English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රට බෙදන්නෙ කොහේ තියෙන ව්‍යවස්ථාවකින්ද? - ජේෂ්ඨ නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුව රට බෙදා වෙන් කරන නව ව්‍යවස්ථාවක් දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වී ගෙන ඒමට නියමිත බවට විපක්ෂය හා ඇතැම් භික්ෂූන් වහන්සේ කරන චෝදනාව පිළිබඳ සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සමඟ කළ සංවාදයකින් සැකසුණකි.

විශේෂඥ කමිටුව සකස් කළ විශේෂඥ වාර්තාව නව ව්‍යවස්ථාව ලෙස පිළිගනිමින් මේ දිනවල විශාල ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබේ. පළමුව කිව යුත්තේ මෙය දේශපාලන වාසිය තකා සත්‍ය විකෘති කර ජනතාව නොමඟ යැවීමට ගත් පටු දේශපාලන ක්‍රියාමාර්ගයක් බවය. එනිසා පළමුවෙන්ම විශේෂඥ වාර්තාවක හා පනත් කෙටුම්පතක වෙනස පෙන්වා දීමට මම කැමැත්තෙමි.

කිසියම් පනතක් පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට ප්‍රථම ඒ අදාළ අමාත්‍යංශවල දළ කෙටුම්පත් සැකසිය යුතු වේ. ඒ සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීම සාමාන්‍ය සිරිතය. සාමාන්‍යයෙන් නීති කෙටුම්පත් කිරීමකදී මූලික වශයෙන් නීතියට ඇතුළත් කළ යුතු කරුණු අඩංගු ලියවිල්ලක් සකස්කළ යුතුය. එම ක්‍රියාවලිය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ ‘මෙමරන්ඩම්(Memoramdum)’ කියාය.

‘මෙමරන්ඩම්’ එකක් සකසන්නේ නීතිමය ස්වරූපයෙන් නොවේ. එනිසා එය නීතිමය ලියවිල්ලක් නොවේ. එය නීතිමය ලියවිල්ල සකස් වන තුරු ඒ පිළිබඳ සකසන වාර්තාමය ලියවිල්ලක් පමණි. ඒ අනුව ‘මෙමරන්ඩම්’ නැති නම් වාර්තාමය ලියවිල්ල නීතිය කෙටුම්පත් කිරීම සඳහා උපකාර වන්නක් පමණි. මන්ද යත් මින් අනතුරුව දළ කෙටුම්පත් ගණනාවක් සකස් කර අදාළ පාර්ශ්වයන්ගේ අදහස් උදහස් සලකා බලා නැවත එය සකස් කර අදාළ අමාත්‍යංශය හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අතර එකඟත්වයකින් අනතුරුව එම කටයුත්ත අවසන් වන බැවිනි.

එනමුත් මේ ආකාරයට සකස් වන අවසාන කෙටුම්පතද පනත් කෙටුම් පතක් බවට පත් වන්නේ නැත. එය පනත් කෙටුම්පතක් බවට පත් වීමට ප්‍රථම නැවත දළ කෙටුම්පත් ගණනාවක් ඒ සඳහා සකස් කරන බැවිනි.

මෙය පනත් කෙටුම්පතක්ද ?

නව ආණ්ඩුව බලයට පත් වී පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ යෝජනාවක් අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමණ්ඩලය පිහිටුවනු ලැබීය. එහි දී 21 දෙනෙකුගෙන් යුත් මෙහෙමුම් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස එකඟතාව ඇති විය. එම මෙහෙයුම් කමිටුවට අතුරු වාර්තා ඉදිරිපත් කළ හැකිය. එමඟින් සකස් කරනු ලබන අවසාන වාර්තාව ඉදිරිපත් කළ යුතු වන්නේ; නීතිමය ස්වරූපයේ ව්‍යවස්ථා කෙටුම්පතක් එයට අමුණා තැබීමෙනි. නමුත් එය කිසි විටෙකත් පනත් කෙටුම්පතක් වන්නේ නැත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ සාකච්ඡා කර වෙනස්කම් ඇතුව හෝ නැතිව ඒ සඳහා තුනෙන් දෙකක ඡන්දය ලබාගත හැකි බව පෙනී යන්නේ නම් එය අනුමත වීමෙන් අනතුරුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.

