English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විමල් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයි
පසුගිය ජනවාරි 10 වෙනි දින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර  විමල් වීරවංශ විසින් පාර්ලිමේන්තු විවාදයක දී ලංකාවේ සියළුම ඉහළම පත්වීම් සිදු කරනු ලබන ව්‍යවස්ථා සභාව විවේචනයට ලක් කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණය අපහාසයට ලක් කිරීමක් සිදු කරනු ලබනවා. ඔක්තෝම්බර් 26 වෙනි දින සිදුවුනු ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලියේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙත්සම්කරුවන් 13 දෙනෙක් විසින් ඊට එරෙහිව පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කලා. ඒ අවස්ථාවේදීත් විමල් වීරවංශ විසින් අධිකරණය විවේචනය කිරීමත්, ඊට අභියෝග කිරීමත් සිදු කරනු ලැබුවා. මේ අවස්ථාවේදී විමල් වීරවංශ විසින් එම විවේචනය සිදු කරනු ලබන්නේ ආගමික පසුබිමක් ඊට ඇතුළත් කරමින් අදහස් ප‍්‍රකාශ කරනු ලබනවා. ඉතිහාසය පුරාම ඔහු විසින් සිදු කරනු ලබන ආගම්වාදී, ජාතිවාදී, අන්තවාදී ප‍්‍රකාශයන් සමාජයේ නිසි පැවැත්මට හානි කරයි. එමෙන්ම ජනතාව තුළ අධිකරණ කෙරෙහි ගොඩ නැගෙමින් පවතින විශ්වාසයටත් හානි කරයි. ඔහු විසින් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරන ලද අදහස් මෙසේයි.
 
”දැන් බලන්න ව්‍යවස්ථාදායක සභාව, කතානායකතුමා යවනවා ජනාධිපතිතුමාට ලිපියක්, ජේෂ්ඨත්වය අනුව විනිසුරුවන් පත් කිරීමට කටයුතු කරන්න ව්‍යවස්ථාදායක සභාව එකග නෑ කියලා.ක‍්‍රයිටීරියා එකක් නෑ ව්‍යවස්ථාදායක සභාවට. ජේෂ්ඨත්වය අනුව නම් ඇරියම ජනාධිපතිවරයා හරවලා යවනවා ව්‍යවස්ථාදායක සභාව. අද එක්තරා ආගමික කල්ලියක තිප්පොළක් බවට පත් කරගෙන තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ආගමික කල්ලියට අයත් කෙනෙක්ගේ නමක් ආවොත් විතරයි ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කරලා යවන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමෙනි, ස්වාධීන කරනවා කියලා එක එක ආයතන හදාගෙන, ඒවයේ නියෝජනය හදාගෙන. අන්තිමට අද මේ රටේ තීරණාත්මක වැදගත් තැන් ”

මේ සම්බන්ධයෙන් ජනවාරි 14 වෙනි දින ප‍්‍රකාශයක් නිකුත් කරන නීතිඥ සංගමය මෙසේ පවසයි.

”2019.01.10 වන දින පාර්ලිමේන්තු සැසිවාරයකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මන්තී‍්‍රතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව කර ඇති ප‍්‍රකාශය, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකියි.

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර දී වීරවංශ මන්තී‍්‍රවරයා විසින් ”ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක ගුහාවක්” බව ප‍්‍රකාශ කර ඇත. තවදුරටත් ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව අනුමත කර ඇත්තේ ද එක්තරා ආගමික කල්ලියකට අයත් පුද්ගලයන්ගේ නම් බවය. නමුත් පසුගිය වසර ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් පිළිබඳව සලකා බැලීමේදී එම ප‍්‍රකාශය සත්‍යයෙන් තොර බව පැහැදිලිය.

