කළ සංචාරය එවැනි එක් උපායික පියවරකි. මන්ද යත්, දෙමළ ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ගණන් බැලීම් තුළ ඇතුළත් ප‍්‍රධාන සාධකයක් විය යුතුව ඇති බැවිනි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, 2015 තමන්ගේ පරාජය කෙරෙහි මුස්ලිම් ඡන්ද බලපෑ ආකාරය ගැන හොඳින් දැනුවත්ව සිටින නිසා දැන් ඔහු මුස්ලිම් කණ්ඩායම් මුණගැසෙමින් සිටී. මේ අයුරින් අප ප‍්‍රවේශ වෙමින් සිටින්නේ මැතිවරණ සෘතුවකට ය. පැහැදිළිවම, මෙවර අයවැය තුළත් ඒ කාරණය නිරූපණය කෙරෙනු ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට වෙනම ප‍්‍රශ්න වගයකට මුහුණදීමට සිදුව තිබේ. තමන් ජනාධිපති වන්නේ එක වරක් පමණක් බවට කලකට ඉහත ඔහු කියා ඇතත්, දැන් දෙවැනි වාරයක් සඳහාත් තරග බිමට බැසීමට ඔහු සූදානමින් සිටී. 2018 ඔක්තෝබර් මාසයේදී ඔහු මහින්ද රාජපක්ෂව අගමැති තනතුරේ පිහිටෙව්වේ මේ අරමුණ පෙරදැරිව ය. එහෙත් ඔහුගේ ඒ අරමුණ සාර්ථක නොවුණි. මාස දෙකක් ඇතුළත, රට කලින් තිබුණු තත්වයට යළි පත්විය. ඒ ඔක්තෝබරයේ ඔහු එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කෙළේ තමාගේ අනාගත ජනාධිපති අපේක්ෂාවට එම පක්ෂයෙන් සහායක් නොලැබෙන බව දැන ගත් පසුව ය.

මේ උභතෝකෝටිකය තුළ සිරිසේනට වෙනත් පක්ෂවල ඡන්ද කඳවුරක් වෙත හැරීමට බල කෙරුණි. එහිදී පැහැදිළිවම ඔහු ඉදිරියේ ඇති එකම තෝරා ගැනීම වුණේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ය. ඒ අනුව, මාධ්‍ය වාර්තා ද පෙන්වා දෙන පරිදි, සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිත දිනා ගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටී. ඒ කාරණය පෙරදැරිව ඔහු සමග සාකචඡා පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ද වගබලා ගනිමින් සිටී.

සිරිසේන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පෙරමුණේ තබා ගන්නා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ-ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයකට ඉඩ තිබේ ද? එසේ වීමට ඇති ඉඩකඩ හොඳටම අඩු ය. එසේ වෙතත්, ඒ කාරණය ගැන සිරිසේන සමග සාකචඡාකිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුව ඇත්තේ ඇයි? එසේ වන්නේ, ජනාධිපති සිරිසේන සතුව ඇති ‘කුරුවල් කිරීමේ’ බලය නිසා ය.

මේ කාරණය සම්බන්ධයෙන් තරග බිමට බැස සිටින සියළු පාර්ශ්ව, 2018 පළාත් පාලන මැතිවරණයේ ලද ඡන්ද ප‍්‍රතිශතයන් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන බව පෙනෙන්ට තිබේ. එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 44.69 ක් ලබා ගත් අතර, සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සියයට 13.38 ක් ලබා ගත්තේය.