කැබිනට් මණ්ඩලයේ සහතික වීමෙන් පසුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ පනත් කෙටුම්පතක් බවට පත් වේ. නමුත් මේ වන තෙක් අප එහි මුල් අදියරටවත් පිවිස නැත. එනම් මෙහෙයුම් කමිටුව තම අවසන් වාර්තාව සමඟ නීතිමය ස්වරූපයෙන් පනත් කෙටුම්පතක් බවට පත් වීමට ඉඩ තිබෙන වාර්තාවක් පිළිබඳ සාකච්ඡා කර
නැත.

.


විශේෂඥ වාර්තාවේ අවශ්‍යතාව

ඒ වෙනුවට මින් පෙර සඳහන් කළ ‘මෙමරන්ඩම් ’ ක්‍රියාවලිය සමඟ සන්සන්දනය කළ හැකි වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ 2017 සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කරන ලද මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවය. එය පවතින්නේ නීතිමය ස්වරූපයකින් නොවේ. එමඟින් වාර්තාමය ස්වරූපයකින් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ තුළ නොයෙක් පක්ෂ මඟින් ඉදිරිපත් කර ඇති පරිශිෂ්ටද ඇතුළත්ය. මීට අමතරව 2016 වසර අගභාගයේදී අනුකමිටු හයෙන් වාර්තා හයක් ඉදිරිපත් කර තිබිණි. ඉන් එක් අනු කමිටුවක වාර්තාව පමණක් නීතිමය ස්වරූපයකින් ඉදිරිපත් කර තිබේ. ඒ මගේද සහය ඇතිව මහින්ද සමරසිංහ මහතා මුලිකත්වයෙන් සකස් කෙරුණු මූලික අයිතිවාසිකම් කමිටුව මඟින් සකස් කළ කමිටු වාර්තාවය. එම වාර්තාව පමණක් නීතිමය ස්වරූපයෙන්ම සකස් කර තිබේ.

පසුගිය දිනවල ජනාධිපතිවරයා ප්‍රමුඛව බොහෝ දෙනා පවසා සිටියේ නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාවට ගැනීමට නම් අවම වශයෙන් නීතිමය ස්වරූපයෙන් සකස් කළ මූලික කෙටුම්පතක්වත් ඉදිරිපත් වී තිබිය යුතු බවය. එසේ වුව හොත් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා පවසා සිටියේය. ඉන්පසු මෙහෙයුම් කමිටුවේ යෝජනාව පරිදි මෙම කාර්ය විශේෂඥ කමිටුවට පැවරිණි. එම විශේෂඥ කමිටුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ඒකමතිකව පත් කරන ලද කමිටුවකි. මෙය හිටපු මහාචාර්යවරුන්, වත්මන් මහාචාර්යවරුන්, නීතිය සහ දේශපාලනය පිළිබඳ හිටපු සහ දැනට සිටින මහාචාර්යවරුන්, උප කුලපතිවරයෙක්, ඉහළ රාජ්‍ය නිලධාරීන් හා නීතීඥවරුන්ගෙන් සමන්විත වූවකි.

විවිධ දේශපාලන පක්ෂ විසින් මෙහෙයුම් කමිටුවේදී එම සමාජිකයෝ නම් කරනු ලැබූහ. එයට ඒකාබද්ධ විපක්ෂයෙන් නම් කරන ලද නීතීඥවරියක් ද ඇතුළත්ය.

ජනාධිපතිවරයාගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව විසින් මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සහ අනුකමිටු වාර්තා පදනම් කරගනිමින් නීතිමය ස්වරූපයේ වාර්තාවක් සකස් කරන මෙන් එම විශේෂඥ කමිටුවෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව විශේෂඥ කමිටුව එම නීතිමය වාර්තාව සකස් කෙළේය. එලෙස විශේෂඥ කමිටුව සකස් කළ නීතිමය ස්වරූපයෙන් යුත් වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිතය. එසේම රටේ පොදුමහත් ජනතාවගේද සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතය. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ මෙන්ම රටේ පොදුමහත් ජනතාවගේත් අවදානයට මෙය ලක් කිරීම ඉතාම වැදගත් වන බැවිනි. දැනටමත් මෙය පී.ඩී.එෆ් පිටපතක් ලෙස භාෂා තුනෙන්ම ඕනෑම අයකුට බාගත හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

එසේම මෙය හැකි ඉක්මනින් මුද්‍රණය කර ජනතාව අතට පත් කළ යුතුය. එම සාකච්ඡාවලින් පසුව මෙහෙයුම් කමිටුව විසින් ඒ කරුණු සැලකිල්ලට ගෙන තමන් විසින් ඉදිරි පත් කරන අවසාන වාර්තාවට ඇමිණිය යුතු නීතිමය කෙටුම්පත සකස් කිරීමට පියවර ගනු ඇති. එහිදී විශේෂඥයින්ගේ සහ නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඒ සඳහා ලබාගත හැකිය. ඒ අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යැවිය හැකි ලියවිල්ල බවට මෙය පත් කළ හැකිය.

ඉන් අනතුරුව සකස් කරනු ලබන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරයි. එසේ වුවත් එය ව්‍යවස්ථාමය කෙටුම් පතක් බවට පත් වන්නේ නැත. මන්ද යත් එය ව්‍යවස්ථාව පිළිබඳ මූලික කෙටුම්පතක් පමණක් වන බැවිනි.

එය මා පෙර සඳහන් කළ පරිදි ව්‍යවස්ථා මණ්ඩලයේ තුනෙන් දෙකකින් සම්මත වන්නේ නම් ඊළඟ පියවරට යා හැකිය. ඒ අනුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් සහතික කර අනතුරුව ගැසට් පත්‍රයට ඇතුළත් වී පනත් කෙටුම්පතක් බවට පත් වේ. එය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වන්නේ ඉන් පසුවය. එම සාකච්ඡාවෙන් අනතුරුව කථානායකවරයා සහතික කර එය ගැසට් කිරීමෙන් අනතුරුව පනතක් බවට සම්මත වේ.

ඒකීය හා ඒකීය නොවන රාජ්‍යය

ව්‍යවස්ථා නීතියද ඇතුළත්ව නීතිය පිළිබඳ විශාරදයකු වන ජී.එල් පීරිස් මහතා වැනි අයකු මෙවැනි තත්ත්වයට පත් වීම පිළිබඳව මම බෙහෙවින් කනගාටු වෙමි. එතුමා 2000 වසරේ ව්‍යවස්ථාව සම්පාදනය කරන විට මටද ඒ සඳහා සහ­ාය වීමට අවස්ථාව ලැබිණි.

මෙරට ව්‍යවස්ථාවක ඒකීය නොවන ලක්ෂණ තිබුණා නම් ඒවා ඇතුළත්ව තිබුණේ එතුමාගේ නායකත්වය යටතේ සකස් කළ එම ව්‍යවස්ථාව තුළය. අඩුම තරමින් එම ව්‍යවස්ථාවේ ඒකීය යන වචනයද නොතිබිණි. එනිසා ඒකීය හා ඒකිය නොවන ව්‍යවස්ථා පිළිබඳව හොඳ අවබෝධයක් එතුමාට තිබේ. අද මේ ආකාරයට කටයුතු කරන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස් නැමැති නීති විශාරදයා නොව ජී.එල්.පීරිස් නමැති දේශපාලනඥයාය.

