English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කලාපීය ආදායම් විෂමතාව ජය ගැනීමට අපට හැකි වේ ද? විමල් නානායක්කාර
ශ‍්‍රී ලංකාව තම ආදායම් දිළිඳුතාව අඩු කර ගැනීමට සමත්ව තිබේ. 1990/91 වසරවලදී සියයට 26.1 ක් වූ ලංකාවේ ආදායම් දිළිඳුතාව 2016 වන විට සියයට 4.1 ක් දක්වා අඩු වී ඇත. එහෙත් රටේ ආදායම් විසමතාව දශක හතරකට වැඩි කාලයක් තිස්සේ නොවෙනස්ව පැවතී තිබේ.

මුළු රටේ සමස්ත ආදායමෙන් බාගයකට වැඩි ප‍්‍රමාණයක් හිමි කරගෙන සිටින්නේ රටේ මුළු ජනගහනයෙන් සියයට 20 ක් විසිනි. අනිත් අතට, රටේ දුප්පත්ම සියයට 20 ට අයත් ජනතාවට හිමිවන්නේ රටේ සමස්ත ආදායමෙන් සියයට 5 ක් පමණි. සමාජ දරිද්‍රතාවයේ පහළම තීරුව වන සියයට 10 ක ජනතාවගේ තත්වය ඊටත් වඩා නරක ය. ඔවුන් ලබන ආදායමේ එකතුව රටේ සමස්ත ගෘහ ආදායමේ එකතුවෙන් සියයට 1.8 ක් හෝ ඊටත් අඩු ප‍්‍රමාණයකි. රටේ ජාතික මට්ටමේ පවතින මෙකී ආදායම් විසමතාවටත් වඩා, රටේ විවිධ ප‍්‍රදේශ අතර පවතින ආදායම් විසමතාව තවත් නරක ය.

මේ ආදායම් පරතරය අඩු කිරීමේ ඇති වැදගත්කම පිළිගනිමින්, ‘තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2030 න්‍යාය පත‍්‍රය’ තුළ ආදායම් විසමතාව මැඩලීමට ප‍්‍රමුඛ ස්ථානයක් දී තිබේ. එය ඒකායන තනි ඉලක්කයක් වශයෙනුත්, වෙනත් අංශ සමග සහසම්බන්ධී වන කාරණයක් වශයෙනුත් එහිදී සැලකිල්ලට ගෙන තිබේ. ඇත්තෙන්ම ‘තිරසාර සංවර්ධන ඉලක්ක’ බොහොමයක සාර්ථකත්වය රඳා පවතින්නේ සකලාකාර විසමතාවන් අවම කරලීමෙනි.

උදාහරණයක් වශයෙන් ගතහොත්, සෑම ආකාරයකම දරිද්‍රතාව දුරලීම යන කාරණය, ආදායම් විසමතාව සමග අත්‍යන්තයෙන් ගැට ගැසී ඇති බව පෙන්වා දිය හැකිය. ඒ සම්බන්ධයෙන් ගත් විට, රටක ආර්ථික සහ පරිසර සම්පත් වඩාත් සමබර සහ වඩාත් සමාන ආකාරයකින් බෙදා හැරීම, දරිද්‍රතාව දුරලීමේ තීරණාත්මක අංගයක් වන්නේය. ඒ වැදගත් කම සැලකිල්ලට ගනිමින් ලංකාවේ කලාපීය ආර්ථික විසමතාවන් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. ඒ සඳහා පාවිච්චියට ගැනෙන්නේ, ජනගහන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද 2016 ගෘහ ආදායම් සහ වියදම් පිළිබඳ සමීක්ෂණ වාර්තාවයි.