එයින් පසුව, ගත වු අවුරුද්දක කාලය තුළ රාජපක්ෂ පාර්ශ්වය අලූතෙන් ඡුන්දදායක පිරිසක් තමන්ගේ පැත්තට දිනාගෙන ඇති බවක් පෙනෙන්ට නැත. ඒ වෙනුවට, 2018 ඔක්තෝබරයේ ඇති වු අර්බුදය තුළ එම පාර්ශ්වය කටයුතු කළ ආකාරය නිසා, එතෙක් ඔවුන් සමග සිටි ඡන්දදායක පිරිසක් ඔවුන්ට අහිමි වී ගොස් ඇතිවාට සැක නැත. පැහැදිළිවම, ඒ අර්බුදය නිසා එක්සත් ජාතික පක්ෂයට නව ජීවයක් ආවේය. එතෙක් එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටි විශාල පිරිසක් එම අර්බුදය තුළ නැවතත් එම පක්ෂය වෙත ඇදී ආ බවක් පෙනෙන්ට තිබුණි.

අනිත් අතට, ජනාධිපතිවරණයකදී දෙමළ ඡන්දදායක ප‍්‍රජාව තමන්ගේ පැත්තට දිනා ගැනීමේ හැකියාවත් එක්සත් ජාතික පක්ෂයට තිබේ. එම පිරිස ඉහත කී පළාත් පාලන ඡන්දයේදී සිටියේ වෙනම මැතිවරණ කඳවුරක් වශයෙනි. එම දෙමළ ඡන්ද ප‍්‍රමාණය, ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා දිනවීම සඳහා සහසුද්දෙන් ප‍්‍රමාණවත් වෙතැයි කීමට පුළුවන් කමක් නැත. එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය බොහෝ කොට සිංහල දකුණේ ඔවුන් කටයුතු කරන්නේ කෙසේද යන්න මත රැඳී පවතී.

මේ තත්වය තුළ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වන සන්ධානයකින් තොරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලාපොරොත්තු තබා ගත හැකි වන්නේ සියයට 45 ක ඡන්ද පමණ ප‍්‍රමාණයක් පමණි. එහෙත් ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කිරීම සඳහා සියයට 50 ක් සහ එක ඡන්දයක් අඩු වශයෙන් අවශ්‍ය කරයි. ඒ නිසා, පැහැදිලිවම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ ගැන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ උනන්දුවක් දක්වනවාට සැකයක් නැත. ඒ නිසාම, ජනාධිපතිවරයා සමග සන්ධානයකට යාමේ උවමනාවත් ඔවුන්ට තිබෙනවා ඇත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, 2018 පළාත් පාලන ඡන්දයෙන් තමන් ලබා ගත් ‘කුසලානය’ ඉතිරි සියයට 5 ඡන්ද ප‍්‍රතිශතයක් වෙනුවෙන් කැප කිරීමට ඔවුන් සුදානම් ද යන්නයි. එම මැතිවරණයේ දී මේ පක්ෂ ලබා ගත් ඡන්ද ප‍්‍රතිශත සැලකිල්ලට ගන්නේ නම්, මේ පක්ෂ දෙක අතර ඇති වන ඕනෑම සන්ධානයක වැඩි පංගුව සහ වැඩි වාසිය යා යුත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැහැදිළි ය. එබැවින්, සිරිසේනට එම ‘කුසලානය’ භාර දීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැමති වෙතැයි සිතීම උගහට ය.

සිරිසේන නැවත වරක් ජනාධිපති වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් අනුමත නොවීමට ඇති අනෙක් වැදගත් හේතුව වන්නේ, මෑතකදී ලද අත්දැකීම් ය. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයකින් සිරිසේන ජය ගතහොත් ඉන් පසු ඔහු කෙරෙහි බලයක් අභ්‍යාස කිරීමේ ඉඩක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙනු ඇත. දෙවැනි වරටත් ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමෙන් පසු, තමන්ගේ පාර්ශ්වකරුවාට එරෙහිව සිරිසේන නොයතැයි කිව හැකි සහතිකයක් ඇත්තේ නැත. එය, ඉතා මෑතකදී තමන් උගත් තිත්ත පාඩමක් ඇසුරෙන් එක්සත් ජාතික පක්ෂය අනෙක් පාර්ශ්වවල සැලකිල්ල සඳහා මේ වන විට ඉතිරි කොට ඇති වැදගත් අත්දැකීමකි.

