English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සටන්කාමී, අභියෝගාත්මක අරගලයේ සත්‍යග්‍රහය ජයග්‍රහණයෙන් අවසන් වේ


2018 ඔක්තෝම්බර් 26 වෙනි දින රාත්‍රියේ නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී අයුරින් නීත්‍යානුකූල අගමැතිව වෙනුවට බහුතරය නොමැති වෙනත් අගමැති කෙනෙක් පත් විය. පසුව නීත්‍යානුකූ අගමැතිවරයා ව්‍යවස්ථා විරෝධී අයුරින් ලිපියක් මගින් ඉවත් කරන ලදි. මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සිදු කළේ ලංකාවේ ප්‍රථම පුරවැසියා වන ජනාධීපතිවරයායි. මේ සිදුවීම සිදුවූ රාත්‍රියේ සිට 2015 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීමට හා මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට එක්වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සහ ඒ කිසිවකට අයත් නොවන පුද්ගලයන් අරලිය ගහ මන්දීරයට එකතුව ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළහ. මේ අය අතර කිසිදින එක්සත් ජාතික පක්ෂයට ඡන්ද නොදුන් පිරිස් බොහෝ විය. වික්‍රමබාහු කරුණාරත්න, බ්‍රිටෝ ප්‍රනාන්දු වැනි එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රහාර එල්ලව, රැකියා අහිමිව, සිරගත වු පිරිස් ද විය. ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂය හා එකඟ නොවී සිටින පිරිස් ද එහි විය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ මේ ව්‍යවස්ථා විරෝධී කුමණ්ත්‍රණය පරාජය කළ යුතු බවයි. පසු දිනම පිරිස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකතුවක් ලෙසින් ඉදිරියට පැමිණියහ..

ප්‍රවෘත්ති සාකච්ඡාවන් සහ විවිධ තැන්වල, විවිධ පලාත්වල, සාකච්ඡාවන් , සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැනුවත් කරමින් ගිය කණ්ඩායම දින 24 කට පෙර විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සත්‍යග්‍රහය ආරම්භ කරන ලදි. මේ ආරම්භ කිරීමත් සමග විවිධ ආගම්වලට අයත් ආගමික නායකයින්, සිවිල් සංවිධාන නායකයින්, දේශපාලන නායකයින්, කලාකරුවන්, ගායකයින්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් දිවා, රෑ නොබලා ඒ සඳහා වෙහෙස විය. එමෙන්ම විවිධ පලාත්වලින් පිරිස් සත්‍යග්‍රහයට සහභාගි විය. මෙම සත්‍යග්‍රහය ආරම්භවීමත් සමග වෙනත් ස්වාධීන කණ්ඩායම් රැසක් විවිධ අයුරින්, නිර්මාණාත්මක විරෝධතාවයන් ප්‍රකාශයට පත් කරන ලදි. තවත් පිරිස් දිවා රෑ නොබලා සහභාගි වන පිරිස්වලට අවශ්‍ය ආහාරපාන සලසමින් වෙහෙස විය. මේ ආකාරයෙන් විශාල පිරිසක් දින 24 ක් පුරා මේ සත්‍යග්‍රහයට සහය දැක්විය.

මේ අතරින් අතලොස්සක පිරිසක් මෙහි සංවිධානාත්මක වගකීම් දරමින් දින 24ම සංවිධානය කරමින්, නිදිවරමින් කාලය ගත කළහ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සිදුකළ වෙහෙස වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙහෙසවෙන සැම දෙනාගේම ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුය. එමෙන්ම මෙම සත්‍යග්‍රහය තුළ දින ගණනාවක් ගායනාවෙන් මනස හා නැණැස ආලෝකමත් කළ ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ නම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

දෙසැම්බර් 13 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී , ව්‍යවස්ථා විරෝධී බවට දුන් විශිෂ්ඨ තීන්දුවත් සමග සංවිධායක කණ්ඩායම සත්‍යග්‍රහය දෙසැම්බර් 14 වෙනි දින අවසන් කිරීමට තීරණය කරන ලදි. 

මෙම සත්‍යග්‍රහය 2018 දෙසැම්බර් 14 වෙනි දින පස්වරුවේදී සිවිල් ක්‍රියාකාරී පිරිස, ආගමික නායකයින්, දේශපාලන නායකයින්, සහ සහය දුන් ජනතාව සමග එක්ව සත්‍යග්‍රහය අවසන් කරන ලදි. එහිදී එම සත්‍යග්‍රහයට ක්‍රියාශීලීව නායකත්වය දුන්, දවස් 24 පුරාම ඊට නිදිවරමින් සහය ලබා දුන් සිවිල් සංවිධාන නියෝජනය කරමින් ඊට සහභාගි වූ, මානව හිමිකම් ක්‍රියාධර, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක විසින් පළ කළ අදහස් කිහිපයක් පහත දැක්වේ. 

“ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රියේ සිදුවෙච්ච කුමණ්ත්‍රණය පරාජය කරන්න මේ රටේ සතර දිග් බාගයකින් පැමිණි මිනිස්සු ආගම්,ජාති,කුළමළ බේද අමතක කරලා එක් වෙච්ච මිනිස්සු විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. අපි මේ ජයග්‍රහණය සඳහා පැති කිහිපයකින් කටයුතු කළා. එක පැත්තක් තමයි. මේ රටේ ප්‍රගතිශිලී දේශපාලන පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂ, එක පෙරමුණකට ගෙනාවා. අනික් පැත්තෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාරය ගෙනල්ලා, ඔක්තෝම්බර් 27 වෙනිදා ඉඳලා යම් කිසි ක්‍රියාමාර්ගයක් යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කලා.

මේක තමයි තවත් තහවුරු කරගැනීම තමයි පසුගිය දිනවල සිදුවුනේ. ඊයේ අපිට අතිවිශිෂ්ඨ තීන්දුවක් ලැබුණා. ඒ තීන්දුවත් සමඟ අපි එදා ආරම්භ කරපු, අපි එදා දරපු ස්ථාවරය, ඉතාමත්ම නිවැරදියි කියන කාරණය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද වෙද්දි තහවුරු කරලා තියෙනවා. මේක තමයි අපි ලබපු ජයග්‍රහණය. මේක තමයි මේ රට ලබපු ජයග්‍රහණය. මේ ජයග්‍රහණය අපිට අනාගතයටත් ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, අයිතිවාසිකම් වෙනුවෙන් මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන්න. මේ හදපු පෙරමුණ අපි අඛණ්ඩ ඉදිරියට ගෙනි යන්න ඕනා. මේ ජයග්‍රහණයෙන් පසු අපිට ඉදිරි පියවර ගණනාවක් තියෙනවා. ඒක තමයි මේ කුමණ්ත්‍රණයට සම්බන්ධවූවන්ට අවශ්‍ය දඩුවම් කිරීම. සාමාන්‍ය පුරවැසියෙක් රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණයකට සම්බන්ධ වුනාම ඔහුට විරුධව අධිකරණය ඉදිරියේ නඩු පවරලා අවශ්‍ය දඬුවම් පැමිණ විය යුතුයි. මේ සිද්ධියෙත් ඊට සම්බන්ධ පුද්ගලයොන්ගේ තරාතිරම නොබලා අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුයි.

මෙවැනි කුමන්ත්‍රණ නැවත ඇති නොවෙන වතාවරණයක් මේ රටේ නැවත ඇති කර ගැනීම. ඒකටත් අවශ්‍ය පරිසරය මේ වෙද්දි අපි නිර්මාණය කරලා තියෙනවා. අපි ඔක්තෝම්බර් 26 වෙනි දින ආරම්භ කරන ලද සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව අනාගතයේදිත් මේ විදියටම මේ හා සමාන සටන්කාමීත්වයක් සමග ශක්තිමත්ව ඉදිරියට ගෙනි යන්න අපි තීරණය කරලා තියෙනවා. එතකොට අපි අද මේ සටනේ එක පියවරක් අවසන් කරා. තව පියවර ගණනාවක් ඉදිරියට ගන්න අපිට තිබෙනවා. එහිදී අපි හැමෝගෙම මෙයට ලැබෙයි කියලා හිතනවා.

අපි අද මේ 24 වෙනි දිනය උදාවෙන අවස්ථාවේදී අපි මේ අපි අපේ අරගලය ජයග්‍රාහීව, සාර්ථකව අවසන් කරනවා. අනාගතයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ බලාපොරොත්තුවත්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් යෝජනා කරපු අනෙකුත් දේශපාලන ප්‍රතිසංස්කරණ වහා ඇති කර ගැනීමත්, පහුගිය කාලේ අපරාධ හා දූෂණයන්වලට සම්බන්ධ වුනු පුද්ගලයෝ අවශ්‍ය නීතිමය පියවර ගැනීමත්, අපි ඉදිරියේ අභියෝගයක් විදියට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. අපි හිතනවා අපිට ඒවා ජයග්‍රහණය කිරීමට හැකිවෙයි කියලා. මේ සත්‍යග්‍රහ ව්‍යාපාරය සාර්ථක කරගන්න අපිට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ පුද්ගලයෝ , කලාකරුවෝ. ජනමාධ්‍යවේදීන් උදව් කලා.”




2018-12-15
Advertisement

Find us on Facebook