English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාත්‍යන්තරයේ සහය පැතීම පිළිබඳව දෝෂාරෝපණ නැඟිය නොයුතුය...!
ශ‍්‍රි ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝණය විම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් යැයි ඔබ කියන්නේ ඇයි ?

ඕනෑම රටක, එම රටකරවීමෙහිලා නීති පද්ධතියක් ඇත. එම නීතිය ක‍්‍රියාත්මක කිරීමෙහිදි කිසිම භේදයකින් තොරව, විශේෂයෙන්ම මහ ජාතිය සුළු ජාතිය සහ ආගමක් පදනම් කරගෙන වෙනස් නොවිය යුතුය. රටේ නීතිය සැමට පොදු බව සාධාරණ බව එම රටේ ජිවත්වන සෑම පුරවැසියෙකුටම දැනිය යුතුය. ඒ නිසාම තමන් ද එකම රටක ජීවත්වන පුරවැසියන්ය යන සාධාරණ විශ්වාසය සහ සහතිකය සියලූම දෙනා තුළ තිබිය යුතුය.


එහෙත්, නොයෙක් හේතුන් පදනම් කරගෙන එම සාධාරණ විශ්වාසය, සහතිකය පළුදු වී අර්බුද ඇතිවු කළ, ඊට රට තුළින් යුක්ති සහගත, සාධාරණ විසඳුම් නොලැබෙන කළ  වෙනත් විකල්පයක් කරා යෑම සාධාරණය. එහිදි, ජාත්‍යන්තරයේ සහය පැතීම පිළිබඳව දෝෂාරෝපණ නැඟිය නොයුතුය. වර්ථමානයේදි ද රටතුළ ඉතා ලැජ්ජා සහගත ලෙසට ජන අයිතින් උල්ලංඝණය වෙමින් පවතිනු ඇසෙයි.

කෙසේවෙතත්, අයිතිය විසින් මෙම ප‍්‍රශ්ණය කොළඹ සහ උතුරේ ජීවත්වෙන දමිළ පූජක උතුමන් දෙපලකට යොමුකළ අතර ගරු පූජක උතුමන් විසින් ලබාදුන් පිළිතුර මෙසේය;
ගරු එම්මැනුවෙල් සෙබමාෙලෙයි පියතුමා  - කතෝලික පූජක, මානව හිමිකම් ක‍්‍රියාධර සහ මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති



මගේ අතීතය ගැන කල්පනා වන විට සහ ඒ අතීත අත්දැකීම් හේතුකරගෙන සැබැවින්ම ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍යතාවයට මම සහය දක්වනවා මෙන්ම එය අත්‍යවශ්‍යය යැයි ප‍්‍රකාශකරන්නට කැමතියි.

අතීතයේදි ශ‍්‍රි ලංකා ආණ්ඩු කිසිම විටෙක දෙමළ ප‍්‍රජාවට කිසිම විසඳුමක් ලබා දුන්නේ නැහැ. අනෙක් පසින් දමිළ ජනතාවට විශාල වශයෙන් හිරිහැරවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. එදා මෙන් අදත් එය සිදුවෙමින් පවතිනවා. හිස් පොරොන්දු සමඟ ජීවත්වෙන්න සිදුවෙලා තිබෙනවා. දැවැන්ත මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට මුහුණ දෙමින් සිටිනවා. ඒවා කීවාට, ඒ ගැන පියවරගන්න කෙනෙක්, විසඳුම් ලබාදෙන කෙනෙක් නැහැ. එළඹ සිටී එකඟතා රැසක්ම විශාල වශයෙන් කුණු කුඩයට විසිකර තිබෙනවා.

යුද්ධය මුල්කරගෙන අතුරුදහන්වු පුද්ගලයින් පිළිබඳව විමර්ශනය කිරීමට ආණ්ඩුවෙන් පත්කර දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින කොමිසම ගැන කෙසේ විශ්වාස කරන්නද, කොමිසමට සහභාගිවන දෙමළ මිනිස්සුන්ට නොයෙකුත් තර්ජන , බලපෑම් කරන විට. ඒ කොමිසමෙන් දෙමළ මිනිස්සුන්ට සාධාරණයක් සිදුවේවි යන්න බලාපොරොත්තුවීම තේරුමක් නැහැ.

වර්ථමානයේදි එම තත්ත්වයන් තවදුරටත් සිදුවෙමින් පවතිනවා සහ ඉතා විශාල ලෙසට වර්ධනය වෙමින් පවතිනවා. බහුතර සිංහල ජනතාවගේ ආකල්පවල අඹමල් රේණුවක තරම්වත් වෙනසක් සිදුවී ඇතැයි දකින්නට නැහැ. එම නිසා ජනතාවගෙත් රටේත් යහපත සඳහා මෙම ජාත්‍යන්තර පරීක්‍ෂණය ඉතාම ඉක්මනින් පැවැත්වීම අවශ්‍යය බවයි මාගේ අදහස.
   
