English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථාවට එරෙහි කුමණ්ත‍්‍රණය පරාජය කිරීමේ අධ්‍යාක්මික සටන ඇරඹෙයි!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝම්බර් 26 වෙනි දින ආරම්භ කරන ලද ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ සහ එමගින් 2015 ඇති කරන ලද යහපාලන රාජ්‍ය ක්‍රියාවලිය ආපහු හැරවීමට එරෙහිව රටපුරා පැවැත්වෙන විවිධ විරෝධතා ව්‍යාපාරයන්හී සංධිස්ථානයක් ඇති කරමින් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් නොවැම්බර් 21 වෙනි දින කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ආරම්භ විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග‍්‍රහය යනුවෙන් නම් කර ඇති මෙම සත්‍යග‍්‍රහයේ සටන් පාඨය වන්නේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු” යන්න ඔවුන්ගේ සටන් පාඨයයි. මෙම සත්‍යග‍්‍රහය සිවිල් සමාජ හා වෘත්තිය සමිති එකමුතුව විසින් සංවිධාන කර ඇත. මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වමින් මෙම අවස්ථාව හා සම්බන්ධ වන ජනතාවගේ අත්සන් ලබාගැනීමේ මහජන පෙත්සම් ව්‍යාපාරයක් ද මීට ඇතුළත්ය. 

ආගමික වතාවත් වලින් පසුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇරඹිණි. මේ සඳහා ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු දේශපාලඥයන් පිරිසක්, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නපි‍්‍රය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් කි‍්‍රයාකාරීන් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.

මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් අරමුණ පැහැදිලි කළ වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රීය.

නීත්‍යානුකූල නැති විදියට නිල අගමැතිවරයා ඉවත් කලා, නීත්‍යනුකූල නැති අගමැතිවරයෙක් පත් කළා. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා. අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයක් කැඳවලා තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණයක් කැඳවීම බැලූබැල්මට වැරදියි කියන තීන්දුවක් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා. තහනම් නියෝගයකින් කියන්නෙත් ඒකයි. නඩු තීන්දුව තව දවස් කිහිපයකින් දෙන්න නියමිතයි. නඩුවේ තීන්දුවක් ආවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු ව්‍යවස්ථා කුමණ්ත‍්‍රණය අවසාන වෙන්නේ නෑ.

ඒක අවසාන කරන්න නම් ඔක්තෝම්බර් 26 වෙනිදට පෙර තිබූ තත්ත්වයට ආණ්ඩුව, රට අරගෙන යන්න  ඕනා. එහෙම කරන බවක් අපට පේන්නේ නෑ. ඔහු ඉතා උපක‍්‍රමශීලීව 2020 ඔහුගේ ජනාධිපති සිහිනය සැබෑ කරගන්න මේ රට උගසට තියමින් කටයුතු කරන බව තමයි අපට පේන්න තියෙන්නේ. රට බරපතල ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ජී.එස්.පී ප්ලස් නැවැත්වීමේ අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ හරහා ඇගලූම් කර්මාන්තයට බරපතල අනතුරක් එල්ලවීමේ අවධානමක් තියෙනවා. ඒවගේම ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික කප්පාදු කරලා තියෙනවා. ජපානය, ප‍්‍රංශය වගේ රටවල් රටට ගෙනාපු ආයෝජන, කරගෙන ආපු ව්‍යාපෘති අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා. ඔය කියන දේශපාලන නායකත්වයට විදේශගතවීම් වලදී වීසා නොදෙන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

අපි මේ ආරම්භ කරන සත්‍යග‍්‍රහ ව්‍යාපාරයේ මේ මොහොතේ සිට පැයක් නෙමෙයි, දවසක් නෙමෙයි, දවස් දෙකක් නෙමෙයි, සතියක් නෙමෙයි, මේ ප‍්‍රශ්නයට අවසාන විසඳුමක් ලැබෙනතුරු අපි ක්‍රියාත්මක වෙන බව අවධාරණය කරන්න  ඕන. අපි ආපහු හැරෙන්න කැමති නෑ විසඳුමක් නැතුව. මේකට හැම කෙනෙකම ඒකාත්මික වෙලා ඉන්නවා. හැම කෙනෙක්ගෙම සහයෝගය තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන, යහපාලනය ගරු කරන, යහපාලනය ඉල්ලන, නීතියේ ආධිපත්‍යය ඉල්ලන, හැම කෙනෙක්ම, මේකත් එක්ක ඒකාත්මික වෙයි කියලා අපි විශ්වාස කරනවා.”

පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි

ඒ සංස්කෘත කියමනෙන් කියන්නේ තමන් වැදූ මවට සහ තමන් උපන් භූමියට, යම් කිසි හානියක් කරන්න කවුරු හරි එනවා නම්, ඒ වෙනුවෙන් සටන් වැදලා, ඒ වෙනුවෙන් අරගල කරලා, ජීවිත පූජා කිරීම, ස්වර්ගයට යනවට වඩා උතුම් කියලා. ස්වර්ගයට යන එක දෙක. නිවනට යන එක දෙක. ඊට වඩා වැදගත් තමන්ගේ මාතෘභූමියට අනතුරක් වෙච්ච වෙලාවට, තමන්ගේ මවට කවුරු හරි හානියක් කරන්න එන වෙලාවක. ඊට එරෙහිව සටන් වැද දිවි පුදන එක. මේක ඉතාමත් ඇත්තක්. අපේ ලංකාවේ මේ ඉතිහාසය රන් අකුරින් ලියවිලා තිබෙනවා. ගිහි, පැවිදි දෙගොල්ලොම. මාතෘභූමියට හානියක් වෙච්ච හැම වෙලාවකම සිය ජීවිතය දෙක කොට සලකලා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ අඹුදරුවන් දේපල, වත්කම් වෙනත් වටිනායයි කියන සියල්ල දෙවෙනි තුන්වෙනි ස්ථානයන්ට දාලා තමයි මාතෘ භූමිය ඉතිහාසය පුරා රැකගෙන තියෙන්නේ. ඒ ඉතිහාසයට අපි කියන්නේ විරුවන්ගේ ඉතිහාසය කියලයි. ඒක සිංහල ඒ වගේම දෙමළ, ඒ වගේම මුස්ලිම්. ඒ වගේම බෞද්ධ. ඒ වගේම හින්දු, ඒ වගේම ඉස්ලාම්. ඒවගේම කතෝලික, ඒ වගේම ක්‍රිස්තියානි. ඒ වගේම උඩරට, ඒවගේම පහතරට, ඒ වගේම පිරිමි, ඒ වගේම ගැහැණු, බේදයකින් තොරව මේ මැදිහත්වීම් ඉතිහාසයේ සටන් වෙලා තියෙනවා.

අද සිට මෙතැන් සිට මේ සත්‍යග‍්‍රහය මැදිහත්වෙන්න කියන ආරාධනය කරමින් සියලූම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මාතෘභූමියට ජයවේවා.”

මහාචාර්ය සරත් විජේසූරිය

ව්‍යවස්ථාව කුණුකූඩයට දමා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට ජනාධිපතිවරයා දරණ මේ ප‍්‍රයත්නයට විරුද්ධව සියලූ පුරවැසියන් මහමගට බැස විරෝධතාවය පළකළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් රට පාලනය කිරීමට පැමිණි මෛති‍්‍රපාල සිරිසේන මහතා වෛරී පාලනයකට නායකත්වය දෙන්න තරම් සහාසික වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට මේ වන විට පිටුපාල තියෙනවා. ඔහුට දැන් ජනවරමක් නෑ. ඔහුට ඡන්දය දුන් හැටදෙලක්ෂයකට අධික ජනතාව වලපල්ලට යවන තරමට සහාසික තීරණයක් ඔහු 26 වෙනි දා අරගත්තා. තමන්ගේ පරම හතුරා සමග එක්ව ව්‍යවස්ථාව කුණුකූඩයට දමා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට දරණ මේ ප‍්‍රයත්නයට විරුද්ධව සියලූ පුරවැසියන් මහමගට බැහැලා විරෝධතාවය පළ කරන්න අවශ්‍යයි.

මේ නැතිකරන්න හදන්නේ අපේ රටේ දරුවන්ගේ අනාගතය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජීවත්වීමේ අයිතිය සහ මානව හිමිකම් තමයි මේ නැති කරන්න හදන්නේ. අද මේ ආරම්භ කරන සත්‍යග‍්‍රහයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අපි සංඥාවක් ලබා දෙනවා.

එතුමා පන්සල් යන පුද්ගලයෙක් හැටියට, තමන් අදහන ආගමට අල්පමාත‍්‍ර වූ ගෞරවයක් තියෙනවනම් මල් පහන් පූජා කරලා තමන්ට ප‍්‍රඥාව පහළ වේවා කියලා ප‍්‍රර්ථනා කරලා මේ රට අරාජික කිරීමෙන් වලක්වන්න මේ අවස්ථවේ අපි ආයාචනය කරනවා”

මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමේ සටනට එක්වන ලෙස සාමාන්‍ය ජනතාවට, සියලූ ආගමික සංස්ථාවන්හී නායකයින්ට, ස්වාමීන් වහන්සේලාට, පූජකවරුන්ට, රාජ්‍ය සේවකයන්ට, පුද්ගලික අංශයේ සේවකයන්ට, මාධ්‍යවේදීන්ට, දේශපාලන පක්ෂවල සමාජික සමාජිකාවන්ට, සහ සඳහන් නොවු  ඕනෑම ජනකොටසකට මේ තීරණාත්මක අවස්ථාවේ ඔවුන් සමග සම්බන්ධවන ලෙස සිවිල් සමාජ හා වෘත්තිය සමිති එකමුතුව ඉල්ලා සිටියි.

වීඩියෝව පහතින්...





2018-11-22
Advertisement

Find us on Facebook