English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වම් අතින් ජවිපෙ පමණක් අල්ලා දකුණත නිදහස්ව තබා ගැනීම - බිමල් රත්නායක


“මහාචාර්ය ලියනගේ අමරකීර්ති ප‍්‍රකාශයක් කරලා කිව්වා, ඔහුට මේ රට හොඳ පැත්තට හරවාගන්න  ඕනා. ඒ සඳහා ඔහු ජවිපෙ ඇතුළු විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරන්න ලෑස්තියි. ඔහු කිව්ව දේ තමයි ඔහු ඔහුගේ වම් අතින් පමණක් ජවිපෙ අල්ලගන්නවා. දකුණු අත නිදහස්ව තියාගන්නවා අනික් අයව එකතු කරගන්න කියලා. අපිට සියල්ල එක සමාන කරගෙන වැඩ කරන්න බැරිවේවි. අපේ යෝජනාව තමයි මේ අනීතික පාලනය පෙරළා දමන්න එකට වැඩ කරමු.”

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම සඳහා පෙළගැසෙමු නමින් වමේ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් 2018 නොවැම්බර් මස 26 වෙනි දින ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය. එහිදී අදහස් දැක්වීම සඳහා සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ, නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, අධිනීතිඥ ලාල් විජේනායක,ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා යන පිරිස සහභාගි විය. මේ එහිදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක දැක්වූ අදහස් වලින් කොටසක්.

අපි ඉතා පැහැදිලිව කියන්න කැමතියි කුමන්ත‍්‍රණය පැරදවීම කියන කාරණයේදී එකතුවෙලා වැඩ කරන්න පුළුවන්. එක ඉලක්කයකට වෙනම වැඩ කරන්න පුළුවන්. ඒ ගැන අපි අතරේ විවාදයක් නෑ. නමුත් අපි විශ්වාස කරනවා ඇයි සමාජවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කරන අරගලය දෙකක් ලෙස සලකන්නේ. සමාජවාදය සඳහා තිබෙන ගමනත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා තිබෙන ගමනත් පාරවල් දෙකක් ලෙස සලකන්නේ ඇයි?  අපි දන්නවා අපිට අභියෝගයක් තියෙනවා. අපි කටයුතු කරමින් ඉන්නේ විශේෂ යුගයක. සමහරු හිතනවා සමාජවාදය කියන්නේ 1992 දී මොස්කව්වල ගල්වෙච්ච එකක් කියලා. එහෙම එකක් නෙමෙයි. අද ගත්තොත් ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා මැරිලා අවුරුදු දෙකක් වෙනවා. ෆිදෙල් කියපු අදහස් කිහිපයක් මේ දවස්වල සැරිසරනවා. මම ඒ කිහිපයක් ගැන සඳහන් කරන්නම්.

ඔබ සමාජවාදය අසාර්ථකභාවය ගැන කතා කරනවා. නමුත් අවුරුදු 300 ක් තිස්සේ අප්‍රීකාවේ, ආසියාවේ, ලතින් ඇමෙරිකාවේ තියෙන ධනවාදය ගැන කියනවා. ඒකේ තියෙන්නේ සාර්ථකභාවයද? ”.

මේක න්‍යායික තලයේ සාකච්ඡාවක් බවට පත්කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජවාදය සඳහා වන ගමනත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ගමනත්. දෙකක් නෙමෙයි එකක් කියලා අපි විශ්වාස කරනවා. එකිනෙකා යන දුර වෙනස් වෙන්න පුළුවන්. අපි රත්නපුරේට යනකොට අපිත් එක්ක අවිස්සාවේල්ලට යන කට්ටියත් එක්කත් යන්න, ඇඹිලිපිටිය දක්වා යන කට්ටියක් ඉන්නවනම් ඒ ගොල්ලන් එක්කත් යන්න. අපි රත්නපුරෙන් නතරවෙයි. ඇඹිලිපිටිය දක්වා යන කට්ටිය, ඇඹිලිපිටිය දක්වා යයි. ඒකේ වැරැද්දක් නෑ. මොකද ප‍්‍රශ්නය තියෙන්නේ ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක් විශ්වාස කරන අය මෙතන ඉන්නවද දන්නේ නෑ. මම අහන්නේ අපි මේ සිනාරියෝ එක අනික් පැත්තට හිතමු. මෛත්‍රීපාල සිරිසේන විසින් මෙලෙස ඉවත් කරනු ලැබුවේ, එන්.එම්.පෙරේරාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් නම්, එක්සත් ජාතික පක්ෂය අද අපිත් එක්ක මෙහෙම හිටගන්නවද? එක්සත් ජාතික පක්ෂයනේ එතකොට විපක්ෂය වෙන්නේ. එතකොට අද මේ වමේ පක්ෂ කරන කාර්යභාරය කරනවද? මම හිතනවා කරන්නේ නෑ. හිතන්නේවත් නෑ. අද වෙනිසියුලාවේ වෙන දේවල් දැක්කම අපිට පේනවා. මොකද මම කියවලත් තිබෙනවා. පැරිස් කොමියුනය සම්බන්ධ අරගලයේදී එක ධනේෂ්වර නායකයෙක් කියපු වැකියක් තියෙනවා. එය වාර්තා වී තිබෙනවා.

පැරිසිය වැඩකරන පංතිය අතට පත්වෙනවට වඩා, මම සිය වතාවක් කැමතියි, පැරීසිය විදේශිකයන් අතට යනවට.”


