English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සුජාත දරුවා දූෂණය කරන්න හදන්නේ ජනාධිපතියි - හරිනි අමරසූරිය


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතකදී අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුව අමතමින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළේය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, එස් බී දිසානායක සහ උදය ගම්මන්පිල ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ද මෑතදී ව්‍යවස්ථාදායක සභාව විවේචනයට ලක් කළහ.

පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, මැතිවරණ පොරොන්දු ප්‍රකාරව සිදු කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමැති "සුජාත දරුවා උපතින්ම අංග විකල දරුවෙකු" බවට පත් කර ඇති බවය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය, පසුගිය ඔක්තෝබර් 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කළ රජයට එරෙහි වැඩපිළිවෙළ මේ වන විට "ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම හරහා සිදු වන" බව කියා සිටියාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රටේ ප්‍රධාන ආයතන තුන ම "ව්‍යවස්ථා සභාවෙන් පාලනය වන" බවය.

"දැනට කටයුතු කරන ආකාරයට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන තුන ම අද ව්‍යවස්ථා සභාවෙන් පාලනය වෙනව කියන එකයි මට කියන්න තියෙන්නේ. මට ඒක කියන්න ඕන තරම් කරුණු තියෙනවා."

ඔහු මෑත කාලීනව පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථා දෙකේදී ම නැගූ ප්‍රධාන ම චෝදනාව වූයේ, අධිකරණ පත් කිරීම්ය.

තමන්ට කැමති තීරණ දෙනකොට හොඳයි කියන්නත්, අකමැති තීරණ දෙනකොට නරකයි කියන්නත් බැහැ. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ, ස්වාධීන ආයතනයක්. ඒක ගන්නා තීරණ පිළිගත යුතුයි. ඒක ව්‍යවස්ථානුකූලයිජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

"ව්‍යවස්ථාදායක සභාව මේ වන විට විනිශ්චයකාරවරුන් 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර අයගේ නම් මං තුන් සැරේ එවල තියෙනවා."

ඊට අමතරව ඔහු සෙසු ස්වාධීන ආයතන වන පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කමිෂන් සභාව ද විවේචනය කළේය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම කමිෂන් සභාවල යම් බලතල ආයතන ප්‍රධානීන්ට ද ලබා දිය යුතු බවය.

"ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක්"

මෙම චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, "ජනාධිපතිවරයාට අකමැති තීරණ ගන්නා විට ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම සාධාරණ නොවන" බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රකාශය මගින් චෝදනා කළේ, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තීයවේදීන් වෙනුවට දේශපාලනඥයන් වැඩි පිරිසක් පත් කර ඇති බවටය.

මේ සම්බන්ධයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුල් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කර ඇත්තේ, "දේශපාලඥයන් තිදෙනෙකු විසින් නම් කරන තිදෙනෙකු සහ දේශපාලඥයන් නොවන පුරවැසියන් හත් දෙනෙකුගෙන් යුතුව සාමාජිකයන් දස දෙනකුගෙන් සමන්විතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවිය යුතු වුවත්" ඊට එවකට විපක්ෂය එරෙහි වූ බවය.

"කමිටු අවස්ථාවේදී මේ දස දෙනාගෙන් හත් දෙනෙකු ම දේශපාලන නියෝජිතයන් විය යුතු බවත්, තිදෙනකු පමණක් පිටින් නම් කළ යුතු බවත් විපක්ෂයේ යෝජනාව විය. ඒ අදහස ගෙන ඒමට මුල් වී ක්‍රියා කළේ වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධනය. එවිට වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක් හෝ සරල බහුතරය වත් නොමැති විය. ඒ අනුව ඊට එකඟ වීමට ආණ්ඩුවට සිදු විය," යනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එය පැහැදිලි කර තිබේ.

විපක්ෂය ඉදිරිපත් කළ එම විරෝධතා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලින් සනාථ වේ.

2015.04.28 දින හැන්සාඩ් වාර්තාව පා.ම. දිනේෂ් ගුණවර්ධන:

"විරුද්ධ පක්ෂය කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය යුතුයි කියලායි. පාර්ලිමේන්තු බලය පිළිබඳවයි අපි කරුණු ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවේ නොවන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කිරීම ගැන අපි ප්‍රසන්නභාවයක් එකඟතාවක් දැක්වූවේ නැහැ. එම නිසායි අපි මේ සංශෝධනය ඉදිරිපත් කළේ. අද සවස් භාගය වන විට රජය මේ බල තුලනය වේගයෙන් වෙනස් කොට තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ බල තුලනය වැඩි කරගෙන තිබෙනවා."

ඊට පෙර දින එනම් 2015 අප්‍රේල් මස 27 වන දින මේ පිළිබඳව සංශෝධනයක් අවශ්‍ය බව ඉල්ලා සිටියේ එවකට විපක්ෂ නායක මෙන් ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වූ නිමල් සිරිපාල ද සිල්වාය.

