English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා - පිලිප් දිසානායක


මම හිතනවා දේශපාලනය කරන හැමෝටම ප්‍රබල පණිවිඩයක් අපේ රටේ මහජනතාව ලබා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය කඩවන සිදුවීම්වලට මැදහත් වෙන්න එපා කියන පණිවිඩය මේ රටේ බහුතරයක් වන මහජනතාව ලබාදීලා තියෙනවා. ඒක හොඳ පණිවිඩයක්. ”

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක විසින් මෑත ලංකාවේ ඇති වූ දේශපාලන කුමණ්ත්‍රණයත්, ව්‍යවස්ථාමය අර්බුදයත්, අනාගත අභියෝගයන් සම්බන්ධවත් අදහස් දැක්වීමක් සිදු කරන ලදි. ඒ අදහස් පහත දැක්වේ.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ සිදුවුනු විශාලම දේශපාලන කුමණ්ත්‍රණය සිදුවුනා. මේ වෙද්දී අපට පුළුවන් කම ලැබිලා තියෙනවා පහුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා තිබුණු තත්ත්වයට මේ රට නැවත පත් කරන්න. නමුත් අපි හිතන්නේ නෑ මේ කුමණ්ත්‍රණය සම්පූර්ණයෙන් අපට පරාජය කරන්න ලැබුණා කියලා. නමුත් සෑහෙන පමණ ජයග්‍රහණයක් මේ වෙද්දි අපි අත්පත් කරගෙන තියෙනවා. මේ කුමණ්ත්‍රණයේදී ඉතා වැදගත් කාරණාවක් අපිට පෙණුනා. ඒක තමයි මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කිසිවෙකුට හෝ හානි කරන්න බැරි බව ඔප්පු වුනා. ඒකෙදි ජනතාවගේ අධිකරණ බලය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. ස්වාධීනත්වය පෙන්වනු ලැබුවා. ව්‍යවස්ථාදායක බලය, කතානායකවරයා ඇතුළු ඒ පාර්ලිමේන්තුව තුළ ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වෙලා, සියළු අභියෝගතා, දුෂ්කරතා පරාජය කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කලා. ඒක මෑත කාලයේ මේ රට තුළ වෙච්ච විශාල විපර්යාසයක්. ඒකෙන් අපි පෙන්නුම් කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කව්රු හරි අත තියන්න ආවොතින්, මේ රටේ ප්‍රගතිශිලී මිනිස්සු ඒ සම්බන්ධව නිහඩව කරබාගෙන ඉන්නේ නැහැ කියලා. අපි දැක්කා පහුගිය ඔක්තෝම්බර් 27 වෙනිදා ඉඳලා මේ රටේ මිනිස්සු ජාති, කුළ, ආගම් බේද නොසලකා පක්ෂ, පාට නොබලා ඔක්කෝම එකට එකතු වෙලා, එක අරමුණකින් කටයුතු කලා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. ඒ නිසා මම හිතනවා දේශපාලනය කරන හැමෝටම ප්‍රබල පණිවිඩයක් අපේ රටේ මහජනතාව ලබා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය කඩවන සිදුවීම්වලට මැදහත් වෙන්න එපා කියන පණිවිඩය මේ රටේ බහුතරයක් වන මහජනතාව ලබාදීලා තියෙනවා. ඒක හොඳ පණිවිඩයක්.

දැනට අපිට තියෙනවා අභියෝග කිහිපයක්. ඒ පළමුවෙනි අභියෝගය තමයි. මේ කුමණ්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය පියවර ගන්න එක. අපිට අහන්න ලැබුණා මේ කුමණ්ත්‍රණය නිසා මේ රට විශාල ආර්ථික පසුබෑමකට ලක්වුනා කියලා. ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙන්නේ, අවුරුදු දෙකකටවත් අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා. අවුරුදු දෙකක්වත් අපිට වැඩ කරන්න වෙනවා මේ ආර්ථිකය නැවත ගොඩනගන්න. ඒ එක්කම අපේ රටේ තිබුණු සම්ප්‍රදාය, කීර්තිනාමයට විශාල වශයෙන් හානියක් සිද්ධ කලා මේ සිද්ධිදාමය හරහා.

මේකෙන් ගොඩ එන්න අපිට පුළුවන්. ඉතාමත් හොඳ සැලැස්මක් ඇතිව සියළු දෙනාම එකට එකතුවෙලා කටයුතු කළොත්. අපි නව රජයට කියනවා පහුගිය අවුරුදු තුනහාමාරේ කරගන්න බැරිවුනු දේවල්, විශේෂයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ, අල්ලස් හා දූෂණයන්ට සම්බන්ධ පුද්ගලයන්ට තියෙන නඩු කඩිනමින් විභාගයට ගැනීම වැනි කාරණා සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරාවියි කියලා. ජනතාවට ඇති බදු බර සහ වෙනත් ආර්ථික ගැටළු විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් සහනයන් මේ රජය විසින් ලබා දෙන්න කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

සිවිල් සමාජ සහ වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට, අපි ඉතාමත් ශක්තිමත් තැනක ඉන්නේ. ඉතාමත් ක්‍රියාශීලී මිනිසුන් කොටසක් අපිට සම්බන්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අයත් එක්ක ඉදිරි සැලැස්මක් හදන්න. ඉක්මනින්ම සාකච්ඡා කරලා කොහොමද සිවිල් සමාජය හා වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට ගෙනි යන්නේ කියන එක. විශේෂයෙන් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා, කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ඇති කරන්නේ, ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරන්නේ කියන කියන කරුණු සම්බන්ධව ඉදිරියේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”




2018-12-23
Advertisement

Find us on Facebook