ගරු  මාරිමුත්තු සත්තිවේල් පියතුමා  -  මානව හිමිකම් ක‍්‍රියාධර සහ ඇන්ග්ලිකානු සභා පූජක



නිදහස් ශ‍්‍රි ලංකාව තුළ දෙමළ ජනතාවට ආණ්ඩු කෙරෙහි හෝ රජයයන් කෙරෙහි කිසිම විශ්වාසයක් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඊට වගකීම ඒ ඒ ආණ්ඩුවල සහ රජයයන්වල බලධාරින් භාරගත යුතුයි. ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුම, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ක‍්‍රියාත්මක වුණේ නැහැ. පිළිගත හැකි අලූත් දෙයක් සිදුවෙයි කියලා 1972 දි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වුණා නමුත් එසේ සිදුවුනෙත් නැහැ. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වඩා දරුණු වුණා. එපමණක් නොවෙයි, 1987 ගෙනා 13 වැනි සංශෝධනය පවා ක‍්‍රියාත්මක කරන්නට අසමත් වුණු පාලනය තුළ තමයි අපි ජීවත්වෙන්නේ. ආයෙමත් 2009දි 13ප්ලස් (13+) කියලා එකක් ගැන මවා පාලා ජාත්‍යන්තරයට පොරොන්දු වුණා, නමුත් කළ ඇති දෙයක් නැහැ ජාත්‍යන්තරය රැවැට්ටුවා. ඒ වගේම ඉහත සියලුම කාරණා තුළින් ජාතික මටිටමින් දෙමළ ජනතාව රැවැට්ටුවා.

මේ වන විට, උතුරේ ආණ්ඩුකාරවරයා නිසා උතුරේ මහ අමැතිට ඔහුගේ බලය පාවිච්චි කිරිමට නොහැකිවී තිබෙනවා. එය  ඕනෑකමින් කරන අනිසි බලපෑමක්. මධ්‍යම රජයෙන් උතුරු පළාත් සභාවට වෙන්කරපු මුදලින් තුනෙන් එකක් (1/3) පළාත් සභාවට දී තුනෙන් දෙකක් (2/3) තමා සතු කරගනිමින් උතුරු පළාතේ වැඩකරන මේ රජය කෙරෙහි දෙමළ ජනතාවගේ කිසිම විශ්වාසයක් නැහැ.

විවිධ අවස්ථාවල විවිධ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ,ඝාතන සම්බන්ධයෙන් පත්කරන ලද කිසිම කොමිසමක වර්තාවක් ජනතාවට එළිදක්වලා නැහැ. මෑත අතීතයේ සිදුවුණු සිද්ධීන් ලෙසට මතක්කළොත්, කටුණායක වෙළෙඳ කලාපයේ රෝෂේන් ශානක ඝාතනය, වැළිවේරිය ජල අර්බුදයේ ත‍්‍රී පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පත්කළ කොමිසම් කෝ ? දකුණේ සිංහල ජනතාවට විශ්වාස කරන්න බැරි ආණ්ඩුවක් උතුරේ දෙමළ ජනතාවට විශ්වාස කළ හැකිද ?

2009යෙන් පසුව ජාත්‍යන්තරය රැවටීම පිණිස යුද්ධයේදි සිදුවූ මිනිස් අයිතීන් උල්ලංඝණයවිම් හා අතුරුදහන්වුවන් පිළිබඳව සොයාබැලීම් සිදුකළේ හෝ දැනටත් සිදුකරමින් සිටින්නේ විසඳුමට සැබෑ පිළිතුරක් ලෙසට නොවෙයි. රැවටීමක් සඳහායි. දැනටත් පත්කර තිබෙන කොමිසමට සාක්‍ෂි දෙන්නට යන දෙමළ මිනිස්සුන්ට තර්ජනය කරනවා සාක්‍ෂිදීමෙන් වැළකී සිටින්නට කියලා. මෙවැනි තත්ත්වයකදි අපිට රටතුළ සිදුකරන මෙවැනි කොමිසම් ගැන විශ්වාසයක් තබන්නට නොහැකි නිසා අනිවර්යයෙන්ම ජාත්‍යන්තර මැදිහත්කමක් තිබිය යුතුයි.

මෙකී ජාත්‍යන්තරයට පවා විවිධ වු න්‍යාය පත‍්‍රයන් තිබිය හැකියි. ඔවුන්ගේ විමර්ශන කටයුතු, සොයාබැලීම් තුළින් දෙමළ ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නයට දෙමළ ජනතාව බලාපොරොත්තුවන ආකාරයේ විසඳුම් ලැබෙයිද කියා සැකයක් තිබෙනවා. නමුත්, ලංකාව තුළ සිදුකෙරෙන පරික්‍ෂණයකට වඩා ,ලංකාවේ යුද්දය පැවති සමයේදි සිදුවුණු සිදුවීම් වෙනත් කිසිඳු රටක සිදු නොවීම සඳහා මෙම ජාත්‍යන්තර පරික්‍ෂණය අත්‍යවශ්‍යයි.
   
 සංවාදය සහ ඡායා - මෙලනි මානෙල් පෙරේරා





2014-09-15
Advertisement

Find us on Facebook