English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ක්ෂීර සාගරය කැළඹින - ප්‍රබෝධ රත්නායක

1
මහාභාරතයට අනුව සුර අසුර යුද්ධයෙදී ක්ෂීර සාගරය කැලඹුන නිසා අමෘතය වැනි වටින දේවල් මතු කර ගැනීමට හැකි වුණා. හවුල් ආණ්ඩුව ඇතුලේ ප්‍රධාන පක්ෂ දෙක ගැටෙද්දී ක්ෂීර සාගරය කැළඹිලයි තියෙන්නේ. ඒ නිසා වටිනා දේවල් මතු කරගන්න අවස්තාවක් තිබෙනවා.
මේ වසර දෙකකට පමණ පෙර නිර්මාල් මේ ආණ්ඩුව ගැන ලියා තිබූ සටහනක මතකයේ තිබෙන අර්ථයයි.
2
සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගරය කැලඹින කතාවේ කතා නායකයා අධිරාජ්‍යයයෙකි. ඔහු සිය අධිරාජ්‍යයේ නායකයා වන අතරම අධිරාජ්‍යාට එරෙහි කැරලිගසන තැනට සොර කණ්ඩායමක් ගෙන එන තමන්ට එරෙහි කැරැල්ලේ නායකයා ද ඔහු වෙයි.

යහපාලනය සහ සිවිල් සමාජ භූමිකාව ක්ෂීර සාගරය කැලඹීම හරහා තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ මේ සාහිත්‍ය මාසය වන නිසා නොවේ. යහපාලනය තේරුම් ගැනීමේ එක් යතුරක් එහි තිබෙන නිසාය.

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ගෙන යන යහපාලනය නිසා සැම විටම දේශපාලන සාගරය කැළඹී තිබෙන අතර වරින් වර ඒ තුලින් වටිනා දේවල් මතුවේ. ස්වාධීන ආයතන ශක්තිමත් වූ දහ නව වන සංශෝදනය, තොරතුරු දැන ගැනීමේ පනත, දේශපාලනයේ කාන්තා නියොජනය, අතුරුදහන් තැනැන්තන් පිළිබඳ කාර්යාලය එසේ මතු වූ වටිනා දේවල් කිහිපයකි.

එසේම යහපාලනයේ දුෂ්ඨයා මෙන්ම වීරයා සිටින්නේ ද ආණ්ඩුව තුළමය. ලිබරල් නිදහස වෙනුවෙන් පෙනී සිටින මංගල සමරවීර මෙන්ම ජනප්‍රිය පසුගාමීත්වය වෙනුවෙන් පෙනී සිටින විජේදාස රාජපක්ෂ සිටින්නේද එකම ආණ්ඩුවේය. එනම් අධිරාජ්‍යාගේ භූමිකාව මෙන්ම අධිාරාජ්‍යට එරෙහි කැරැල්ලේ භූමිකාවද ආණ්ඩුව කරමින් සිටියි.

යහපාලනය තුළ සිවිල් සමාජයට සිය කටයුතු කරගෙන යෑම සදහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය වී ඇති අතර එය කෙතරම් පුළුල් වී ද යත් සිවිල් සමාජයේ න්‍යාය පත්‍රයේ කොටසක් රජය විසින්ම ක්‍රියාත්මක කරමින් පවතී. එසේම සිවිල් සමාජයේ බොහෝ සැලස්මවල් සකස් වී ඇත්තේ මේ යහපාලන ආණ්ඩුවේ පැවැත්ම සමඟය. එහෙත් තවත් අතකින් සිවිල් සමාජයේ පැවැත්ම සදහා ආණ්ඩුවට එරෙහි භූමිකාවක් ද ඇතැම් විට රඟ දැක්වීමට ද සිදුව ඇත. එම නිසා තමන් නායකත්වය දෙන අධිරාජ්‍යයට මෙන්ම එයට එරෙහි කැරැල්ලට ද නායකත්වය දීමට සිවිල් සමාජයට සිදුවේ.

