English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පාර්ලිමේන්තුව කල් තැබීමට ඒරෙහිව නීතීඥ නාගානන්ද නඩු දමයි


පාර්ලිමේන්තුව කල් තබමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.SCFR/338/2018 යන අංකය යටතේ ගොනු වී ඇති එම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ නීතිපතිවරයා නම් කර ඇත.

එම පෙත්සමෙහි සඳහන් වන පරිදි 2018 ඔක්තෝම්බර් මස 26 වන දින ශ‍්‍රී ලංකා ජනරජයේ ජාතික ආණ්ඩුව නියෝජයන කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව යාම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකු ඉක්මවන හෙයින් එම අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වන ව්‍යවස්ථාව ප‍්‍රකාරව නීතිවිරෝධී මෙන්ම බලරහිත වන බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

තවද, එම පෙත්සමෙහි සඳහන් වන පරිදි,
 
x    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වන ව්‍යවස්ථාවට අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත්,

x    මහින්ද රාජපක්ෂ මහතාව අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීමත්,

x    රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (2) වන ව්‍යවස්ථාවේ දක්වා තිබෙන අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා සලසා ඇති විධිවිධාන කිසිවක් ඒ මහතා විසින් උල්ලංඝනය කර නොමැති බවත්, ඒ හේතුවෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කිරීමත්,

x    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 16 වන දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමත්,

යන සියළු කරුණු කාරණා හේතුවෙන් ජනතාවගේ විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය පරම විශ්වාසය මත ක‍්‍රියාත්මක කිරීමට ඡන්දයෙන් පත් කළ නියෝජිතයින් විසින් මෙසේ නීතියේ ආධිපත්‍ය ගරු නොකිරීමේ තත්ත්වයක් තුළ රටේ බරපතල නොසන්සුන්තාවයක් උද්ගත වී ඇති බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.  

එලෙස නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම තුළින් ජනතාවගේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති නීතිය ඉදිරියේ සමානත්වය සහ නීතියේ සමාන ආරක්ෂාව සඳහා ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවට එම පෙත්සම මගින් සඳහන් වේ. එබැවින්, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන ලද විධානය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පොදු ජනතාව වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා සිටී.




2018-10-31
Advertisement

Find us on Facebook