English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිට එරෙහිව පුරවැසියෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

මානව හිමිකම් කොමිෂන් සභාව 19 වෙනි සංශෝධනය යටතේ ක්‍රියාත්මකවීම ආරම්භ කරන ලද ස්වාධීන කොමිෂන් සභාවකි. කොමිෂන් සභාව වර්තමානයේදී එය තමන්ගේ සීමාවන් තුළ හොඳින් ක්‍රියාත්මක වේ. ඒ බව දැනුවත් පුරවැසියන් ද දනියි. ඒ බව සනාථ කරන සිදුවීමක් ඊයේ දින (නොවැම්බර් 27) දින සිදුවිය. සම්මානනීය ලේඛකයෙක් වන තිබිරියාගම බණ්ඩාර ඊයේ දින පවතින ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් නිර්මාණශීලීවූත්, අභියෝගාත්මකවූත් පියවරක් තැබුවා. එනම් පුරවැසියෙක් වශයෙන් තමන්ට තිබෙන අයිතිවාසිකම් ගැන කල්පනා කරමින්, තමන්ගේ ඡන්දය ගෙන විශ්වාසය කඩ කළ, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද දේශපාලන නායකයන්ට විරුද්ධව මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්. එහිදී ඔහු ජනාධිපතිවරයා ඔහුගේ මානව අයිතිවාසිකම් හා පරමාධිපත්‍යය උල්ලංඝණය කළ අයකු හැටියට නම් කරන්නැයි මානව හිමිකම් කොමිෂමෙන් ඉල්ලා සිටිනවා. පැමිණිල්ලට අනුව වාචික සාක්ෂිකරුවෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ආචාර්ය නලීන් අබේරත්න කැමැත්තෙන් ඉදිරිපත් වී සිටිනවා.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි තිඹිරියාගම බණ්ඩාරයන් තමන්ගේ අරමුණ පිළිබඳ අද මෙසේ කරුණු පැහැදිලි කලා.

“ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා රටවැසියන් හා ඡුන්දදායකයන් හැටියට අපගේ අයිතිවාසිකම් කඩ වී ඇතැයි මමත්, දසිත් මන්තිලක මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නා. මෙය විමර්ශනය කිරීම පිළිබඳ සභාපතිනිය සමග සාකච්ඡා කර දැනුම් දෙන බව පැමිණිල්ල බාරගත් නිලධාරිනිය කීවා. මෙය විමර්ශනය කළත්, නැතත් රට වැසියන් වන අප ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරෙන අයිතීන් ගැන අවදියෙන් සිටිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම වියදම් අධික කටයුත්තක්. ඒ නිසයි මානව හිමිකම් කොමිසමට අපගේ පැමිණිල්ල ඉදිරිපත් කළේ.”

මේ පිළිබඳව අයිතිය වෙබ් අඩවිය විසින් මානව හිමිකම් කොමිසමේ නියෝජිතවරියකගෙන් කරුණු විමසීමේදී ඇය පවසා සිටියේ එම පැමිණිල්ල ලැබුණු බවත් මේ වන විටත් ඒ පැමිණිල්ල සභාපතිනියගේ අවධානය වෙත යොමු කර ඇති බවත් හෙට දිනයේ (නොවැම්බර් 28) මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ස්ථාවර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූවාය. 

තිඹිරියාගම බණ්ඩාරයන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහත දැක්වේ.

 

සභාපති

මානව හිමිකම් කොමිෂන් සභාව

ශ්‍රී ලංකාව

 

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා තරග කළ 2015 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වුණා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර විධායක බලතල අතහැර නාමික විධායක බවට පත්වන බව අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව මා ඇතුළු රටවැසියන් සිවිල් සංවිධාන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් වැඩ කළේ ඒ නිසයි. එමෙන්ම ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වුණා මෛත්‍රී ජනනාධිපති හැටියට පත් කර රනිල් අගමැති හැටියට පත් කරන බව ප‍්‍රසිද්ධ වේදිකාවල එය ප‍්‍රකාශ කළා. මා ඇතුළු ඡන්දදායකයන් 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ එම විශ්වාසය මතයි. පොරොන්දු වූ පරිදි මෛත්‍රී ජනාධිපති වූ පසුව රනිල් අගමැති හැටියට පත් වුණා. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වුනා. 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායකයේ බලතල විශාල ප‍්‍රමාණයක් ඉවත් කෙරුණා. ව්‍යවස්ථාවේ VII පරිච්ඡේදයේ සමහර කොටස් ද VIII සම්පූර්ණයෙන්ද ඉවත් කෙරුණා. 19 සංශෝධනය අනුව අගමැති පත් කිරීමේ බලය ඇතත්, ඉවත් කිරීමේ බලය ජනාධිපතිට අහිමි වුණා. ඇමතිවරුන් ඉවත් කිරීමේ බලය නැතිවුණා.ඒ සඳහා අගමැති විමසිය යුතුයි. ජනාධිපතිගේ කැමැත්තේ හැටියට අගමැති පත් කිරීමේ බලය නැතිවුණා. බහුතරයේ කැමැත්ත මත පමණයි කළ හැක්කේ බහුතර කැමැත්ත ගන්නේ මන්ත්‍රීවරුන්ගෙන්. ඔවුන් පත් කළේ අපි. එයින් පිළිඹිඹු වන්නේ අපේ කැමැත්ත. එමෙන්ම 19 ව්‍යවස්ථාව අනුව වසර හතරමාරක් යනතුරු ජනාධිපතිට ආණ්ඩුව විසුරුවන්න බෑ. පැරණි ව්‍යවස්ථාව මෙහිදී අදාළ වන්නේ නෑ.

එහෙත් ජනාධිපතිවරයා අගමැති රනිල් සිටියදී කිසිදු මතයක් නොවිමසා තනි කැමැත්තෙන් අගමැතිවරයෙකු පත් කර තිබෙනවා. වසර හතරාමාරක්් යෑමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා. එසේ විසිරවිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බහුතර කැමැත්තෙන් පමණයි. ඔහු 19 ව්‍යවස්ථාව උල්ලංඝණය කර පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කර තිබෙනවා. මේ තීරණ දෙකම නිසා ඡන්දදායකයෙකු හා රට වැසියෙකු හැටියට මගේ අයිතිවාසිකම් කඩ කිරීමක් හා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක්.

ඒ නිසා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමෙන් රටවැසියකු හැටියට මගේ අයිතිවාසිකම් හා පරමාධිපත්‍යය උල්ලංඝණය කළ අයකු හැටියට නම් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මා ඉල්ලා සිටිනවා.

 

තිඹිරියාගම බණ්ඩාර

27.11.2018

 

 

 

 




2018-11-27
Advertisement

Find us on Facebook