English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධුරය අහිමි විය යුතු මෙන්න මේ නිසායි

ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 44ක පිරිසට ඉදිරියේදී මන්ත්‍රී පදවි අහිමි වන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ශ්‍රීලනිප මන්ත්‍රී පියසේන ගමගේ මහතා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයට පත් වූ අවස්ථාවේදී ඔහුගේ නාම යෝජනාව ඇතුළත් වූ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක සාමාජිකභාවය, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවකදී ඔහුගේ සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ පසුගිය නොවැම්බර් 11දා ය. ඒ අනුව, මේ වන විටත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී හමාර ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම යනු ඉතා පැහැදිලිව ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා එහි සාමාජික පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව, එම මන්ත්‍රීවරයා ඉවත් කර ඇති බව හා ඔහු වෙනුවට වෙනත් අයකු පත් කරන බව පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දීමේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට තිබේ. එම සන්ධානයේ මහලේකම් ධුරය හොබවන්නේ මහින්ද අමරවීර ය. ඔහු එසේ නොකර සිටීම පක්ෂ ලේකම්වරයකු ලෙස වගකීම් පැහැරහැරීමකි. එය හුදු පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවේ. පාර්ලිමේන්තුව හා සම්බන්ධ පොදු කාරණාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු එම ධුරය දැරීමත්, එසේ කිරීමට අනුබල දීමත් පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමකි.

මේ බව හොඳින් දන්නා නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණට පක්ෂපාතී එජනිස මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් කිසිවිටෙකත් පොහොට්ටු සාමාජිකත්වය ගත්තේ නැත. ඔවුන් ප්‍රසිද්ධියේ ම එසේ කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු ය. ඔවුන්ගේ ක්‍රියාකලාපය ඔවුන් චේතනාන්විතව ම, උපායශීලීව කටයුතු කළ බව ඔප්පු කරයි.

මේ අනුව, සදාචාරාත්මකව මේ වන විට මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මන්ත්‍රී පිරිස ඔවුන්ට තනතුරු අහිමි වී ඇති බව දනිති. ඒ නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ අයිතියක් නැත. එසේ පැමිණීමෙන්, මන්ත්‍රී වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබාගැනීමෙන් ඔවුන් කරන්නේ මුල්‍ය වංචාවකි.

පක්ෂය හැර ගිය මන්ත්‍රීන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම සිදු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වී තිබෙන අතිශය දුර්වල තත්වය නිසා ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමන්විත වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකිනි. සන්ධානය තුළ එම පක්ෂවලට හා එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට යම් ස්වාධීනත්වයක් තිබෙනමුත්, පක්ෂය හැර දමා වෙනත් පක්ෂවලට එක් වීමේ හැකියාවක් නැත.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ය. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද දෙවන සංශෝධනය සිහිපත් කිරීම වැදගත් ය. දෙදෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් තරග කොට ජයගෙන ආණ්ඩුවට එකතු වූ රාජදොරෙයි හා ශ්‍රීලනිපයෙන් බේරුවල ආසනයට තේරී පත්වී ආණ්ඩුවට එකතු වූ ආර්.ජී. සමරනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදීම එහි අරමුණ විය. එම සංශෝධනය ගෙන ආවේ අනාගතයට බලනොපාන ඒ අවස්ථාවට පමණක් බලපාන පරිදි ය.

මේ පිළිබඳ 2018 අප්‍රේල් 10දා රාවය පුවත්පතට විග්‍රහයක් කරන වික්ටර් අයිවන් මෙසේ පවසයි: ‍78 ව්‍යවස්ථාව අනුව ලංකාවේ ක්‍රියාත්මක ජනාධිපති ආණ්ඩුක්‍රමය සකස් කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂයක් ලබාගන්නා ආසන සංඛ්‍යාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් නොවෙනස්ව පවතින ආකාරයටය. මැතිවරණ දෙකක් අතරතුර කාලයේදී ඇතිවන පුරප්පාඩු එම පුරප්පාඩුවට හිමි දේශපාලන පක්ෂය විසින් පිරවිය යුතුය. මෙම ක්‍රමය සකස් කර තිබෙන්නේම පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පක්ෂ මාරු නිසා සිදුවන ආණ්ඩු පෙරළි ඇතිවීම වැළකීම අරමුණු කොටගෙනය. එය 1978 ආණ්ඩුක්‍රමයට ආවේණික ඉතාමත් විශේෂිත ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ යැයි පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයේද සඳහන් එම දේශපාලන පක්ෂයෙහි හෝ කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවකදී ඔහුගේ සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.

එම වගන්තියේ දෙවැනි ඡේදයේ එන මුල් කොටස මෙසේය. “එසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් පහකරනු ලැබූ අවස්ථාවක ඉහත කී මාසයක කාල සීමාව ඉකුත්වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් මගින් ඉල්ලීමක් කළහොත් සහ එම පහකිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේය.”


ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අසුන අහිමි වූ මන්ත්‍රීවරයාට එම ප්‍රතිපාදනය ලබාදී තිබෙන්නේ පක්ෂ මාරුවක් සිදු නොවූ අවස්ථාවකදී මන්ත්‍ර්‍රීවරුන්ට එරෙහිව පාවිච්චි කිරීම සඳහා පක්ෂවලට ලැබී තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරන අවස්ථාවලදී යුක්තිය ඉටුකිරීම සඳහාය.

මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුවට අදාළව ආණ්ඩුක්‍රමයට ඇතුළත් දර්ශනය එය වුවද ඊට පටහැනිව විරුද්ධ පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී ව්‍යවස්ථා සංශෝධනයක් පාවිච්චි කෙරුණු ආකාරය මීට පෙර සඳහන් විය.

එජාපයේ දීර්ඝ පාලන කාලයෙන් පසු එළැඹෙන චන්ද්‍රිකා පාලන කාලයේදී තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු මන්ත්‍රීන් සංඛ්‍යාව එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු කරගනිමින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ උත්සාහය සාර්ථක වූයේ නැතත් එම උත්සාහයේදී සරත් අමුණුගම, නන්ද මැතිව්, රොනීද මෙල්, විජේපාල මෙන්ඩිස් හා රෝහිත බෝගොල්ලාගම යන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වී සිටීම තුළ එම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට නොතිබීම නිසා එම අඩුව සපුරා ගැනීමට සිදුවූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ සහාය ඇතිව අධිකරණයේ සහාය ලබාගැනීමෙනි. එසේ ආණ්ඩු පක්ෂයට එකතු වූ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදීමට හේතුවන අධිකරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද අතර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් නොනැවතී සමස්ත ආණ්ඩුක්‍රමයම විකෘති කිරීමට හේතුවූ එම තීරණයත් සමග මන්ත්‍රීකම අහිමිකර ගැනීමෙන් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවිය හැකි කැත සම්ප්‍රදායක්ද ස්ථාපිත විය. එම වැරදි ක්‍රමය ඇති කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි

Praja.lk

srilankabrief.org




2018-12-20
Advertisement

Find us on Facebook