වීරවංශ මන්තී‍්‍රතුමා විසින් කරන ලද ඉහත ප‍්‍රකාශය හේතු කොට ගෙන අධිකරණයේ මුදුන් මල් කඩ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විවේචනය කිරීම හරහා අධිකරණයෙහි ස්වාධිනත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇත. අධිකරණ විනිසුරුතුමන්ලාගේ ආගම හෝ ජාතිය පිළිබඳව විවේචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කෙරෙන අසාධාරණ පහරදීමක් බව නීතිඥ සංගමය තරයේ ප‍්‍රකාශ කර සිටිමු. මහජන නියෝජිතයන් සහ දේශපාලඥයන් හට අධිකරණය විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් ඇති නමුත් දැඩි ලෙස අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීම අධිකරණයේ ස්වෛරීභාවය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි දැඩි බලපෑමක් වේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරවංශ මන්තී‍්‍රවරයා විසින් පාර්ලිමේන්තුව තුළදී, පාර්ලිමේන්තු වරප‍්‍රවාද භාවිතා කරමින් මෙම ප‍්‍රකාශය සිදු කර ඇති නිසා ඔහුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගත නොහැකි වුවද, මන්තී‍්‍රවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පිටත දී මෙම ප‍්‍රකාශය සිදු කරන ලද්දේ නම් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නොපැකිලෙන බවද ප‍්‍රකාශ කර සිටියි.

මේ සම්බන්ධයෙන් වීඩියෝ ප‍්‍රකාශයක් මගින් තම විරෝධය දක්වනූ ලැබූ ශී‍්‍ර ලංකා මෙතෝදිස්ත සභාවේ ආසිරි පෙරේරා රදගුරුතුමන් මෙසේ තම අදහස් දක්වනු ලැබුවා.

”පසුගිය ජනවාරි 10 වෙනි දින පාර්ලිමේන්තුව රැුස්වූ විට එහි සිටින එක්තරා මන්තී‍්‍රවරයෙක්, අපගේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයටත්, හයවෙනි සියවසේ සිට මේ ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත වී තිබෙන, කිතුණු සාසනයටත්, අපහාසාත්මක ප‍්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදු කළ බව, ප‍්‍රවෘත්ති තුළින් මට දැන ගන්නට ලැබී තිබෙනවා. ඒ ප‍්‍රකාශය ගැන මා නියෝජනය කරන ශී‍්‍ර ලංකා මෙතෝදිස්ත සභාවේත්, සමස්ත කිතුණු සභාවේත්, බලවත් අප‍්‍රසාදය, මේ වෙලාවේදී මා පළ කර සිටීමට කැමතියි. අපේ ජනතාවට තමන්ගේ ජීවිතයට යුක්තිය, සාධාරණත්වය ඉටු කර ගැනීමට, යන්න තිබෙන ඉහළම තැන වන ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අධිකරණයට කිසි කළෙක කිතුණු සභාව, විදේශ ආධාර හරහා බලපෑම් නොකරන බව, ඉදිරියටත් නොකරන බවත්, මා මේ මොහොතේදී ප‍්‍රකාශ කර සිටින්නට කැමතියි. එවැනි අදහසක්, ජනතාව අතර ඇති කිරීමට, පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද වලට මුවාවී, ඒ මන්තී‍්‍රවරයා කළ වූ ප‍්‍රකාශය ජනතාව අතරට ඇවිත් ප‍්‍රසිද්ධියේ, සියළු දත්තයන් සමග ඔහු ප‍්‍රකාශ කළ යුතුයි. එවිට කිතුණු සාසනයට අයිති වන අපි උත්තරදීමට, මුහුණ දීමට සූදානම්ව සිටිනවා.

මේ අනුව පෙනී යන්නේ විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී සිදු කරන ප‍්‍රකාශය ජනතාව අතර දී සිදු කරන තුරු පිරිසක් බලා සිටින බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ වෙනත් අධිකරණයකට අපහාස කිරීම බලවත් වරදකි. කිසිඳු තොරතුරක් නොමැතිව විවිධ පුද්ගලයන්ට කණ්ඩායම්වලට අපහාස කිරීම මොවුන් විසින් සැමදාම සිදු කරනු ලබයි. එය කෙදිනක හෝ නැවැත්විය යුතුව ඇත. මේ නිසා බුද්ධිමත් ජනතාව ඒ වෙත තමන්ගේ අවධානය යොමු කරනු ඇතැයි අයිතිය විශ්වාසය පළ කරනවා.





2019-01-17
Advertisement

Find us on Facebook