English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“වගන්ති කෑල්ලකින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්න බැහැ.” - ජයම්පතී වික‍්‍රමරත්න

"පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුව එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. මේ විදියට පමණයි අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ. ඒ අනුව අගමැතිවරයාට ධූරය අහිමිවෙනවා. ඒ හැරෙන්න වෙනම කිසිම තත්ත්වයක් නෑ.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ජයම්පතී වික‍්‍රමරත්න මහතා පවසයි. 

පසුගිය දින ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිධූරයට පත් කිරීමත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් නෙරපීමත් සමග රට තුල ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අදහස් පැන නැගුනා. මේ සම්බන්ධයෙන් 2018 ඔක්තෝම්බර් මස 28 වෙනි දින රාජගිරියේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආණ්ඩුක‍්‍රම විශාරද ජයම්පතී වික‍්‍රමරත්න මහතා මෙසේද අදහස් දැක්වීය.  

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයක් අර්ථනිරූපනය කරනකොට ඒක දිහා බලන කොට එක වගන්තියක් වගන්තියක කෑල්ලක් විතරක් දිහා බලලා තීරණයක් ගන්න බැහැ. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමස්තය සලකා බලන්න  ඕන. විශේෂයෙන්ම යම් සංශෝධනයක් විසින් සිදු කරන ලද දෙයක් නම් එම සංශෝධනයේ අරමුණ කුමක්ද? එම සංශෝධනය පිටුපස තිබුණු දේශපාලනය කුමක්ද? මැතිවරණයකින් පසුව නම් සංශෝධනය සිදුවූයේ නම්, එම මැතිවරණයේදී එම සංශෝධනය සාකච්ඡාවට භාජනය වුනු මාතෘකාවක් නම් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් නම් ජනතාව අදහස් කෙරුවේ මොකක්ද? එහෙම නම් ජනතාවගේ කැමැත්ත අනුව ඊට අර්ථනිරූපනයක් ලබා දිය යුතුයි. එහෙම නැතුව නිකම්ම නිකන් රික්තයන් තුළ එහෙම නැත්නම් අහසේ අර්ථ නිරූපනයන් කරන්නට බැහැ.

මතුවෙලා තියෙන ප‍්‍රශ්නය එනම්, ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට ඇති හැකියාව හෝ නොහැකියාව පිළිබඳව සාකච්ඡා කරනවා නම් 19 වෙනි සංශෝධනයට කලින් තිබුණු තත්ත්වයයි, ඊට පසු තත්ත්වයයි, හාත්පසින්ම වෙනස්. 19 වෙනි සංශෝධනයට පෙර 43 වගන්තියේ 3 උප වගන්තිය කියා තිබුනා ජනාධිපතිවරයාට පුළුවන් කියලා අගමැතිවරයා පත් කරන්න. ඒත් ඒකත් අත්තනෝමතික කරන්න පුළුවන් තත්ත්වයක් කවදාවත් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව තුළ උපරිම විශ්වාසය තිබෙන පුද්ගලයා කව්ද කියලා ජනාධිපතිවරයා දන්නවා නම්, ඔහුගේ මතය නම්, ඒ අනුව ඒ පුද්ගලයාව පත් කරන්න පුළුවන්. ඉවත් කිරීම පිළිබඳව තිබුණා අදට වඩා වෙනස් ප‍්‍රතිපාදනයක්. 47, අ වගන්තියේ තිබෙනවා, අගමැතිවරයා ඉවත් කිරීමට පුළුවන් කියලා ජනාධිපතිවරයාට. ආයේ කතා නැහැ ඉවත් කරන්න පුළුවන්. බොහෝම පැහැදිලියි. මේ වගන්තිය තමයි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කළේ. 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු මහා මැතිවරණයේදී, ජනාධිපතිවරණයේදී අපි කිව්වා මේවා වෙනස් කරනවා කියලා. අපි කිව්වා පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියලා. ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල ඉවත් කරනවා කියලා. අපි ඒක කෙරුවා. ඒ නිසා අද අර්ථ නිරූපනය කළ යුත්තේ 19 පස්සේ ඇති වුනු වෙනස. අනුවයි. 19 වෙනි සංශෝධනය පසුව අගමැතිවරයා පත්වීම තිබෙන්නේ 42.4 වගන්තියේ. එහි තිබෙන්නෙත් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් කෙනා පත් කරන්න පුළුවන් කියලා. නමුත් ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳව කලින් තිබුණු ප‍්‍රතිපාදන ඉවත් කෙරුවා. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳව කිසිම ප‍්‍රතිපාදනයක් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැහැ. අගමැතිවරයා ධූරය දරන්නේ කුමන තත්ත්වයන් යටතේ ද කියන එක 46.2 වගන්තියේ තිබෙනවා. කැබිනට් මණ්ඩලය පවතින තාක්කල් අගමැතිවරයා එම ධූරය දරනවා. අගමැතිවරයා ඉල්ලා අස්වුනොත් මිස හෝ ඔහු තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුනහොත්. අගමැතිවරයෙක් මියගියහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන නිසා අගමැතිධූරය හිස්වෙනවා. ඒ වගේම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වීමට නුසුදුස්සෙකු වුවහොත් ඔහු ඉවත් කිරීමට පුළුවන්. එහෙම නැත්නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය තියෙන තාක්කල් ඔහුට රැඳී සිටීමට පුළුවන්. ඔබගේ දැනගැනීම සහ ප‍්‍රයෝජනය සඳහා මම 46.2 වගන්තිය කියවන්නම්. අගමැතිවරයා ස්වකීය අත්සන සහිත ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වූ බව දැනුම්දුනහොත් හෝ තව දුරටත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් නොවූවහොත් හෝ මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්වන්නේ ද, ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය. එතකොට අගමැතිවරයා අගමැතිධූරය දැරීම තීන්දු වෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම මත. අමාත්‍ය මණ්ඩලය පවතින්නේ කොහොමද? අමාත්‍ය මණ්ඩලය විසුරු හැරියා ලෙස සැලකෙන්නේ කෙසේද?. ව්‍යවස්ථාවේ තිබෙනවා 48.2 වගන්තිය. පාර්ලිමේන්තුව පවතින විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ අවස්ථා තුනකදී පමණයි. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුව එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. මේ විදියට පමණයි අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ. ඒ අනුව අගමැතිවරයාට ධූරය අහිමිවෙනවා. ඒ හැරෙන්න වෙනම කිසිම තත්ත්වයක් නෑ.