2015.04.27 දින හැන්සාඩ් වාර්තාව

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා:

"අපේ සංශෝධන මගින් අපි ඉල්ලා සිටිනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සාමාජිකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත් කළ යුතුයි කියලා."

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය බීබීසී සිංහල සේවයට පැවසුවේ, ව්‍යවස්ථාදයක සභාව වැනි ස්වාධීන ආයතනයක සිවිල් සාමාජික සංඛ්‍යාව වැඩි කිරීම යහපත් දෙයක් බවය.

"දේශපාලනඥයින්ට වඩා සිවිල් ක්‍රියාකාරීන් ස්වාධීනයි කියල කියන්න බැහැ. ඔවුන්ටත් දේශපාලන සබඳතා තියෙනවා. ඒත් සිවිල් සාමාජික සංඛ්‍යාව වැඩි වෙන එක හොඳ දෙයක්."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය

මේ වන විට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය හිමි වන්නේ, කතානායකවරයාටය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය මෙසේය.

  • කතානායක (සභාපති) - කරු ජයසූරිය
  • අග්‍රාමාත්‍යවරයා - රනිල් වික්‍රමසිංහ
  • පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක - මහින්ද රාජපක්ෂ
  • ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් මන්ත්‍රීවරයෙක් - මහින්ද සමරසිංහ
  • අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු වූ ද තැනැත්තන් පස් දෙනෙක් - තලතා අතුකෝරළ, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා (චමල් රාජපක්ෂ ඉල්ලා අස් විය), ආචාර්ය ජයන්ත ධනපාල, ජාවුඩ් යූසුෆ් සහ මහාචාර්ය චන්ද්‍රසේකරම්
  • අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් - බිමල් රත්නායක

අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු වූ ද තැනැත්තන් පස් දෙනෙක් නම් කිරීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ගෙන් ද විමසිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

ව්‍යවස්ථාදායක සභාව මගින් රජයේ ඉහළ තනතුරු සඳහා සිදු කෙරෙන පත් කිරීම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් තොරව සිදුවීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවූ වැදගත් ම වෙනස බවට ස්වාධීන ආයතනවල මතය වී තිබේ.

ජනාධිපතිවරයා චෝදනා කරන්නේ ඇයි?

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෙබරවාරි 21 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, "ව්‍යවස්ථාදායක සභාව මේ වන විට දේශපාලන අතකොළුවක් බවට පත්වී ඇති" බවය.

එදින පැවති විවාදයේදී අදහස් දැක්වූ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් තොර එකක් බවට පත් කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ව්‍යවස්ථාදායක සභාව පිහිටවූ බවය.

එය ක්‍රියාත්මක වූ සුළු කාලය තුළ එය සාර්ථක බව තහවුරු වී ඇතැයි ද මංගල සමරවීර පැවසීය.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙබරවාරි 06 වන දා පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාදායක සභාව ඉලක්ක කරමින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය පෙබරවාරි 07 වන දා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේ, "එම චෝදනාවන් යුක්තිසහගත නොවන" බවය.

ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සාමාජික පා.ම. විජිත හේරත්ගේ පැහැදිලි කිරීම

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙබරවාරි 21 වන දා පැවති පාර්ලිමේන්තු විවාදයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ අදහස් දැක්වීමක නිරත විය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා නගන චෝදනා සම්පූර්ණයෙන් වැරදි සහ පදනම් විරහිත බවය.

19 ව්‍යවස්ථා සංශෝධනය කියන සුජාත දරුවාට ව්‍යවස්ථාදායක සභාවෙන් කිසිදු කැළලක් සිදුවී නැහැ. ඒ සුජාත දරුවා දූෂණය කරන්න උත්සහ කරන්නේ, ජනාධිපතිවරයා මයි.විජිත හේරත් , ජනතා විමුක්ති පෙරමුණ

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් විජිත හේරත් ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාදායක සභාව අතිශය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බවය.

"ජනාධිපතිතුමා නගන චෝදනා සම්පූර්ණ වැරදියි. සීනියෝරිටි එක අනුව පත්වීම් දෙන්න ඕන නම් ව්‍යවස්ථාදායක සභාවක්වත් ජනාධිපති කෙනෙක්වත් ඕන නෑ. අනික ජනාධිපතිතුමා ම අගවිනිසුරු ධූරයට එව්ව නලින් පෙරේරා ජ්‍යෙෂ්ඨත්වය අනුව 6 වෙනි තැන හිටියෙ. ඒත් එතුමා සුදුසු නිසා අපි පත් කළා. නීතිපති තනතුරට නම් තුනක් එව්වා. ඊට පස්සේ අපි කිව්වා එක නමක් එවන්න කියලා. එයා ජයන්ත ජයසූරියගේ නම එව්වා. එතුමා ගැන පරීක්ෂා කරලා අපි සුදුසුකම් මත ජයන්ත ජයසූරියට අනුමැතිය දුන්නා."