සරල වටහා ගැනීමකදී මේ තත්ත්වය දෙබිඩි පිළිවෙතක් යැයි කෙනෙකුට වැට හී යා හැකි වුවත් එය එයට වඩා සංකීර්ණය. ආණ්ඩුවේ පැවැත්ම රදා පවතින්නේ ප්‍රධාන පක්ෂ දෙකේ සහහෝගය මෙන්ම ප්‍රතිරෝධය හමුවේය. සිවිල් සමාජයේ පැවැත්මද රදා පවතින්නේ ආණ්ඩුව සමඟ පවතින සහයෝගය මෙන්ම ප්‍රතිරෝධය හමුවේය. එම නිසා මෙම දෙබිඩි ස්වභාවය හොද – නරක වර්ගීකරණයෙන් තේරුම් ගත නොහැක. සියලු යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් මතු වන්නේ මෙම සහයෝගයන් සහ ප්‍රතිරෝධයන් අතරින්ය. මේ තත්ත්වය හමුවේ දේශපාලන තන්ත්‍රයේ සහ නිළධාරී තන්ත්‍රයේ මෙතෙක් හුරු පුරුදු සමහර ලක්ෂණ වෙනස් වෙමින් පවතී. උදාහරණයක් ලෙස පසුගිය කාලය පුරා ආයතන වල ඉහළ මට්ටමේ තීරණ ගැනීමේදී ප්‍රධාන සාධකය වූයේ ජාතිවාදයයි. එහෙත් දැන් ඒ වෙනුවට දැන් වෙනත් වටිනාකම් ආදේශ වෙමින් පවතී. පොලිසිය ආශ්‍රයෙන් මෙය තේරුම් ගත හැක. දැන් සිටින පොලිසියේ ප්‍රධානියා ජාතිවාදයෙන් පාලනය වන අයෙකු නොවේ. එය පසුගිය කාලයේ පොලිසියත් සමග ජාතිවාදී සම්බන්ධයක් පැවැත්වූ බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි වී ඇත. ඒ නිසාම ඔහු විහිළුවක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

මේ ආකාරයටම රටේ තීරණාත්මක වෙනස්කම් සිදුකර ගත හැකි වන සංහිඳියාව පිලිබඳ කතාබහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ කතාබහ, තොරතුරු අයිතිය, දේශපාලනයේ කාන්තා නියෝජනය තහවුරු කිරීම වැනි ප්‍රගතිශිලී ප්‍රතිසංස්කරණයන් විහිළුවට ලක්කිරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක වේ. එය ආණ්ඩුවට පිටින් පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද ක්‍රියාත්මක වන්නකි. මේ තත්ත්වය තේරුම් ගත නොහැකි වී සිටින බොහෝ දෙනෙක් මේ කාලයේ වියවුලට පත්ව සිටිති.

ගියවර කලාප මෙන්ම මෙවර සමබිම කලාපයද ඔබ අතට පත් වන්නේ මුද්‍රිත ආකාරයෙන් නොව ඩිජිටල් පිටපත් ලෙසින් පමණක් වන්නේ ලබන කලාපයේ සිට සුපුරුදු පරිදි මාසයකට වරක් අඛණ්ඩව මුද්‍රිත පිටපත් සමග ඔබ වෙත ඒමේ පෙරහුරුවක් වශයෙනි. ක්ෂීර සාගරය කැළඹුන බව තේරුම් ගෙන සිටින නිසා අප තුළ කැළඹීමක් නොමැත. අප උත්සාහ කරන්නේ කැළඹුන සාගරයෙන් වඩා වටිනා දේවල් මතු කර ගැනීමටය. එහෙත් එය අපට තනිව කල හැකි දෙයක් නොවේ. සමබිම කියවන ඔබ අප එකතු විය යුත්තේ එතනදීය.

ප්‍රබෝධ රත්නායක විසින් සමබිම 82 වන කලාපයට ලියන ලද කතුවැකියයි.



2018-10-15
Advertisement

Find us on Facebook