ඒකීය හා ඒකීය නොවන රාජ්‍යය අතර වෙනස පිළිබඳ සාකච්ඡා කිරීමේදී; ඒකීය රාජ්‍යයක පරමාධිපත්‍ය අවසාන වශයෙන් රැඳී තිබෙන්නේ රටේ සමස්ත ජනතාව සහ ඔවුන් විසින් සිය පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට පත් කරන ලද ව්‍යවස්ථාදායකය මඟිනි. එනම් ව්‍යවස්ථාදායකය කේන්ද්‍රයේ පිහිටන අතර පළාත් සභා, ඇතැම් රටවල මෙන් දිස්ත්‍රික් මණ්ඩල, කලාපීය ආයතන(ඇතැම් රටවල ඒකීය රාජ්‍ය තුළම පිහිටුවාගත් විශේෂ බලතල හිමි වූ කලාපීය ආයතන ඇත) මේ හැම පාලන ක්‍රමයකම මෙම ආයතන සඳහා ලබාදී තිබෙන බලතල අවසාන වශයෙන් කේන්ද්‍රයට පවරාගත හැකි නම් ඒවා ඒකීය රාජ්‍ය වේ.

වෙනත් විදියකින් කියන්නේ නම් ව්‍යවස්ථාවක් සකස් කිරීමට හා එය වෙනස් කිරීමට අයිතිය තිබෙන්නේ ඒ රටේ සමස්ත ජනතාවටය. ඔවුන් එම බලය ක්‍රියාත්මක කරන්නේ කේන්ද්‍රයේ තිබෙන ව්‍යවස්ථාදායකය මඟිනි. එවැනි රාජ්‍ය ඒකීය රාජ්‍ය වේ. නමුත් ෆෙඩ්රල් රාජ්‍යයන් මීට හාත්පසින්ම වෙනස්ය. ඒවා හී මධ්‍යම ආණ්ඩුවට අමතරව වෙනම පාලන ඒකක පිහිටුවා තිබේ. මෙම ඒකකවලට බොහෝ කාරණාවලදී මධ්‍යම ආණ්ඩුව හා සම මට්ටමේ බලතල හිමිව තිබේ.

උදාහරණයක් වශයෙන් ඇමරිකාව පෙන්වාදිය හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව අනුව එරට ප්‍රාන්තවල තුනෙන් දෙකක කැමත්ත නැතිව වගන්තියක කොමාවක් හෝ තිතක් හෝ වෙනස් කළ නොහැකිය. එනම් වොෂින්ටන් නුවර රැස් වන මධ්‍යම ව්‍යවස්ථාදායකයට අමතරව ප්‍රාන්ත පනහෙන් 3/2 ක කැමැත්ත ඒ සඳහා අවශ්‍යය. ඒ අනුව පරමාධිපත්‍ය බෙදීමට ලක් වී ඇත.

සමස්ත රටේම ජනතාවට පරමාධිපත්‍ය හිමි වන අතර ඊට සමගාමීව ප්‍රාන්තවල ජනතාවටත් පරමාධිපත්‍ය බලය හිමි වී තිබේ. ඒ අනුව ප්‍රාන්තවල තුනෙන් දෙකක කැමැත්ත නැතිව ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය. එවැනි රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයන් ලෙස හැඳින්විය හැකිය. ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයක් වුවද එය ඇත්තෙන්ම අර්ධ ෆෙඩරල් රාජ්‍යයකි. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය පිහිටා තිබුණද, ව්‍යවස්ථාවේ සෑම වගන්තියක්ම වෙනස් කිරීම සඳහා ප්‍රාන්තවල අනුමැතිය අවශ්‍ය නොවේ.

සමහර දේ මධ්‍යම රජයට අවශ්‍ය ආකාරයට වෙනස් කළ හැකිය. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය අතර පවතින සබඳතා පිළිබඳව ව්‍යවස්ථාව තුළ සඳහන්ව ඇති වගන්ති වෙනස් කිරීම සඳහා පමණක් ප්‍රාන්තවල තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වේ. නමුත් මුළු ව්‍යවස්ථාවේ සෑම වගන්තියකටම ප්‍රාන්තවල අනුමැතිය අවශ්‍ය නොවේ. එනිසා එහි පරමාධිපත්‍ය බලය තරමක් දුරට බෙදී පවතී. එමනිසා එය අර්ධ ෆෙඩරල් රාජ්‍යයක් වේ.