විජිත හේරත් පැවසුවේ, පොලිස්පති ධූරයට ද ජනාධිපතිවරයා නම් තුනක් එවූ බවය. ඒ අනුව, ව්‍යවස්ථාදායක සභාව පළමු වරට ඒ සම්බන්ධයෙන් රහස් ඡන්දයක් ද පැවැත්වූ බව ඔහු ප්‍රකාශ කළේය.

"පූජිත් ජයසුන්දරගේ නම එව්වේත් ජනාධිපතිතුමා මයි. නම් තුනක් එවලා තිබුණ නිසා අපි රහස් ඡන්දයක් තිබ්බා. ඒ රහස් ඡන්දයේදී පූජිත් ජයසුන්දර ඡන්ද 5කින් එම තනතුරට පත් වුණා," ඔහු විස්තර කළේය.

"ඒ වගේ ම ජනාධිපතිතුමා කියන ආකාරයට අධිකරණ විනිසුරුවරුන් 14 දෙනෙකුගේ පත්වීම් ප්‍රතික්ෂේප කරලා නැහැ. හතරයි ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒවා ප්‍රතික්ෂේප වුණේ නුසුදුසු නිසා. ජනාධිපති යෝජනා කරල තිබුණ ඇතැම් විනිසුරුවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට ඇප දීපු අය. ඒ වගේ බරපතළ හේතු නිසයි ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කළේ."

මේක ඔක්තෝබර් 26 වන දා පටන් ගත්ත ආරවුලේ ම දිගුවක්. රජය සහ ජනාධිපති අතර තිබුණු ආරවුල ඉවරයි වගේ පෙනුණට ඒක නැවතිලා නැහැ. ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය එහි තවත් එක් ප්‍රකාශනයක් පමණයිජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය

ව්‍යවස්ථාදායක සභාව යම් තනතුරක් සම්බන්ධයෙන් පත් කිරීමක් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක පද්ධතියක් පවතින බවත් එම නිර්ණායක 2016 වසරේ දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් විජිත හේරත් පැවසීය.

"19 ව්‍යවස්ථා සංශෝධනය කියන සුජාත දරුවාට ව්‍යවස්ථාදායක සභාවෙන් කිසිදු කැළලක් සිදුවී නැහැ. ඒ සුජාත දරුවා දූෂණය කරන්න උත්සහ කරන්නේ, ජනාධිපතිවරයා මයි. ස්වාධීන කොමිෂන් සභාවලට පහර ගසමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට බලපෑම් කරන එක අපි කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. මේ ක්‍රමවේදය අනිවාර්යයෙන් ම පැවතිය යුතුයි."

ජනාධිපතිවරයා සහ විපක්ෂයේ දේශපාලනඥයන් ව්‍යවස්ථා සභාවට දගින් දිගටම චෝදනා එල්ල කිරීම තමන් පත්වීම් කරන්නේ කෙසේ දැයි එහි සභාපති, කතානායක කරු ජයසූරිය පසුගියදා පාර්ලිමේන්තුවට පැහැදිලි කර තිබුණි.

ට්විටර් ජාලය ඔස්සේ ඒ ගැන අදහස් දක්වමින්, ව්‍යවස්ථා සභාව ඇතුළු 19 වෙනි සංශෝධනයට දිගින් දිගටම දැඩි විවේචන එල්ලවන අතරවාරයේ ව්‍යවස්ථා සභාව විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් කටයුතු කිරීම යහපත් තත්වයක් බව නීතිවේදිනී භවානි ෆොන්සේකා සඳහන් කර තිබුණි.

එසේ නම් ජනාධිපතිවරයා මෙසේ දිගින් දිගට ම චෝදනා එල්ල කරන්නේ ඇයි?

"මේක ඔක්තෝබර් 26 වන දා පටන් ගත්ත ආරවුලේ ම දිගුවක්. රජය සහ ජනාධිපති අතර තිබුණු ආරවුල ඉවරයි වගේ පෙනුණට ඒක නැවතිලා නැහැ. ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය එහි තවත් එක් ප්‍රකාශනයක් පමණයි," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

"ජනාධිපතිවරයාට ඕන දෙයක් හිතන්න අයිතිය තියෙනවා. ඕන දෙයක් කියන්නත් අයිතිය තියෙනවා. ඒත් ව්‍යවස්ථාදායක සභාව ඒ අයගේ තීරණ ගත යුතුයි."

උපුටා ගැනීම - බීබීසී සිංහල

 




2019-02-27
Advertisement

Find us on Facebook