English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජිනීවා ක්‍රියාවලිය, මැරිල්ල සහ ගැහිල්ල


ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු වරදක් කර නොතිබුණි. නමුත් ඔවුන් සදාකාලයට ම අතුරුදහන් කරවන ලදී. වාර්තාවන අන්දමට පහර දී මරා දමන ලද ඔවුන් දෙදෙනා පසුව පුළුස්සා දමා තිබේ. ඉහළ පෙළේ පොලීස් නිළධාරීන් ඊට සම්බන්ධ බව ද කියැවේ.

සිය රාජකාරිය කරම්න් සිටි නඩරජා කුගන්රාජ් නම් ජනමාධ්‍යවේදියාට යාපනයේ කෝපායි හි පොලිස් ස්ථානාධිපතිවරයා ලේ හැරෙන ලෙස පහර දෙන ලද්දේ පසුගිය සතියේ ය. ඔහු පසුව රෝහල් ගත කරන ලදී.

අතුරුදහන්වූ සිය ඥාතීන් සෙවීමෙහි යෙදී සිටින මන්නාරම පේසාලෙහි ආනන්තරාජා එඩ්නා ඩයස් නම් කාන්තාවගේ නිවස සෝදිසි කිරිමට යැයි මෙම මස අටවන දින රැයෙහි 10.45ට පමණ රහස් පොලිසියෙන් යැයි හදුන්වා ගත් නව දෙනෙකු පැමිණියේ ය. ඔවුන් කියා සිටියේ නිවසෙහි ආයුධ සඟවා ඇති බවයි. තමන් පැමිණියේ මත් ද්‍රව්‍ය සෙවිමට යැයි කියා පිරිස ආපසු ගියේ අසල්වාසින් සහ ජූජකතුමකු නිවසට පැමිණ විටය‍.

ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේන ද තමා මෙන්ම මත්ද්‍රව්‍ය ජඩයින් ඝාතනය කරන බවට තමාට පොරොන්දු වී සිය මත් ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන දිදුළන එකක් බව කීවේ යැයි දැනටමත් දස දහසකට වඩා ඝාතනය කරවා ඇති පිලිපිනයේ ජනපති දුතර්තේ විසින් නොබෝදාය.

අගුණකොළ පැලැස්ස බන්ධානාගාරයෙහි රැදවියන්ට එහි නියාමකයින් විසින් අතින් පයින් පහර දෙමින් බිම දිගේ දණගසාගෙන ඒමට බල කරමින් අමානුෂික ලෙස හැසිරෙනු පෙන්නුම් කරන වීඩියෝ සාක්ෂි මතු වූයේ පසු ගිය මාසයේ ය. දැන් අධිකරණ ඇමැතිවරිය ප්‍රකාශ කරන්නේ එම පහරදිම් සාධාරණ බවය. ඇයගේ උත්සාහය එම අමානුෂික ප්‍රහාරය පිලිබඳව පියවර ගැනීම නොව එකී වීඩියෝව පිටවූ අන්දම සෙවීමය.

පාසැල් රගර් ක්‍රීඩකයකුට පුහුණුකරු විසින් පහරදෙන අන්දම පෙන්වන ජංගම දුරකථන විඩියෝවක් දෙසතියකට පෙර සමාජ ජාලයන්හි සැරි සරන්නට පටන් ගත්තේ ය. ක්‍රීඩා ඇමැතිවරයා ද එම සිදුුවීම සිදුවූ සාන්ත පිතර විදුහල ද පුහුණුකරු විසින් කරන ලද කායික පහරදීම සාධාරණ යැයි කියා සිටියේ ය.

ඒ සමඟම සමාජ ජාල හරහා නිකුත් වූ තවත් ජංගම දුර කථන වීඩියෝවකින් පෙන්නුම් කැරුණේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විදුහලක රගර් ක්‍රිඩකයින් එක පෙළට ගෙන්වා ගනිමින් කම්මුල් පහර දෙක බැගින් එල්ල කරන අන්දමයි. හරියට පූර්ව විප්ලවීය රුසියාවෙහි පහළ පංති පාසල් දරුවන්ට සෙනසුරාදා පාසල් යා යුතු වූයේ පහර කෑමට පමණක් වූ පරිද්දෙනි.

