English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සිරිසේන ආණ්ඩුවේ ජයග‍්‍රහණයක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කළ යුතුව තිබේ


2015 ජනවාරියේදී ශ‍්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප‍්‍රශස්ත ප‍්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන පක්ෂ සහ සිවිල් සංවිධාන කණ්ඩායම් ඒ අරභයා පොදු අපේක්ෂකයෙකු වටා ගොනු වූහ. ඒ, ඊට ටික කලකට මත්තෙන් රාජපක්ෂ පාලනයෙන් කැඞී ආ මෛත‍්‍රීපාල සිරිසේනයි. ස්වකීය ආදිතම නායකයාව පතුරු ගැසූ මොහු, යුද්ධයක් නිමා කළ බලමහිමයේ ආනුභාවයෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයකුත් ඇති කරගෙන සදා රජවීමට බැලූ ඒ දැවැන්ත නායකයාව පරාජයට පත්කෙළේය.

එකී සිරිසේන ආණ්ඩුවේ ආරම්භක අවදියේ ඉහළම ජයග‍්‍රහණය වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ මගින්, රාජපක්ෂ ආණ්ඩුව ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන ලදි. ජනාධිපති තනතුර සතුව තිබූ යෝධ, තනි පුද්ගල අභිමතානුසාරී විධායක බලය කප්පාදු කරන ලදි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලදි. ‘ව්‍යවස්ථා සභාවේ’ භූමිකාව ජවසම්පන්න කරන ලදි. මේ මගින්, සත්තකින්ම, ශ‍්‍රී ලංකාව යළි තිරිහන් කැරැවුණි. ඒ අනුව, වෘත්තීය කාර්යයන්හි නිමග්න උසස් පොලිස් නිලධාරීන් දේශපාලන අතපෙවීම්වලින් නිදහස් කෙරුණි. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක අගතිගාමීව පන්නා දැමීමෙන් පහළ අඩියකට වැටී සිටි අධිකරණය නගා සිටුවුණි. ඉහළ පෙළේ රාජ්‍ය තනතුරු සඳහා කෙරෙන පත්කිරීම් ‘ව්‍යවස්ථා සභාවේ’ සාමූහික තීරණයට යටත් කෙරුණි. ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ඉතා වැදගත් ස්වාධීන කොමිෂන් සභා පද්ධතියක් ඇති කෙරුණි. ඒ වූ කලී, ශ‍්‍රී ලංකාව නම් වූ රාජ්‍යය අත්කර ගත් අතිශය වැදගත් ප‍්‍රගතියකි. 2015, 2016 සහ 2017 යන කාලය මුළුල්ලේම ජනාධිපති සිරිසේන එකී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රශංසාවට ලක්කෙළේය. එය සත්තකින්ම නිවැරදි ප‍්‍රශංසාවකි. අප එකී උරුමය තවදුරටත් ආරක්ෂා කොට පෝෂණය කළ යුතුව තිබේ.



මෑතකදී ජනාධිපති සිරිසේන දේශපාලනික කරණමක් ගැසීය. රාජපක්ෂ පාලනයේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව ගෙන ගිය ඉහත කී දේශපාලනයේ සිට ඔහු දැන් රාජපක්ෂලා බලයට පත්කැරැවීම තුළින් තමාගේ දේශපාලනික වාසනාව සහ අනාගතය උර ගා බලන තත්වයට පත්ව සිටී. එම වෙනස, අනිවාර්යයෙන්ම, ඔහුගේම සමාජ ප‍්‍රතිසංස්කරණ සහ සාධනීය විපර්යාසයන් පිළිබඳ මෑත කාලීන උරුමයට සතුරුව පවතින්නකි. මන්ද යත්, දැන් ඔහු ඊට සපුරා වෙනස් දේශපාලනික න්‍යාය පත‍්‍රයක් සහ සංස්කෘතියකට උරදීමට පේවී සිටින බැවිනි. එය ජනාධිපතිවරයාගේ දේශපාලනික අයිතියක් විය හැකිය. එහෙත්, එකී මගේ ඥානාන්විත භාවය නම් අඩමාණ ය. ඒ කෙසේ වෙතත්, ඉදිරියේදී පැමිණීමට නියමිත ජනාධිපතිවරණ දේශපාලන හාහෝව තුළ මහජන ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදය යටපත් වී යාමට ඇති ඉඩකඩ සලකාගෙන, 2015 රටේ බහුතරයකගේ අනුමැතිය මත ඇති කර ගත් ප‍්‍රතිසංස්කරණ පද්ධතියේ ජයග‍්‍රහණය අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතුව තිබේ.