ඒ නිසා අපි දකින දේ තමයි. අපි සමාජවාදය කියලා මොකක්ද විශ්වාස කරන්නේ. අපි විශ්වාස කරන්නේ සාධාරණත්වය, අපි විශ්වාස කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. අපි විශ්වාස කරන්නේ අනෙකා සම්බන්ධයෙන් තියෙන ගරු කිරීම. නරකම දේ තමයි අනික් මිනිස්සුන්ව ගණන් ගන්නේ නැති එක. අපිට මේ ප‍්‍රශ්නය අපි හොඳින්ම දැනගෙන තිබියදී, මේ අනීතික රාජපක්ෂ පාලනය පෙරළලා, ඊළගට ගොඩගන්න යන්නෙත්, අටවගන්නෙත්, පැවති ඒ දුර්දාන්ත ක‍්‍රමය බව දැනදැනම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කෙරෙන්නාවූ බරපතල, පූර්වාදර්ශය වලක්වගන්න  ඕනා කියන එකේ සීමාවට අපි සටන් කරනවා. නමුත් අපි හිතන්නේ නැහැ මෙය සිදුවුනේ වාමාංශික ආණ්ඩුවකට නම් කිසිසේත්ම ලංකාවේ ධනේෂවර දේශපාලන නායකයෝ හා ඒ පැලැන්තිය නියෝජනය කරන කොටස්, අපි අද මේ කරන කාර්යභාරය කරන්නේ නැහැ. මොකද ඔවුන්ට තියෙන්නේ කෙටි දෙයක්. අපිට තියෙන්නේ දුර දෙයක්. මම අවසාන වශයෙන් ඒ නිසා කියන්නේ, අපි දකින දේ තමයි, අපි එකතුවිමේ මේ අනීතික, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ජාතිවාදී, දුෂ්ට බලය පරාජයට පත් කළ යුතුයි. දැනටම අපි එය සියයට අසූවක්, අනූවක් පරාජයට පත් කරලා තියෙනවා. එය ලේ සොලවන්නේ නැතුව පරාජයට පත් කරන්න පුළුවන් නම්, ඒකමයි අපි දෙන හොඳම දේ. හොඳම විදිය.

අවසාන වශයෙන් අපිට තියෙනවා අභියෝගයක්. ඒක තමයි, මේ අර්බුදයට අපි ගෙවන්නේ නැතිව, ජනතාවට ඉතා පැහැදිලි අදහසක් ලැබිලා තියෙනවා මේ පාලක කණ්ඩායම් දෙක ගැන. මෛත්‍රීපාල සිරිසේන කියනවා, රනිල් වික‍්‍රමසිංහ සහ සාගල රත්නායක කොහොමද දූෂිතයන් ආරක්ෂා කළේ කියලා. සාගල රත්නායකගෙන් මම ඉල්ලා සිටිනවා ට්විටර් පණිවිඩ වගේ කෙටි ඒවා නැතිව ඔබතුමා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියන්න කොහොමද මෛත්‍රීපාල සිරිසේන පහුගිය පාලනයේ දූෂිතයන් ආරක්ෂා කළේ කියලා. එතකොට අපිට මේ දවස්වල ජනතාවට ලැබිලා තියෙන ඉතාම ප‍්‍රබල, දේශපාලන අධ්‍යාපනයක්. අපි ජවිපේ වශයෙන් දකින දේ තමයි මේ අර්බුදයෙන් පසු ඉදිරිපත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදි අපි දකින දේ තමයි මෙන්න මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන්න කැමති වාමාංශිකයන්, නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක් විශ්වාස කරන මෙන්න මේ බලවේග අතර, පොදු මධ්‍යස්ථානයක් හදන්න  ඕනා, එජාප හා ශ්‍රීලනිප නොවී. ඔවුන්ගෙන් මිදිච්ච මධ්‍යස්ථානයක් හැදිය යුතුයි. ඒ නිසා ජවිපෙ වශයෙන් අපි උත්සාහ කරන්නේ. එහෙම පොදු මධ්‍යස්ථානයක කොටස්කරුවෙක් වෙන්න. එක උදාහරණයක් කියලා අවසාන කරන්නම්, එක සම්මන්ත‍්‍රණයකදි මම ඇහැව්වා මහාචාර්ය ලියනගේ අමරකීර්ති ප‍්‍රකාශයක් කරලා කිව්වා, ඔහුට මේ රට හොඳ පැත්තට හරවාගන්න  ඕනා. ඒ සඳහා ඔහු ජවිපෙ ඇතුළු විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරන්න ලෑස්තියි. ඔහු කිව්ව දේ තමයි ඔහු ඔහුගේ වම් අතින් පමණක් ජවිපෙ අල්ලගන්නවා. දකුණු අත නිදහස්ව තියාගන්නවා අනික් අයව එකතු කරගන්න කියලා. අපිට සියල්ල එක සමාන කරගෙන වැඩ කරන්න බැරිවේවි. අපේ යෝජනාව තමයි මේ අනීතික පාලනය පෙරළා දමන්න එකට වැඩ කරමු. ඉන් පසුව එළඹෙන නිමේෂයේදී අපි සියල්ල එකග කරගන්න බැරි වුනත්, එකගවිය හැකි පදනම මත එකතුවෙලා නව ජනතා මධ්‍යස්ථානයක් ගොනගමු. අන්න ඒක තමයි අපි දකින්නේ මේ අර්බුදයෙන් ජනතාවට ගන්න පුළුවන් දේශපාලන වාසිය.”




2018-11-27
Advertisement

Find us on Facebook