ශිෂ්‍යාවකට පහරදීම නිසා ගුරුවරියකට පණවන ලද දඩුවම ඉවත් කරන සේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද ගුරු වෘත්තීය සමිතිය උද්ඝෝෂණයක යෙදුනේ ද මේ අතරවාරයේ ය.

කළකින් ලද ජයග්‍රහණයකින් උද්දාමට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයකු විවේචකයින්ට කුණු හරුපයෙන් බැණ වැදුණේ මේවා මෙතන්ට නොවෙයි ඉහළටයි ඇහෙන්න ඹ්නෑ යැයි කියමිනි. ක්‍රීඩා ඇමැතිවරයා ගණන් නොගත යුතු කාතාවකැයි කියා එය යටපත් කළේ ය. අඩුම වශයෙන් සමාව ගැනීමට ඉල්ලා සිටීමක්වත් සිදුවූයේ නැත.

මේ කාලයේම ගින්නෙන් උපන් සීතලක් ලෙස විජේවිර හුවා දක්වන සිනමා පටයක් ද තිරගත විය. අප කව්රුත් දන්නා 88-90 සමයෙහි විජේවිරගේ නායකත්වයෙන් දියත් කරන ලද ඝාතන දේශපාලනය සහමුලින්ම යටපත් කිරීමේ දුෂ්ඨ වෑයමක් වන මෙම සිනමා පටය ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස විචාරකයින් විසින් හුවා දක්වන ලදී. එසමයෙහි ජවිපෙ විසින් දියත් කරන ලද බලහත්කාර හර්තාල් ව්‍යාපාර නිසා රෝහල් ඇදන් මත කුණූ වූ මළ සිරුරු හෝ විජේවිර දරු සුරතල් බලමින් සිටින අතරතුර පළි ගැනීම පිනිස ඝාතනය කරන ලද අත දරුවන් ගැන හෝ එම සිනමා පටය තුළ කතා කරන්නේ නැත.

විජේවීර දියත් කළ 88 -89 සිවිල් යුද සමයෙහි එළියකන්ද නම් රැදවුම් කඳවුරක සිරගතව සිට දිවි බේරා ගත් අජිත් පැරකුම් ජයසිංහ එම කඳවුරු ජිවිතය තේමා කොටගනිමින් ලියූ කේ පොයින්ට් නම් සත්‍ය නවකතාව මා කියවා අවසන් කළේ ද උක්ත දිනවලදීම ය. සිරකඳවුරක් ගැන එවැනි භයංකර පොතක් මා මෙතෙක් කියවා නැත. ජවිපෙ යැයි කියා අත්අඩංඟුවට ගන්නා ලද සැකකරුවනට එහිදී දෙන ලද වධහිංසා නෑසු විරු ඒවා ය. ආසාවට මෙන් බෙලි කපා තරුණයින් මරා දමමින්, අතිශය දරුණු වධහිංසා මැද පැය 24ම එක දම්වැල් සේ මාංවු දමා වැසිකිළි යාමට සහ කෑමට විනාඩි හතර පහක් පමණක් දෙමින්, මරා දැමීමට නියමිත තරුණයින් පහර දී පරණ වැසිකිලියක දමා මැරෙන්නට හරිමින් එම වධක කඳවුර පවත්වා ගෙන යන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදා පිරිස් විසිනි.

එසමයෙහි ශ්‍රී ලංකාවෙහි සිදු කරන ලද යුද අපරාධ ගැන අපූරු වාර්තාවක් ‘දිවයින’ පුවත්පත පළ කළේ ඒ බව නොදැන විය හැකිය. දැන් මහණ වී සිටින එකළ කොලඹ බොරුල්ලේ කනත්තෙහි අදාහනාගාරය බාරකරු සමඟ කරන ලද සාකච්ජා මාලාවක් එම පුවත්පත පළ කළ අතර හමුදා පිරිස් විසින් තරුණයන් ඝාතනය කරන ලද අන්දම එහි කදිමට පෙන්වා දි තිබුණි.