කෙසේ වෙතත්, සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වයට වෙනම ඉදිරිපත් වීම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය කෙරෙහි ඉතා අවාසිදායක අන්දමින් බලපානු ඇත. මන්ද යත්, එම කඳවුරේ වැදගත් කුඩා ඡන්ද ප‍්‍රතිශතයක් ඔහු විසින් ඩැහැ ගනු ලබන බැවිනි. ඒ නිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රීඩා සැලැස්ම කුරුවල් කිරීමේ හැකියාව සිරිසේනට තිබේ. එම කඳවුර සමග සිරිසේන සාකච්ඡාවට පිවිස සිටින්නේ ඒ කුරුවල් කිරීමේ හයිය තමා අතේ තබාගෙන ය.

මහින්ද රාජපක්ෂට මේ අකරතැබ්බය වැටහෙන සෙයක් පෙනේ. සිරිසේන සමග සාකචඡාවල ඔහු නිරත වන්නේ එබැවිනි. මේ සාකච්ඡාවලින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට අපේක්ෂා කරන අරමුණු දෙකක් හඳුනාගත හැකිය: (1) ජනාධිපතිවරයාව තරහ කර නොගැනීම (2) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහු වෙනම තරග බිමට බැසීම වැළැක්වීම. ‘‘එක දිගට සාකචඡාකරමින්, එහෙත් ඉල්ලන දේ නොදෙමින් ඔහොම යමු’’ යන්න, බොහෝ විට මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වන බව පෙනේ.

වර්තමානයේ එම පක්ෂය සිරිසේන සමග කරගෙන යන සාකචඡාවට පසුපස ඇත්තේ, සන්ධානයක් තුළ සිරිසේනට පොදු අපේක්ෂකත්වය නොදී සිටීමේ හැකියාව උරගා බැලීමක් විය හැකිය. එහෙත් එවැනි තර්කයක් දිගේ සිරිසේනගේ සිත නොරිදවා කොපමණ දුරක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට යා හැකි වේ ද යන්න ප‍්‍රශ්නයකි. සිරිසේන විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු නොවේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණකින් තොරව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සිරිසේනව තරග බිමට තල්ලූ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තක් දක්වනු ඇත. එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක වනු ඇත්තේ එවැනි තත්වයකි.

කුමන අයුරකින් හෝ ජනාධිපති අපේක්ෂකත්වය සිරිසේනට නොදෙමින් ඔහු සමග යම් සන්ධානයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගා ගත්තොත්, ඒ සඳහා යම් වරදාන සැපයීමටත් සිදුවනු ඇත. ඉන් එකක් විය හැක්කේ, එම සන්ධානය ජය ගත්තොත්, සිරිසේනට ඒ ආණ්ඩුවේ අගමැති තනතුර පිරිනැමීමයි. හිටපු ජනාධිපතිවරුන් පසු කලෙක අගමැතිවරුන් වශයෙන් පිළිගැනීමේ පුරුද්දක් දැන් ලංකාවේ ජනතාවට තිබේ. සිරිසේන සතු මේ ‘කුරුවල් කිරීමේ හයිය’ සමග ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ කෙසේද යන්න ඉදිරියේදී බලා ගැනීමට තිබේ. සිරිසේනගේ තීරණයක් ගැන නොතකා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියට යා හැකි වේද? ඒ අනුව, සිරිසේන සතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප‍්‍රමාණය අතහැර දැමීමට තරම් දිරියක් ඔවුන්ට තිබෙනු ඇත් ද? ඒ සියල්ල, ඉදිරියේදී බලා ගැනීමට නියමිත දේවල් ය.

ආචාර්ය එස්. අයි. කීතපොන්කලන්

*2019 මාර්තු 5 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Presidential Election & The President’s Spoiler Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා




2019-03-09
Advertisement

Find us on Facebook