ආදායම් විසමතාව කෙරෙහි හදිසි අවධානය යොමු කළ යුතුව තිබේ

මසකට රුපියල් 81,372 ක් හෝ ඊට වැඩි ආදායමක් ලබන කොටස මේ සමීක්ෂණය තුළ සැලකෙන්නේ ‘පොහොසත්ම සමාජ තීරුව’ වශයෙනි. ඉහතින් කී ජනගහනයෙන් සියයට 20 ට ඔවුන් ඇතුළත් ය. මසකට රුපියල් 36,500 කට අඩු ආදායමක් ලබන කොටස මේ සමීක්ෂණය තුළ සැලකෙන්නේ ‘දුප්පත්ම’ සමාජ තීරුව වශයෙනි. ඉහතින් කී ජනගහනයෙන් සියයට 40 ඊට අයත් වෙති.

ජාතික මට්ටමේ මේ ආදායම් පරිමාවන් අනුව, දිස්ත‍්‍රික්ක මට්ටමෙන් ආදායම් විසමතාව පවතින ආකාරය සොයා බැලිය හැකිය. එහිදී පෙනී යන කාරණයක් වන්නේ, ජාතික මට්ටමේ ආදායම් විසමතාවට වඩා නරක ආදායම් විසමතාවක් මේ කියන දිස්ත‍්‍රික්ක මට්ටමේදී දැක ගැනීමට හැකි වන බවයි.

මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වව්නියාව වැනි දිස්ත‍්‍රික්කවල ‘දුප්පත්ම කණ්ඩායමේ’ ගෘහ ආදායම් පංගුව, රටේ සමස්ත දුප්පත්ම කණ්ඩායමේ පංගුවට වඩා බෙහෙවින් කුඩා ය. එය සියයට 1.00 ටත් අඩු අගයක් ගනී. එහෙත් ප‍්‍රතිශතයක් වශයෙන් ඒ දිස්ත‍්‍රික්ක අතරේ පවතින අගය ඊට ඉහළ ය. එබැවින්, දුප්පත්ම තීරුවට අයත් පවුල්වල ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා ගන්නා  ඕනෑම පියවරකදී මේ කියන පහළම ආදායම් තීරුවේ ජන කොටසේ ආදායම් විසමතාවේ ප‍්‍රතිශතය සේම අන්ත දුප්පත් පවුල්වල සංඛ්‍යාවත් සැලකිල්ලට ගත යුතුව තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවතින ආදායම් විසමතාවට හේතු

කලාප අතර පවතින බරපතල ආදායම් විසමතාවට ප‍්‍රධාන වශයෙන් හේතු වන කාරණයක් වන්නේ, මේ ග‍්‍රාමීය දිස්ත‍්‍රික්කවල පවතින ආර්ථික අවස්ථාවන්වල හිඟ කමයි. යටිතල පහසුමක් ප‍්‍රමාණවත් නොවීම ඊට ප‍්‍රධාන හේතුවකි. එහිදී, විශේෂයෙන් ග‍්‍රාමීය/වතු ප‍්‍රදේශ සහ නාගරික ප‍්‍රදේශ අතර සම්බන්ධය ගොඩනැගෙන මාර්ග අල්ප බව පෙනී යයි. රැකියා සඳහා වැඩි ඉඩ ප‍්‍රස්ථා පවතින්නේ නාගරික පෙදෙස්වල ය. එසේම අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් වැනි දෑ පවතින්නේ ද නාගරික ප‍්‍රදේශවල ය. තව ද, පොදු පහසුකම් පවතින්නේත් නාගරික ප‍්‍රදේශවලයි. ඉතිං, ඒ නාගරික ප‍්‍රදේශ සමග සම්බන්ධ වීමට හැකියාවක් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට නැති වන විට ආදායම් විසමතාව උග‍්‍ර වෙයි.