ඉන් වසර 15කට පසු මංත්‍රී ආසන 40ක් තරම් දිනා ගත් අවස්ථාවෙහිවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම වධහිංසා ගැන එක වචනයකුදු කතා කළේ නැත. එපමණක් නොව එම හමුදාවම උතුරු කරයේ කරගෙන ගිය යුද්ධයේ අවිචාරාත්මක කොටස්කරුවන් බවට ද පත්විය.

ඝාතන සංස්කෘතිය මෙරට පැලපදියම් වූයේ 1971 සිටම විරුද්ධකම් පෑමේ දේශපාලන ප්‍රචන්ඩත්වය සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පිලිබඳ මහජන සාකච්ජාවක් මෙරට ගොඩ නැගීමට අප සියළු දෙනා අසමත් වූ නිසා ය. මේ වනාහී දකුණට පමනක් අදාළ කාරණයක් නොවේ. උතුරෙහි රාජ්‍ය හමුදාවන් විසින් කරන ලද අමානුෂිික ඝාතනයන් හෙළා දකින බොහෝ දෙනා එල්ටීටීඊ සංවිධානයේ අමානුෂික දේශපාලනය හෙළා දකින්නේ නැත. ඔවුන්ගේ ගින්නෙන් උපන් සීතල ප්‍රභාකරන් ය.

1971 අප්‍රේල් කැරැල්ල, 1988-90 ජවිපෙ කැරැල්ල, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මෙන්ම තිස් වසරක යුද්ධය විසින් අප සමාජය සහ ආයතන මත ඇති කරන ලද සමස්ත ප්‍රචන්ඩත්වයේ සංස්කෘතිය පිළිබඳව අප සමාජයේ කිසිදු හෝ බරපතල කතා බහක් ඇති වී නැත. අපරාධයන්ට දඩුවම් නොලැබිමේ සංස්කෘතිය ප්‍රචන්ඩ දේශපාලනයේ සහ මර්දනයේ තෝතැන්නය. අතීතය තේරුම් ගෙන පාඩම් ඉගෙන ගැනීමෙන් මිස අතීතය අමතක කර ඉදිරියට යා නොහැක.

රත්ගම ඝාතනයේ සිට කෝපායි පොලිස් පහරදිම හරහා සිරිසේනගේ ජඩයින් ඝාතනය කිරිමේ දේශපාලනය රැදී පවතින්නේ එදා මෙදා තුර මෙරට සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධ සත්‍යය සහ යුක්තිය පිහිටුවීමටත් එය ජනගත කිරිමටත්. දුර්විපාක නොලැබීම අවසන් කිරීමටත් අප අසමත්ව ඇති නිසා ය.

එමෙන්ම ක්‍රිකට් නායකයින් සහ පුහුණුකරුවන් වාචික සහ කායික ප්‍රචන්ඩත්වයන් සාධාරණ කරන්නේ ද දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියළු දෙනාගේ මානව හිමිකම් පිළිබද පිළිගැනීමක් ඇති කිරිමට අප අසමත්ව ඇති නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදයේ පුදසුන යැයි කියන පාර්ලිමේන්තුව මෙරට දී නම් මේ සියල්ලේ කැත නිදසුනකි. මේ සියල්ල එකිනෙකට සම්බන්ධ ය.

මා දන්නා තරමට කුණු හරුපයෙන් සිය අන්තේවාසිකයිනට බැණ නෙැවැදුණූ ජනාධිපතිවරුන් වූයේ ජේ.ආර්. ජයවර්ධන සහ ඩී.බී. විජේතුංග පමණි.

