English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


OMP මාතරට: අතීතයේ තුවාල හෑරීම නෙමෙයි. මෙය අනාගතයට විසඳුමක් - කරූ ජයසූරිය


ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ සිංහල තරුණයන්ගේ නැගිටීම හා දෙමළ තරුණයන්ගේ සන්නද්ධ ව්‍යාපාරය නිසා විවිධ අයුරින් අතුරුදහන් වූ පුද්ගලයන් ගැන ඇති වී තිබෙන සංවාදය අතිශයින්ම සංවේදී මෙන්ම ගැඹුරු ය. දැනට ඇස්තමේන්තු කළ ඇති පරිදි 16,000 පමණ දෙනා ලංකාව පුරා අතුරුදහන් වී ඇත. විසඳුම් සෙවීම ඉතාමත් ප්‍රවේසමෙන් සිදු කළ යුතුය. එමෙන්ම නීත්‍යානුකූලව සිදු කළ යුතුය. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානයන් සිදු කරන ලද දීර්ඝ කාලීන අරගලයක ප්‍රථිඵලයක් ලෙස 2018 වසරේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමත් සමග ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් වින්දිතයන් තුළ ඇති වී ඇත. මේ කාර්යාලය පිහිටුවීම ගැන විවිධ චෝදනා මුල දී එල්ල විය. ඒ දෙස වපර ඇසින් බලන්නන් ද සිටියි. කෙසේ වෙතත් ජාතික කාර්යාලය පිහිටුවා වසරක් ගත වන මොහොතේ 2019 මාර්තු මස 02 දින මුල්ම ප්‍රාදේශීය කාර්යාලය මාතර දී පිහිටුවීමට හැකි වුනා.


ඒ සඳහා විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුනේ කතා නායක කරු ජයසූරියයි. විවෘත කිරීම ආරම්භ කිරීමට ප්‍රථම ගාල්ල,මාතර,හම්බන්තොට, දිස්ත්‍රික් නියෝජනය කරමින් අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් වල සමාජික සමාජිකාවන් සාමකාමී පෙළපාළියකින් අලුතින් ආරම්භ කරනු ලබන මාතර කාර්යාලය වෙත පැමිණියා. මෙම කටයුතු අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ බි්‍රටෝ ප්‍රනාන්දු විසින් සම්බන්ධීකරණය සිදු කරනු ලැබුවා.

පසුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ ආරාධනයෙන් කතානායක කරු ජයසූරිය විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ දකුණු පලාත වෙනුවෙන් විවෘත කෙරෙන මාතර කාර්යාලය විවෘත කරන ලදි. ඒ සඳහා විෂය භාර අමාත්‍ය ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් ද සහභාගි වී සිටියේය.

පහත දැක්වෙන්නේ ඒ ඒ අවස්ථවන්හී දී සහභාගි වූ විශේෂ අමුත්තන් විසින් සිදුකරන ලද කතාවන් හී උපුටා ගන්නා ලද විශේෂ උපුටා ගැනීම් ය. 

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

 අපි අපේ කාර්යාලයෙන් උත්සාහ කරන්නේත්, අපේ කාර්ය මණ්ඩලය මගින් අපි උත්සාහ කරන්නෙත්, ඔබගේ ප්‍රශ්න, අතුරුදහන් වූ පවුල්වල අම්මලා තාත්තලගේ, බිරින්දෑවරුන්ගේ ප්‍රශ්න, තේරුම් ගන්න පුළුවන් සේවක පිරිසක් රඳවගන්න එක. මේ කාර්යාලය ක්‍රියාත්මක වෙන කොට, විමර්ශන නිලධාරීන්ට අමතරව, තමුන්ගේ සුබසාධනය උදෙසා පවුල්වලට සහය දෙන නිලධාරීනුත් පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ ප්‍රශ්න වලට ඔබ කොළඹට එන්න අවශ්‍ය නෑ.”

 ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනේ ගනේෂන්

 රට වටේ සුදු වෑන් උස්සන් වලින් යනකොට ඒවට විරුද්ධ වුනු කෙනෙක් මම. මම ඒ ගැන දන්නවා. මම ඒ අවස්ථාවෙදි විරුද්ධව පාරට බැහැලා සටන් කරපු කෙනෙක්. මම දන්නවා. මේ අත අල්ලගෙන අම්මලා අඩලා තියෙනවා. තාත්තලා අඩලා තියෙනවා. දරුවෝ අඩලා තියෙනවා. අනේ මහත්තයෝ, අනේ ඇමතිතුමා අනේ මගේ දරුවා, ස්වාමිපුරුෂයා ගෙනල්ලා දෙන්න කියලා. දූ දරුවෝ අඩලා තියෙනවා. අනේ සර් මගේ තාත්තා කෝ මගේ අයියා කෝ කියලා. ඒ දුක මට දැනෙනවා. මම ඒක දන්නවා.”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක දේශ බන්දු කරූ ජයසූරිය  

 අතීතයේ ඇති වෙච්ච තුවාල හාර හාර ඉන්න නෙමෙයි. ඒක සුව කරලා අනාගතයට ඒ සිදුවෙච්ච ආසාධාරණයන්ට අයුක්තියට, විසඳුමක් ලබා දීලා තමුන්නාන්සෙලට සැනසුමක් ලබා දෙන්න. ඒ වගේම අද දින ඔබගේ ආදරණීය පවුලේ සමාජිකයින්ට අද කණගාටුදායක දිනයක් බවත් අපි දන්නවා. ඒ වගේම කඳුළුවල උණුසුම් බව අපි දන්නවා. තමන්ගේ ආදරණීය කෙනෙක් නැති වුනාම කොයිතරම් දුරට තමන්ට වේදනාවක් ඇති වෙනවද කියලා අපි දන්නවා. අනික් අතින් අපිට මේක වැදගත් වන්නේ, ඉතිහාසයේ ඇති වෙන සිද්ධීන් කිසිම අවස්ථාවක මේ රටේ නැවත ඇති නොවන විදියකට ක්‍රියා මාර්ගයක් ගැනීම තමයි අපේ පරමාර්ථය.” 

මීට අමතරව ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් නියෝජනය කරමින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන් විසින් දක්වන ලද අදහස්. එහිදී වන්දි, නිවාස, ග්‍රාම සේවා සහතික පිළිබඳ ප්‍රශ්න, අතුරුදහන් වූවන් පිළිබඳ ජාතික දිනයක් පිළිබඳ යෝජනාව, කිසිවෙකුගේ හව්හරණක් නැතිව ජීවත්වීමට සිදුව ඇති බවට වූ විලාපය මෙහිදී ඉදිරිපත් විය.




2019-03-05
Advertisement

Find us on Facebook