English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සටනේ දීප්තිමත් ජයග්‍රහණයක් !


මානව හිමිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියා කරන සංවිධානයක් වශයෙන් දින ගණනාවක් බලා සිටි අධිකරණ තීන්දුව, ප්‍රජාතන්ත්‍රවාදයේ දීප්තිමත් එළියක් දල්වමින් අද දින ප්‍රකාශයට පත් වුනා. එය ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් විශිෂ්ඨ සංධිස්ථානයක් වශයෙන් ඉතිහාස ගත වෙනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගන්නා ලද තීරණය නීති විරෝධී බව අද දින ( 13 ) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. අගවිනිසුරු නලීන් පෙරේරා පුමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ඒකමතිකව ගත් බව ප්‍රකාශ කරන ලදි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තහවුරු වී තිබේ.

ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වන රත්නජීවන් හූල්, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශ්ව 13 ක් විසින් පසුගිය නොවැම්බර් 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

දෙදිනක් පුරා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා පුමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම විභාග වූ අතර නොවැම්බර් 13 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ උක්ත ගැසට් නිවේදනය බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පෙත්සම් වැඩිදුර විභාගය දෙසැම්බර් 04,05,06 යන දිනයන්හි නැවත විභාගයට ගැනුණු අතර ඒ සඳහා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ, මාදු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පෙනී සිටියේය. දෙසැම්බර් 07 වෙනි දින තීන්දුව ලබාදීමට නියමිත වුවත් එය දීර්ඝ කෙරුණු අතර අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් පැනවූ අතුරු තහනම් නියෝගය ද දීර්ඝ කෙරුණි. නමුත් තීන්දුව ප්‍රකාශයට පත්වීමට කල්ගත වූවා වැඩි යයි ද චෝදනාවක් විය. 

2018 දෙසැම්බර් 13 වෙනි දින ( අද දින ) මෙම තින්දුව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කිරීමත් සමග තීන්දුව අපේක්ෂාවෙන් සිටි විශාල ජනතාවක් ඒ දෙස නොඉවසිල්ලෙන් බලා සිටියෝය. මෙම තීන්දුව දැනගැනීම පිණිස දේශපාලන පක්ෂවලට අයත් විශාල පිරිසක්, සිවිල් සංවිධාන නියෝජන කරමින් පිරිසක්, විශාල ජනතාවක් අද අධිකරණය ඉදිරිපිට රැස්ව සිටියහ. තීරණය දැනගත් වහාම ඔවුන් ප්‍රිතිගොෂා නගමින් විනෝද වූහ. රතිඤා පත්තු කරමින් තම සතුට ප්‍රකාශ කළහ. එමෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට හා නීතිඥයන්ට ජනමාධ්‍යයන්ගෙන් නිදහසක් නැති විය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන අවස්ථාවේදී අරලියගහ මන්දීරයේ සිටි ව්‍යවස්ථා විරෝධීව බලයෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ තීන්දුව ලැබීමෙන් පසුව එහි රැස්ව සිටි සුබපතන්නන් අමතමින්,

පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍යය යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව මෙයින් පේනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සමග අත්වැල් බැඳ සිටි ජනතාවට මෙහිදී සුවිශේෂ ස්තූතියක් පිරිනමන්න කැමතියි. එසේම අධිකරණය ස්වාධීන කිරිමට ගත් ක්‍රියාවලියක ප්‍රථිඵලයක් ලෙස මේ තීන්දුවක භුක්ති විඳීමට ලැබුණා. අප කළ සටන සම්පූර්ණ වන්නේ ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුවයි. ඒ සඳහා අඛණ්ඩව පෙළ ගැසී සිටින්නැයි ද ” ප්‍රකාශ කළේය. 

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක,

දින 48 ක් මුළුල්ලේ මේ රටේ ජනතාව අයුක්තියට එරෙහිව යුක්තිය වෙනුවෙනුත්, ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත්, ඒ වගේම අවනීතියට එරෙහිව නීතිය වෙනුවෙනුත් ගෙන ගිය අරගලයේ විශිෂ්ඨ ජයග්‍රහණයක් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඒකමතික තීරණයත් සමඟින් තහවුරු වුණා.”