ව්‍යවස්ථා සභාවේ’ සාමූහිකය

රාජ්‍ය මර්මස්ථානවලට කෙරෙන පත්වීම් ස්වාධීනව සොයා බැලෙන, සාමූහික නායකත්වයක් විසින් ඒවා අනුමත කෙරෙන නියාමනයක් පිළිබඳ මූලධර්මය, ‘ව්‍යවස්ථා සභාවේ’ අන්තර්ගත සාරයයි. විධායකයෙන් ස්වාධීනව පැවතිය යුතු යැයි පිළිගත් ඉහළ අධිකරණයට සහ ස්වාධීන කොමිෂන් සභාවලට කෙරෙන පත්කිරීම් ඊට අයත් වෙයි. මානව හිමිකම් කොමිසම වේවා, පොලිස් කොමිසම හෝ අල්ලස් කොමිසම වේවා, වෙන මොනයම් කොමිසමක් වේවා, ඒවායේ මූලික ස්වභාවය වන්නේ, ඉහළ පත්කිරීම් සම්බන්ධයෙන් කෙරෙන නියාමනය සහ සුපරීක්ෂාවයි.

ජනකාන්ත නගරන්කාරයන්/කාරියන්ගෙන් පාලනය වන රාජ්‍යයක සිට ආයතන සහ ප‍්‍රතිපත්ති මගින් පාලනය වන රාජ්‍යයක් වෙත ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතුව තිබේ. රටේ පරමාධිපති ජනතාවට වග වන, රටේ පරමාධිපති ජනතාවට විනිවිද පෙනෙන ආණ්ඩුකරණයක් වෙත ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතුව තිබේ. එය, විටින් විට පවත්වනු ලබන මැතිවරණවලින් එහාට ගිය, ස්වාධීන යාන්ත‍්‍රණයන් සහ ක‍්‍රියාවලීන් පිළිබඳ කාරණයකි. ප‍්‍රධාන පෙළේ අධිකරණ පත්වීම් සහ නියාමන තනතුරු, ‘ව්‍යවස්ථා සභාවක’ සාමූහිකත්වයක් මගින් නිශ්චය කිරීමේ අවශ්‍යතාව පැනනගින්නේ එකී අභිමතාර්ථ සාධනය පිණිස ය. උදාහරණයක් වශයෙන්, ඉදිරි ජනාධිපතිවරණයක ප‍්‍රධාන අපේක්ෂකයෙකු ද පුරවැසි භාවය දරණ ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත්, රාජ්‍යයේ ඉහළ තනතුරු බොහොමයක් එරට සෙනේට් සභාවේ අනුමැතියට යටත් වන බව පෙන්වා දිය හැකිය. ‘‘රජය යනු මම ය’’ යන, ප‍්‍රංශයේ 14 වැනි ලූවී රජුගේ ඒ පැරණි කියමන සනිටුහන් කළ රාජත්වය අද ලෝකයෙන් පැහැදිළිවම තුරන්ව ඇත.

මේ වෑයම, අහවල් තනතුරට පත්කළ අහවල් පුද්ගලයාගේ යෝග්‍යතාව හෝ අයෝග්‍යතාව පිළිබඳ විමසා බැලීමක් නොවේ. මගේ තර්කය වන්නේ, නිල බලයෙන් පත්වෙන කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ ඔවුන්ගේ නාම යෝජනාවෙන් පත්වෙන නියෝජිතයන් ඇතුළු, පක්ෂයකට අයත් නැති තවත් කීර්තිමත් පුද්ගලයන් තුන් දෙනෙකු සහිත සාමාජිකයන් දහ දෙනෙකුගේ සාමූහිකත්වයක් විසින් ගන්නා පොදු තීන්දුවක්, විධායක ජනාධිපතිවරයා වැනි තනි පුද්ගලයෙකු විසින් ගන්නා තීන්දුවකට වඩා පක්ෂපාතීත්වයක් භජනය කරන, වැරදි තීරණයක් විය නොහැක්කේය යන්නයි. මෑත කාලීන සිදුවීම්වලින් මනාව පෙන්නුම් කොට ඇති පරිදි, ශ‍්‍රී ලංකාවේ ජනාධිපති තනතුර යනු, දේශපාලන බලය සඳහා වන පාක්ෂික දේශපාලනය යහමින් භජනය කරන්නකි. එසේම, ‘ව්‍යවස්ථා සභාව’ පිළිබඳ විවේචනයත්, හුදෙක් රාජපක්ෂ හිතවාදී කඳවුරෙන් පමණක් ව්‍යුත්පන්න වන්නකි. පසුගිය ඔක්තෝබර් අවසානයේ සිට දෙසැම්බරය දක්වා දිග් ගැස්සුණු සිද්ධි දාමයේ පසුබිම තුළ තබා සලකා බලන විට, එම කාලයේ ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු/එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෙටිකාලීන පැවැත්ම, රටේ පවතින නීතිය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අවස්ථාවක් සේ ඔප්පු වූ කාරණය එහිදී කැපී පෙනේ. අනිත් අතට, ඉහළ අධිකරණයට කෙරෙන පත්වීම් නිර්දය විවේචනයට ලක්කිරීම, ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ආනුභාවය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව සමග නිතර හැප්පෙන ‘ඒකාබද්ධ විපක්ෂයේ’ තර්කයටම පෙරලා සතුරුව සිටින බව, එම කඳවුරේ අන්තවාදී සිංහල ජාතිකවාදීන්ට නොවැටහී ඇති සැටියෙකි.