ඔරුමිත්තනාඩුව

එනිසා සකස් කර තිබෙන අතරු වාර්තාව දෙස බැලීමේදී එහි පැහැදිලිව සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බෙදිය නොහැකි බවය. එය ඒකීය රාජ්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට බලය ඇත්තේ කේන්ද්‍රයේ තිබෙන ව්‍යවස්ථාදායකයට හා ජනමත විචාරණයක් අවශ්‍ය වන විට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවය. ඒ බව පැහැදිලිව මෙහි සඳහන්ව තිබේ. එය විශේෂඥ කමිටු වාර්තාවේද ඒ ආකාරයෙන්ම සඳහන්ව තිබේ. අනාගතයේදී යෝජිත ව්‍යවස්ථාව සම්මත වුවහොත් එම ව්‍යවස්ථාව වෙනස් කිරීමට හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට පළාත් සභාවල කැමැත්ත අවශ්‍ය නොවේ. එය මුළුමනින්ම කේන්ද්‍රයේ තිබෙන ව්‍යවස්ථාදායකයේ කාර්යයකි. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නම් මුළු ශ්‍රීලාංකික ජනතාවටම ඒ සඳහා අවස්ථාව සැලසේ.

ඒ අනුව පරමාධිපත්‍ය බලය බෙදීමට ලක් වී නැත. එ් නිසා විපක්ෂය විසින් චෝදනා කරන ආකාරයේ කිසිදු ෆෙඩරල් ලක්ෂණයක් මෙහි නැත. දෙමළ ජාතික සන්ධානය මේ වන විට ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගෙන තිබේ. කෙදිනකවත් බලාපොරොත්තු නොවුණු ආකාරයට අද ඔවුන් එවැනි එකඟත්වයකට පැමිණ තිබීම වැදගත් කාරණයකි. ඔවුන්ගේ පරමාදර්ශය ෆෙඩරල් වුවද ඒකිය රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමට අද ඔවුහු එකඟ වී සිටිති.

ඒකීය රාජ්‍යයේ දෙමළ වැකිය ලෙස ඔවුන් යෝජනා කර ඇත්තේ ඔරුමිත්තනාඩු යන වචනයයි. ඔරුමිත්තනාඩු යනු ඒකීය නොව එක්සත් යන අර්ථය ගැබ්ව පවතින්නකැයි ඇතැමුන් චෝදනා කරන බව පෙනේ. ඒ පිළිබඳව මෙහෙයුම් කමිටුවේ දී දෙමළ පක්ෂ සමඟ පමණක් නොව මුස්ලිම් පක්ෂ සමඟද සාකච්ඡා කිරීමේදී ඔවුන් මෙම යෙදුමට එකඟ විය. එසේම දේමළ භාෂා විශේෂඥයන්ගෙන් විමසීමේදීද ඔවුන් ප්‍රකාශ කර සිටියේ එහි අදහස ඒකීය යන්න බවය. ඒකීය යන්නට නිවැරදි වචනය ඔරුමිත්තනාඩු නොවේ නම්; ඒ සදහා වෙනත් වචනයක් තිබේ නම් අපට එය ඇතුළත් කළ හැකිය. ඒ සඳහා කිසිම බාධාවක් නැත. එසේ නැතිව ජාතිවාදය අවුලවා රට ගිනි තැබීමට කටයුතු කිරීම බාල දේශපාලන උපක්‍රමයක්ය යන්න මගේ හැඟීමය.