ඒ වගේම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ඒ ඔක්තෝම්බර් 25 වැනිදා පැවති තත්ත්වය ස්ථාපිත කළ යුතුයි. ඉතින් තවත් කල් පමාවන්නේ නම් අධිකරණයේ තීන්දුවත් පැහැදිලියි. පාර්ලිමේන්තුවේ තීන්දුවත් පැහැදිලියි. ජනතාවගේ තීන්දුවත් පැහැදිලියි. තවදුරටත් මේ රට අවුල් ඡාලයක් නොකොට රට හා ජනතාව තවදුරටත් අස්ථාවර නොකොට විපතෙන් විපතට අපේ ජනතාව පත් නොකොට වහාම ආණ්ඩුවක් පිහිටුවා මේ අරාජික තත්ත්වයෙන් මුදා ගැනීමට වහාම ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුයි.”

ඒ වගේම මේ මගින් ඔහුට බලගතු අනතුරු ඇගවීමක් ලැබී තිබෙන බවත් ඔහු මතක තබාගත යුතුයි. ව්‍යවස්ථාවය අනුව ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝණය කිරීමත්, බලය අයුතු සෙ පාවිච්චි කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම ඔහුව පදවියෙන් ඉවත් කිරීමට අවශ්‍ය දෝෂාභියෝගයකට අවශ්‍ය කරන පදනම මේ මගින් වැටී ඇති බවත් ඔහු අමතක නොකළ යුතුයි. ඒ නිසා ඔහු දැන්වත් සිහි එළවාගෙන කටයුතු කළ යුතු වෙනවා. එසේම මෙය රටේ තමන් මහේසාඛ්‍ය නීතිවේදීන්ය, තමන් මහේසාඛ ව්‍යවස්ථා විශාරදයින් යැයි කියා පෙන්වමින්, රට ගොනාට අන්දවමින් සිටි නොයෙක් ආකාරයේ නීති විශාරදයින් හා නීති විශාදරයින් ලෙස පෙනී සිටින කූඨ දේශපාලඥයින්ගේත් බලගතු අවසාන පරාජයක්. අභියාචනාධිකරණයෙන් පළමුවැනි පරාජයත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවෙනි පරාජයත්, ජනතා අධිකරණයෙන් තුන්වැනි පරාජයත් ලැබුණු බව අපට සහතිකයි.”

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක අදහස් දක්වමින්,

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හරහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ටොකු අනිමින් කියා දි ඇත්තේ වෙන කවරක් නොව ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමේ වැදගත්කමයි. දැන්වත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට යටත්ව කටයුතු කරන්න බැඳී සිටිනවා.”

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ,

ජනාධිපතිවරයා සිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ඔප්පු වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වෙනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිය.”

මේ අතර මෙම අධිකරණ තීන්දුවෙන් පසුව රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අතර, මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය තනතුරු දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ විභාගයට ගැනීමෙන් අනතුරුව තම පක්ෂය ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සහ ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද නැද්ද යන්න තීරණය කරන බව ආරංචි මාර්ග පවසයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග යළි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බව එම රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇතැයි ද වාර්තා විය.

පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් පෙන්නුවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍යධූරය ලබානොදෙන බවට ජනාධිපති සිරිසේන පැවසූ බවට යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකයෙකු අවධාරණය කරයි. මේවන විට ජාතික මාධ්‍ය කිහිපයක මේ බව ප්‍රචාරය වෙමින් පවතින බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති සිරිසේන පැවසූ කතාව ඉතා සූක්ෂමව විකෘති කිරීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කර ඇති බවය.

ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා සඳහන් කරන ආකාරයට සන්ධාන නායකයින් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති පවසා ඇත්තේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශ්වයට අගමැති ධුරය ලබාදෙන බවය. එහිදී රනිල් වික්‍රමසිංහට බහුතරය ඇත්නම් කරන්නට දෙයක් නැති බවත්, නමුත් තමන් අඛණ්ඩව රනිල් විරෝධී දේශපාලනයක නිරතවන බවද, සිරිසේන මහතා පවසා ඇත. එසේම ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමග ආණ්ඩු කිරීමට සූදානමක් ගැන වාර්තා වී ඇති බවත්, ඊට තමන්ගේ විරෝධයක් නැති අතර ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටවත් තමන් කටයුතු නොකරන බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. 

 




2018-12-13
Advertisement

Find us on Facebook