English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ලසන්ත ඝාතනයට දස වසරයි, සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න තවමත් බැරි උනා.”- ජේෂ්ඨ නීතිඥ අතුල එස් රණගල
“මේ පරීක්ෂණ මුල් කාලයේදී සිදුවුනේ නැහැ. අවස්ථා කිහිපයකදී, පොලිසි කිහිපයකින් පරීක්ෂණ සිදු කළත් පසුව මේ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට මාරු කලා. එහිදී මම බොහෝ අවස්ථාවල අධිකරණයේදී ත්‍රස්ත විමර්ශන අංශය විසින් මෙම පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් මම විරුද්ධ වුනා. මොකද මන්දගාමී විමර්ශනයක් සිද්ධ වුනේ. මම උසාවියේදී එම නිලධාරීන් සමග ගැටුම් ඇතිකර ගත්ත අවස්ථා කිහිපයකදීම. බොහෝ අවස්ථා වලදී නිසි විමර්ශනයක් ලබා ගැනීම සඳහා මම අධිකරණයෙන් ඉල්ලා සිටියා මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන්න කියලා. අන්තිමට අපිට ඒ අවස්ථාව ලැබුණා.”

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වී ඇති නඩුව ලංකාවේ මෙතෙක් ඉදිරිපත් වූ නඩු වලින් සංකීර්ණම නඩුවක්. ඊට විශේෂ හේතුව වන්නේ මේ සඳහා චෝදනා ලැබ තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයට හා ඒ අවදියේ හමුදාව මෙහෙයවූ පුද්ගලයන්ට වීම නිසයි. විවිධ අරමුණු ඔස්සේ වරින් වර වෙනස් වෙමින් යන මෙම නඩුව සම්බන්ධයෙන් එදා සිට අද දක්වා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින්නේ ජේෂ්ඨ නීතිඥ  අතුල එස්. රණගල යි. මෙම නඩුවේ විවිධ අත්දැකීම් පසුකර යන ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ද ක්‍රියාශිලීව ක්‍රියා කළ පුද්ගලයෙක්. ගල්කිස්ස අධිකරණයේ නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ද කටයුතු කරන ඒ මහතා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව සම්බන්ධයෙන් අයිතිය සමග සිදු කරන ලද සාකච්ඡාවයි.  

ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය, විධායකය හෝ අධිකරණයේ සිදු වෙන දුර්වල කම් සහ වැරදි ක්‍රියා කලාප, දූෂණ, වංචා, සම්බන්ධයෙන් මිනිස්සු දැනුවත් වෙන්නේ ජනමාධ්‍යයෙන්. අපි දන්නවා ජනමාධ්‍යයට විශාල රාජකාරියක් තියෙනවා. ජනමාධ්‍ය තුළින් බිහිවෙච්ච පුද්ගලයෙක් තමයි ලසන්ත වික්‍රමතුංග. ඔහු නීතිඥයෙක් වශයෙනුත්, ජාත්‍යයන්තර ප්‍රසිද්ධියට පත් ජනමාධ්‍යවේදියෙක් වශයෙනුත් ඔහුගේ රාජකාරිය මැනවින් ඉටු කලා. ඒ නිසා එවකට පැවති රජය තුළ පැවති දූෂණ ක්‍රියා පිළිබඳව තරාතිරම, බලයේ සිටි පුද්ගලයන් ගැන සිතන්නේ නැතිව, නියම ජනමාධ්‍යවේදියෙක් හැටියට ජනතාව දැනුවත් කරන්න උත්සාහ දැරුවා. ඉතාම කණගාටුදාකයි එහි ප්‍රථිඵලයක් හැටියට තමයි, ඔහු මේ වගේ අවාසනාවන්ත දරුණු ඝාතනයකට ලක් වෙන්නේ. එය සුළු පටු ඝාතනයකුත් නෙමෙයි. ඉතා අමානුෂික ලෙසයි මහ පාරේ ඝාතනයකට ලක්වෙන්නේ. එවැනි ඝාතනයක් සිදුවූ පසුව සමහර බලධාරීන් කතා කළේ, ලසන්ත කියන්නේ කව්ද කියන තත්ත්වයෙන්. එතරම් ජාත්‍යයන්තර ප්‍රසිද්ධියට පත් වුනු ජනමාධ්‍යවේදියා ගැන කතා කළේ එහෙමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව, වර්තමාන ආණ්ඩුව පත්වීමත් සමග, විමර්ශන වල විශාල ප්‍රගතියක් ලැබුවා. මම එය පැහැදිලි සඳහන් කරන්න ඕනා. කිසිම දේශපාලන ඇඟිළි ගැසීමකින් තොරව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න නිදහස ලැබුණා. නිදහස ලැබුණට එය ඉතාම දුෂ්කර විමර්ශන ක්‍රියාවලියකට යෑමට ඔවුන්ට සිදුවුනා. කොතරම් දුෂ්කර ද කියනවා නම් සමහර හමුදාවේ බුද්ධි අංශය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේදී විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුනා. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝග ගන්න සිද්ධ වුනා. හමුදාපතිවරයාගේ අවසර මත ඒ තොරතුරු ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව අධිකරණය ප්‍රශ්න සහගත වුනා. බුද්ධි අංශ විසින් සිදුවෙච්ච ක්‍රියාදාමයන් කොයි ආකාරයෙන් ඒ කාලේ සිද්ධවුනා ද කියන එක, ඉතාම ගැටළු සහගතයි. යුද්ධ කාලයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ තත්ත්වයන් වලදී යම් යම් ආකාරයෙන් ක්‍රියා කරන්නට ඇති. ඒ තුළ මේ අපරාධය සිද්ධ කරපු තැනැත්තන් එවයින් ආවරණය වුනා කිව්වොත් වැරදි නෑ. ඒ නිසා සමහර වැදගත් තොරතුරු සහ ලියකියවිලි ලබා ගැනීමට මහා පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැරීමට සිදුවුනා.

වීඩියෝව පහතින්...





2019-01-11
Advertisement

Find us on Facebook