දැන් තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා අර්ථ නිරූපන අඥාපනත සම්බන්ධයෙන්. එහි තිබෙනවා 17 වෙනි වගන්තියේ යම් කෙනෙකුට පුළුවන් නම් පත් කරන්න ඒ පුද්ගලයාටත් පුළුවන් ඉවත් කරන්න කියලා. දැන් ඒක බලපානවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපනයට. ඒක තමයි වැදගත්. දැන් මේ පිළිබඳව පැහැදිලි නඩු තීන්දු ගණනාවක් තියෙනවා. මම ඉස්සෙල්ලාම ආසන්නයේම තියෙන නඩු තීන්දුව කියන්නම්. 2014 නොවැම්බර් මාසේ 10 වෙනි දින හිටපු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කලා 18 වෙනි සංශෝධනය ආවට පස්සේ ඔහුට ඉල්ලන්න පුළුවන් ද කියලා තුන්වෙනි වරට. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 10 දෙනාම අත්සන් කරලා ඒකමතික තීන්දුවක් දීලා. එම නඩු තීන්දුවට අත්සන් කරලා තියෙනවා පූර්ණ විනිශ්චය සභාවක් ඒක. හිටපු විනිශ්චයකාරවරුන් 10 දෙනාගෙන් තුන් දෙනෙක් හිටපු අගවිනිසුරුවන්. 4 දෙනෙක් අගවිනිසුරුධූරයේ වැඩ බැලූ අය. මොවුන් කියනවා අර්ථ නිරූපන ආඥාපනත භාවිතා කරන්න බෑ කියලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කරන්න බැහැ කියලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පැහැදිලි නම් එය භාවිතා කළ නොහැකි බව ඔවුන් එහි සඳහන් කර තිබුණා.තවත් අගවිනිසුරුවරයෙක් වුනු ශර්වාදන්දන් අගවිනිසුරුවරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් නැමති පොතේ 49 වෙනි පිටුවේ කියා තිබෙනවා ඉන් පසු මෙවැනි නඩු තීන්දු දෙකක් උපුටා දක්වනවා. ”

සම්පුර්ණ වීඩියෝව පහතින්...





2018-10-28
Advertisement

Find us on Facebook