මානව හිමිකම් කොමිසමේ ආරක්ෂාව වෙනුවෙන්


මානව හිමිකම් සුරැකීමේ දීර්ඝ කාලීන ප‍්‍රශ්නයක් ලංකාවට තිබී ඇත. කාලයක්, නීතියෙන් පිටස්තරව කෙරෙන මිනිස් ඝාතන සම්බන්ධයෙන් අපි කුප‍්‍රකටව සිටියෙමු. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධයක් තුළ ආරක්ෂාව පිළිබඳ පොදු අවශ්‍යතාව වෙනුවෙන් මානව හිමිකම් දෙවැනි තන්හි ලා සැලකීමේ සාමාන්‍ය පුරුද්දක් අපට තිබුණි. එය හරියට, ක‍්‍රිස්තු පූර්ව 63 වැනි සියවසේ රෝම අධිරාජ්‍යයේ විසූ, දාර්ශනික සෙනේට් සභිකයෙකු වූ සිසෙරෝ කී පරිදි, ‘‘නපුරට එරෙහිව යහපත උදෙසා ගෙන යන සටනේදී නීතිරීති නිහඬ වන්නේය’’ යන කියමන වාගේ ය. එහෙත් යුද්ධයෙන් පසුව අප වෙනස් විය යුතුව තිබේ. අපේ මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සුරක්ෂා කරගෙන, සාමකාමී පාලනයක් ගෙන යාමට ගන්නා ලද ප‍්‍රයත්නය, 2015 න් පසු ඇති කර ගත් ප‍්‍රතිසංස්කරණවල සාධනීය ප‍්‍රතිඵලයකි. යුදමය මනෝ භාවය ඒ වසරේ පැවති මැතිවරණවලින් පරාජයට පත්කෙරුණි.

ජනාධිපතිවරයාමත් ප‍්‍රතිඥා දී ඇති පරිදි, ‘සුදු වෑන්’ සංස්කෘතියට යළි ඉඩ දීමේ හැකියාවක් අපට නැත. පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන් සහ රගර් ක‍්‍රීඩකයන් නීතියෙන් ගැලවී මහ පාරේ මරා දැමෙන තත්වයක් යළි ඇති වීමට ඉඩ දීමේ හැකියාවක් අපට නැත. ස්වාධීන කොමිෂන් සභා අපට අද අත්‍යවශ්‍ය කෙරේ. සමාජයක ශක්තිය මැනෙන්නේ, බලවන්තයා ආරක්ෂා කිරීමට ඇති හැකියාවෙන් නොව, දුබලයා ආරක්ෂා කිරීමට ඇති හැකියාවෙන් ය. ස්වකීය කොමිෂන් සභාවේ අද්විතීය කාර්යභාරය ගැන මනාව කරුණු ගෙනහැර දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩුගම කියා සිටි පරිදි,

    ‘‘ස්වාධීන කොමිෂන් සභාවක් රටක සියලූ පුරවැසි කණ්ඩායම්වල අයිතීන් ආරක්ෂා කරයි. සමාජයෙන් කොන් කරන ලද සහ ප‍්‍රතික්ෂේප කරන ලද පුද්ගල කණ්ඩායම් ද ඊට අයත් ය. මන්ද යත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ශිෂ්ට සම්පන්න සමාජයක මූලික ලක්ෂණය වන්නේ, මනුෂ්‍යත්වය සහතික කරලීම වන බැවිනි.’’

ආණ්ඩුකරණයට අදාළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිසංස්කරණ, මනාව ඔරොත්තු දීමේ ශක්තියක් පෙන්නුම් කොට තිබේ. ඒ මගින් ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජව සම්පන්න වී ඇත. 2015 වෙනස වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මිලියන 6.2 ක ජනතාව, එම වෙනසේ නිර්මාතෘවරුන් මේ වන විට පදේ වෙනස් කොට ඇතත්, එකී ජයග‍්‍රහණය ආරක්ෂා කර ගත යුතුව තිබේ.

හරීම් පීරිස්

2013 පෙබරවාරි 12 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ 19-A, Sirisena Government’s Achievement, Must Be Defended
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි




2019-02-14
Advertisement

Find us on Facebook