ශ්‍රී ලංකාව පිළබඳ ජිනීවා ක්‍රියාවළිය වැදගත් වන්නේ අපේ මෑත කාලීන ඉතිහාසය පිරි තිබෙන ඉහත කී ප්‍රචන්ඩත්ව සංස්කෘතිය විධිමත්ව යළි සළකා බැලීමට එමගින් මෙරටට අවස්ථාවක් ඉන් ලැබෙන්නට ඉඩ තිබූ නිසා ය. සත්‍ය හෙළිදරව්කර යුක්තිය ස්ථාපිතකර සහ හානි පූර්ණය ලබා දීම එවැනි ක්‍රියාවළිය සාර්ථකත්වයට අත්‍යවශ්‍ය ය. එවැන්නක් සඳහා විවෘත ජනතා සහභාගිත්වය නැතිව ම බැරිය. එවැනි ක්‍රියාවළියක් කිසිදු අයුරකින්වත් අන්තර් ජාතික තලයෙහි සිදු කළ නොහැකි අතර අන්තර් ජාතික වශයෙන් කළ හැකි එකම දේ නම් එවැනි දේශීය ක්‍රියාවළියක් සඳහා පහසුකම් සැළසීමත් තෙරපුමක් ඇති කිරිමත් ය. වෙනස සිදු විය යුත්තේ රට තුළිනි. ආණ්ඩුව පසුගිය සිව් වසර පුරාම ඒ සඳහා ඇත්ත වෑයමක් දැරුවේ නැත.

අනෙක් අතට යුද්ධයෙහි අවසන් සමයෙහි සහ පශ්චාත් යුද්ධ සමයෙහි මෙරට ඇති කරන ලද එවැනි සියළු යාන්ත්‍රණයන් පිහිටුවන ලද්දේ අන්තර් ජාතික බලපෑම නිසා ය. 2005 උදලාගම කොමිසම, 2006 මහානාම තිලකරත්න කොමිසම, 2007වසරෙහිදී අයිජේප් (IIGEP) නම් අන්තර් ජාතික අද්වීතියයන්ගේ කණ්ඩායම, 2012 වසරෙහිදී උගත් පාඩම් කොමිසම, 2013 වසරෙහිදී පරණගම කොමිසම, 2018 අත්රුදහන්වූවන් පිළිබද කාර්යාලය යනු එළෙස පිහිටුවන ලද ආයතනයන් ය. මෙම සියල්ලම පත් කරන ලද්දේ යුද සමයන්හි සිිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සොයා බලා ප්‍රතිකර්ම නිර්දේශ කරනු පිනිස ය.

නමුත් එකී කිසිදු කොමිසමක නිර්දේශ අවංකව ක්‍රියාත්මක කිරිමට මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ආණ්ඩුවක් උත්සාහ දරා නැත. අද සත්‍ය කොමිසමක් පිහිටුවන්නට ඉඩ ලැබෙන්නේ නම් ඒ ජිනීවා ක්‍රියාවළිය විසින් ඇතිි කරන ලද තෙරපුම නිසා පමණය.

අන්තර් ජාතික බලපෑම, විශේෂයෙන්ම එක්සත් ජාතින්ගේ නිරීක්ෂනය, ජිනීවා ක්‍රියාවළිය අතවශ්‍ය වන්නේ එනිසා ය.

බණ කීමෙන් ශිෂ්ටාචාර සමාජයක් ඇති කළ හැකි නම් ශ්‍රී ලංකාව තරම් ශිෂ්ඨාචාරවත් රටක් ලොව නොතිබෙන්නට පුලුවන. එමෙන්ම එල්ලුම් ගස් හිටුවීමෙන් හෝ ජඩයින් ඝාතනය කිරීමෙන් හෝ එවැනි සමාජයක් ඇති කරන්නට ද බැරි ය. ඒ සඳහා සත්‍ය සෙවීම සඳහා වූ යාන්ත්‍රණයන් සහ මහජන සහභාගිත්වය අවශ්‍ය ය. වැරදි පිලිගැනීමත් ඒවාට හේතු සෙවිමත් අවශ්‍ය ය. ජිනීවා ක්‍රියාවළිය වැදග්ත වන්නේ එය විසින් මෙම එවැනි පියවරයන් නිර්දේශ කරන නිසා ය.

සුනන්ද දේශප්‍රිය



2019-02-23
Advertisement

Find us on Facebook