English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හමුදාවට බාරවී අතුරුදහන් වුවන් සොයාගැනීමට OMP කාර්යාලයට දුෂ්කරතා

යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බාරවීමෙන් අනතුරුව ආගිය අතක් නැතියවුන් සොයාගැනීම සම්බන්ධයෙන් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට (OMP) දුෂ්කරතා මතුවී තිබේ.

එසේවුවත්, ඒ තොරතුරු ලබා ගැනීම සඳහා ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බව OMP ප්‍රධානියා ප්‍රකාශ කළේ යුද හමුදාවෙන් ලබා නොදෙන තොරතුරු ලබා ගැනීම සඳහා එම කාර්යාලයට කළ හැකි මැදිහත්වීම කුමක් දැයි ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

බාරවී අතුරුදහන් වුවන්ගේ ලැයිස්තු ඉදිරිපත් කරන ලෙස ඥාතීන් ඉල්ලා සිටියත් ඒවා ලබා ගැනීමේ අසීරුතාව  ඔහු විසින් හඳුන්වන ලද්දේ “යතාර්ථය” ලෙසිනි.

“යම් ආකාරයක ඒ තොරතුරු ලබාගැනීමේ ක්‍රියාදාමයක් පටන්ගෙන තියෙනවා,” යි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේය.

“හැබැයි අපි තේරුම් ගන්න ඕනේ යතාර්ථය තමයි, හැමෝම තොරතුරු ඉල්ලුව ගමන් තොරතුරු දෙන එකක් නෑ. හැබැයි අපිත් ක්‍රමවේද හදාගන්න ඕනේ තොරතුරු ලබාගන්න.”

නම අවුරුද්දකට ආසන්න කාලයකට ඉහතදී අතුරුදහන් කරවනු ලැබූ සිය සැමියා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාගැනීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ OMP සභාපතිවරයාට තම ප්‍රශ්නය යොමු කළේ දකුණේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන් පිරිසක් සමග කොළඹ 7 ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදීය.

කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික් තුනෙහි අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන් එම රැස්වීම සඳහා කැඳවා තිබුනි.

උතුරු නැගෙනහිර හමුදාවට භාරවූ ඇතැමුන් අතුරුදහන් වී ඇති බව OMP සභාපතිවරයා බස්නාහිර පළාතේ මව්වරුන්ට පැහැදිලි කර දුන්නේය.

පුද්ගලයන් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියදීත් සේවයේ යොදවා සිටීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මතුකළ පැනයකට පිළිතුරු දෙමින් සාලිය පීරිස් සභාපති වරයා කියා සිටියේ හමුදා නිලධාරීන්ගේ සේවය අත් හිටුවීම සඳහා OMP අතුරු වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇති බවයි.

අතුරු වාර්තාව කැබිනට් කමිටුවකට භාර දී තිබෙන ආණ්ඩුව එම නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇති බවට අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ සභාපති වරයා විශ්වාසය පල කළේය.

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම හෙළිකර ගැනීම සඳහා ආණ්ඩුව දේශපාලන ශක්තිය ලබාදීම අනිවාර්ය බව OMP ප්‍රධානියා මීට ඉහතදී ප්‍රකාශ කර තිබුනි.

උපුටා ගැනීම - රේඩියෝ ගගන




2018-10-22
Advertisement

Find us on Facebook