අවශ්‍ය ප‍්‍රමාණයෙන් කෘෂිකර්ම අංශයට අවධානයක් යොමු නොකිරීම තවත් ප‍්‍රශ්නයකි. ලංකාවේ ජනගහනයෙන් සියයට 27 ක් යෙදී සිටින්නේ කෘෂිකර්මාන්තයේ ය. දවසකට ඩොලර් 3.20 ක ආදායමක් ලබන, සාමාන්‍යයෙන් දුප්පත් යැයි සැලකෙන පවුල්වලින් සියයට 30 ක් වෙසෙන්නේ මේ කෘෂිකර්මාන්තයේ ය. නිතර ඇති වන ස්වභාවික විපත්, විශේෂයෙන් නියඟය සහ ජල ගැලීම් වැනි ව්‍යවසන්යන් ද මොවුන්ට තදින්ම බලපායි. එබැවින් එවැනි ජන කොටස් කෙරෙහි නිසි අවධානයෙක් යොමු නොකළොත්, රටේ ඇති-නැති පරතරය අවම කරලීම දුෂ්කර වන්නේය.

එක දිගටම පවතින මේ ආදායම් විසමතාවට තවත් හේතුවක් වන්නේ ශ‍්‍රී ලංකාවේ, විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කාන්තා ශ‍්‍රම සහභාගීත්වය අවම වීම ය. මුළු රටේම කාන්තා ශ‍්‍රම සහභාගීත්ය සියයට 36 ක් පමණි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඊටත් වැඩි ය. මේ තත්වය ඇති වී තිබෙන්නේ ගම්වල රැකියා අවස්ථා දුලබ වීම නිසා ය. සමාජ ආරක්ෂණ ක‍්‍රියාවලියක් තදින්ම අවශ්‍ය කර තිබෙන තත්වයක් තුළ මේ කාරණයත් සැලකිල්ලට ලක්විය යුතුව තිබේ.

ඉදිරි මග

මෙසේ බලන කල එක පැත්තකින් රැුකියා අවස්ථා අවම වීම දකින්ට තිබේ. තවත් පැත්තකින්, ආදායම් මට්ටම් අතර විශාල පරතරයක් තිබේ. අනිත් අතට, ප‍්‍රදේශ අතර මෙන්ම දුප්පත් පොහොසත් ජන කොටස් අතර ජීවන තත්වයේ බරපතල වෙනස්කම් ද තිබේ. මෙය වහා විසඳුම් සෙවිය යුතු ගැටළුවකි.

සමාජයේ වෙසෙන සියලූ සමාජ කොටස්වලට සහ ජන තීරුවලට ප‍්‍රතිලාභ සැලසෙන, සියලූ ජන කොටස් ඇතුළත් කර ගන්නා වර්ධන ක‍්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී මතු වෙයි. ඒ සඳහා සියලූ පුරුවැසියන්ට ආර්ථික ක‍්‍රියාවලියට සහභාගී විය හැකි වන, විශේෂයෙන් සමාජයේ පහළම තීරුවේ (සියයට 40) ජීවිකා මට්ටම් වර්ධනය කෙරෙන වැඩ පිළිවෙලක් දියත් කළ යුතුය. මේ සම්බන්ධයෙන් උසස් ගුණාත්මක භාවයකින් යුත් අධ්‍යාපනයක් සෑම දරුවෙකුටම ලබා දීම වැදගත් ය. නිපුණතා සංවර්ධනය සඳහා ආයෝජන යෙදවීම එහිදී අත්‍යාවශ්‍ය කෙරේ. විශේෂයෙන් සංවර්ධනයත් සමග නව තාක්ෂණය සමග කටයුතු කළ හැකි පුහුණු ශ‍්‍රමයක් ගොඩනගා ගත යුතුව පවතී.

 මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට වැඩි බරක් තැබිය යුතුය. මන්ද යත්, වඩාත් දරිද්‍ර ජන කොටස ඔවුන් වෙනවාට අමතරව, රටේ මිලියන 21 ක් වන ජනතාවකට ආහාර සම්පාදනය කර දෙන්නේ ද ඔවුන් වන බැවිනි. මේ නිසා, ආදායම් විසමතාව දුරලීම සඳහා ඇති කර ගන්නා  ඕනෑම සැලසුමක ඒ කාරණයත් අන්තර්ගත විය යුතුව තිබේ.

2018 දෙසැම්බර් 28 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි



2019-01-02
Advertisement

Find us on Facebook