ඊනියා ෆෙඩරල් ව්‍යවස්ථාව

එසේම මේ සඳහා එල්ල වී ඇති අනෙක් චෝදනාව වන්නේ මෙමගින් රට බෙදීමට කටයුතු කර ඇති බවය. වර්තමාන ව්‍යවස්ථාව යටතේවත් පළාත් සභාව විසුරුවා හැරීමට බලතල ලබාදී නැත. 1991 උතුරු නැඟෙනහිර ඒකාබද්ධව තිබෙන කාලයේ ඉන්දියන් හමුදාව ලංකාවෙන් පිට කිරීමට ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊයට ආයුධ ලබාදුන් අවස්ථාවේ පළාත් සභාවේ හිටපු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් හිතුවක්කාර ලෙස සහ අනුවණ ලෙස ප්‍රකාශ කර සිටියේ උතුරු නැඟෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවය. අනතුරුව ඔහු නැවකට නැඟී පලා ගියේය. ඔහුගෙන් ඒ පිළිබඳ විමසූ විට අදත් ඒ පිළිබඳව සිය කනගාටුව පළ කරයි.

ඒ මොහොතේ ප්‍රේමදාස ජනාධිපතිවරාය කල්පනා කළේ උතුරු නැගෙන හිර විසුරුවා හරින ක්‍රමයක් පිළිබඳවය. ඒ සඳහා විශේෂ පනතක් ගෙනැවිත් එදා ඒ කටයුත්ත සිදු කිරීමට එතුමාට සිදු විය. නමුත් මෙම අතුරු වාර්තාව හා විශේෂඥ වාර්තාව අනුවත් යම්කිසි පරිපාලනයක් සන්නද්ධ කැරැලි ගැසීමක් හෝ අරගලයක් ප්‍රකාශයට පත් කරන්නා වූ තත්ත්වයක් පැන නැඟී ඇත්නම් නම් හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කරයි නම් හෝ ජනරජයේ භෞමික අඛණ්ඩතාවට හෝ පරමාධිපත්‍යයට පැහැදිලි සහ විද්‍යාමාන අනතුරක් කරයි නම් එවිට ඒ සඳහා කේන්ද්‍රයට මැදිහත් විය හැකිය.

ඒ අනුව එකි පළාත් සභාවේ සියලු බලතල පවරාගැනීමට ජනාධිපතිවරයාට බලය ලබා දී තිබේ.

ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ බලතල, ප්‍රධාන අමාත්‍යවරාගේ බලතල, අමාත්‍යවරුන්ගේ බලතල, එසේත් නැති නම් පළාත්බද අධිකාරියක බලතල සියල්ල හෝ කොටසක් පවරාගැනීමට ජනාධිපතිවරයාට හැකිය. එසේ කර සෑහීමකට පත් විය නොහැකි නම් අදාළ පළාත් සභාව විසුරුවා හැරීමට බලය ලබා දී තිබේ.

ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාවේවත් නැති බලයක් රටේ භෞමික අඛණ්ඩතාවට හා සෛවරීභාවය ආරක්ෂා කිරීමට නව ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇත. එසේ නම් මෙම ව්‍යවස්ථාව බෙදුම්වාදයට ඉඩදෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් වන්නේ කෙසේදැයි මම නොදනිමි. මන්ද යත් මෙම ව්‍යවස්ථාවේ මෙරට බෙදිය නොහැකි බව මුලින්ම සඳහන් කර ඇති බැවිනි. එසේම කතා බහට ලක් වන වාර්තාවේද පළමුවෙන්ම සඳහන් කර ඇත්තේ නොබෙදුණු හා බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය ව්‍යවසථාදායකයට සහ ශ්‍රී ලංකාවේ මුළු මහත් ජනතාවට පැවරී ඇති රාජ්‍යයක් බවය. එනිසා ඒකීය රාජ්‍යයකට මීටත් වඩා හොඳ නිර්වචනයක් ලබා දිය හැකිද යන්න මට නම් ගැටලුවකි.

රසික කොටුදුරගේ

උපුටා ගැනීම සිළුමිණ 2019 ජනවාරි 20





2019-01-20
Advertisement

Find us on Facebook