English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සරසවි සිසු පා ගමනට අනුරාධපුරදී පොලිසිය බලා සිටියදී තර්ජන

කිලෝමීටර දෙසීයකට ආසන්න දුරක් ගෙවා බාධාවකින් තොරව උතුරේ සිට පා ගමනක යෙදුනු සිය ගණනකට අනුරාධපුරයට ඇතුල් වූ පසු පොලිස් නිලධාරීන් ඉදිරියේ තර්ජන වලට මුහුණ දීමට සිදුවී තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන එම පාගමන යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය මුල්වී සංවිධානය කර තිබුනේ උතුරු නැගෙනහිර සරසවි සිසුන් විසිනි.

යාපනයෙන් අරඹා පස් දිනක් ගතකොට ඔවුන් පැමිණ සිටියේ පනහකට වැඩි පිරිසක් දෙමළ සිරකරුවන් හා දියත් කර ඇති උපවාසයකට මාසයකට ආසන්න කලකට ඉහතදී මුල පිරූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් හමුවීමටය.

නඩු කඩිනම් කරන ලෙස හෝ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අනුරාධපුර දේශපාලන සිරකරුවන් මුණගැසී ශිෂ්‍ය නියෝජිතයන් සහ සිවිල් සමාජ ක්‍රියාධාරීන් පිටතට ආ පසු පා ගමන්කරුවන්ට තර්ජනය කරනු ලැබුවේ ඔවුන් එල්ටීටීඊ ආධාරකරුවන් ලෙස හඳුන්වමිනි.

ඒ අවස්ථාවේ පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් බලා සිටිනු දකින්නට ලැබුනි.

සිංහලෙන් කතා කරන ලෙස දෙමළ සිසුන්ට හා හින්දු පූජක වරයකුට බල කරමින් “එල්ටීටීඊ එක වෙනුවෙන් ආ” පුද්ගලයන්ට ඉදිරියට එන ලෙස අභියෝග කරනු ලැබුවේ අසභ්‍ය වචනයෙන්ද කෑ ගසමිනි.

තර්ජනය කළ අය වෙතින් මත්පැන් ගඳ වහනය වූ බව සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීහු පවසති.

“එල්ටීටීඊ එක දැන් ඉන්නවා දැ?” යි පෙරලා ප්‍රශ්න කළ උතුරෙන් ආ මාධ්‍යවේදියකුටද “කතා නොකර අහන්න කියන දේ” යි තර්ජනය කරනු වීඩියෝ ගතවී තිබේ.

පා ගමනේ ගෙනයනු ලබන බැනර් වල ඇත්තේද දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස වන ඉල්ලීම බව මාධ්‍යවේදියා පැහැදිලි කරනු දකින්නට ලැබේ.

“හැබැයි මීඩියා වල හවස එල්ටීටීඊ සම්බන්ධයක් ගියොත් ඉවරයි ආ, ආයේ වරද්දන්න එපා,” යි නැවතත් තර්ජනයක් එල්ල විය.

නඩු නැතිව වසර ගණන් සිරගත කොට සිටින දේශපාලන සිරකරුවන් බොහෝ සිංහල ජනමාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ “එල්ටීටීඊ ත්‍රස්තවාදීන්” ලෙසය.

“යහපාලන රජය! දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යනුවෙන් පෙලපාලිකරුවන් හැඳ සිටි ටී ෂර්ට් වල සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තිබුනි.

ජනාධිපතිවරයා සමග 17 බදාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවකින් “දේශපාලන සිරකරුවන්ගේ නිදහස පිළිබඳ ස්ථිර පිළිතුරක්” ලබා ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා විසින් සහතිකයක් දීමෙන් අනතුරුව තාවකාලිකව අත්හිටුවීමට දෙමළ දේශපාලන සිරකරුවන් උපවාසය එකඟ වූ බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

උපුටා ගැනීම - ගගන




2018-10-16
Advertisement

Find us on Facebook