English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පාතාලය සම්බන්ධයෙන් අධිකරණයක් අවශ්‍යද? : බන්ධනාගාර අැමතිනීගෙන්

"බන්ධනාගාරය තුළ ඉඳගෙන මිනිමැරුම් සහ අනෙකුත් අපරාධ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම සිද්ධවෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න බන්ධනාගාරය දෙපාර්තමේන්තුව හැටියට තනියම කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. මේ වන විට අවශ්‍ය සියලූම සහයෝගය ලබාදීලා අභ්‍යයන්තර පරීක්ෂාව සඳහා වෙනම කණ්ඩායම් හදලා විශේෂ කාර්ය බලකායේ සහයෝගය අපට ලබාදීලා ඒ කටයුතු ඉතාමත් හොඳ සැලසුමක් ඇතිව සිදුවෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා.”

ඔක්තෝම්බර් මස 03 වෙනි දින කොළඹ ගුවන්විදුලි සංස්ථාවේ පැවති සත්‍යයේක්ෂණය නම් සංවාදශීලී වැඩ සටහනක් පැවැත්විනි. මෙම වැඩ සටහන සඳහා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධිකරණ හා බණ්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ, ජේෂ්ඨ ජනමාධ්‍යවේදී, රාවය හිටපු කර්තෘ සහ අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ.ඩබ්.ජනරංජන යන අයගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ තේමාව වූයේ සංවිධානාත්මක අපරාධ මර්ධනයයි.

එහිදී බන්ධනාගාර සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරාල මහත්මයි දැක්වූ අදහස්.

“සාමාන්‍ය වරදක් කරලා බන්ධනාගාරගත වෙන අය බන්ධනාගාර තුලදී වෙනත් අපරාධවලට සම්බන්ධ වෙනවා කියන එක මම බැහැර කරන්නේ නැහැ. ඒකට විශේෂ කාරණයක් තමයි අපගේ බන්ධනාගාර පද්ධතිය තුළ වරදේ ස්වභාවය අනුව හෝ දඩුවමේ ස්වභාවය අනුව  වෙන වෙනම රඳවන්නේ නැහැ. සමහර අවස්ථාවලදී අයුධ පුහුණුව ලබලා හමුදාවේ හෝ වෙනත් තැනකින් පැනලා ගිහිල්ලා අපරාධයක් කරන කෙනෙක් ආයුධ පුහුණුව ඇතිව වැටෙන්නේ බන්ධනාගාරයට. බන්ධනාගාරය තුළදී ඔවුන් එකට එක්වෙනවා කියන එක ගැන අපිට වැඩ පිළිවෙළක් තිබුනේ නැහැ. සමහර වෙලාවට පොල් ගෙඩියටත් දවස් ගානකට එනවා. පුංචි දඩුවම් දෙන පුංචි වැරදි තියෙනවා. නමුත් ඒවයෙදි අතුළට ගියාට පස්සේ ඉන්න සිද්ධ වෙන්නේ ඔක්කෝම එක කණ්ඩායමක් වශයෙන්. විශේෂයෙන්ම බන්ධනාගාරය තුළට මත්කුඩු යාම පිළිබඳව බරපතල ගැටළුවක් තිබුණා සහ තාමත් තියෙනවා. ඉතින් මේ කටයුතු වලදී මත්කුඩා පානය කරන්නේ නැති කෙනෙක් ඒ මත්කුඩුවල තිබෙන ස්වභාවය අනුව ඇතුළට ගියාම තමන්ගේ තියෙන අසහනය පිටකරගන්න පාවිච්චි කරන්න පෙළඹෙනවා. පොඩි වරදකට ඇතුළට යන කෙනෙකුට මාසයක් දෙකක් සිරගතව සිටින විට මේවගේ දේවල් වලට යොමු වෙනවා.”

රැඳවියන් රැඳවීම හා පාලනය කිරීම

“ඒ වගේම බන්ධනාගාරය තුළ දී සංවිධාන අපරාධ කල්ලිවලට සම්බන්ධ අය හෝ බරපතල වැරදිවලට සම්බන්ධවෙලා දඩුවම් ලබන අය හෝ සමග බන්ධනාගාරය තුළදී එකට එකතු වෙන ප‍්‍රවනතාවය වැඩියි. මම මෑත කාලයේදී දැක්ක එකක් තමයි පාතාල කල්ලි කියන එකේ ව්‍යාප්තියට මේ තත්ත්වය බලපාල තියෙනවා. සිරගත වෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට වෙන්න පුළුවන්. කතාවකුත් තියෙනවනේ කල්දේරමක බත් කාල ආවම ලෙඩ සනීප වෙනවා කියලා. මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. ඒක අපි පිළිගන්නවා. මේ වන විට නීතිය හා සාමය ඇමතිතුමා අමාත්‍යංශය බාරගත්තට පස්සේ මට විශාල සහයෝගයක් ලබාදීලා තියෙනවා බන්ධනාගාරය තුළ අවශ්‍ය තත්ත්වය පාලනය කිරීමට. විශේෂයෙන්ම ඔබ දකින්න ඇති බන්ධනාගාරය තුළ ඉඳගෙන මිනිමැරුම් සහ අනෙකුත් අපරාධ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම සිද්ධවෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න බන්ධනාගාරය දෙපාර්තමේන්තුව හැටියට තනියම කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. මේ වන විට අවශ්‍ය සියලූම සහයෝගය ලබාදීලා අභ්‍යයන්තර පරීක්ෂාව සඳහා වෙනම කණ්ඩායම් හදලා විශේෂ කාර්ය බලකායේ සහයෝගය අපට ලබාදීලා ඒ කටයුතු ඉතාමත් හොඳ සැලසුමක් ඇතිව සිදුවෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. නොයෙකුත් කල්ලි තියෙන අතර ඔවුන්ව එකතැනක රඳවලා තියන්න බැහැ. මේ බන්ධනාගාරයේ ඉන්නේ මේ අය විතරයි කියලා අපිට වෙන් කරන්න පුළුවන් කමකුත් නෑ. මොකද තියෙන සීමිත සම්පත් නිසා. රැඳවියන් පිළිබඳව අපි වැඩ පිළිවෙලක් සකස් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී වෙනම වෙනම රැඳවියන් හඳුනාගැනීමේදී ගැටලූ ඇතිවෙලා තියෙනවා. හමුදා පුහුණු, වෙඩි තැබීම සම්බන්ධ පුහුණු ඉන්නවනම් ඒ අයව වෙනම රඳවන්න. වරදේ ස්වභාවය අනුව යම් යම් තැන්වලට යොමු කරන්න. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි, පතාල කල්ලි, කුඩු ව්‍යාපාර එකිනෙකට බද්ධ වෙලා ගමන් කරන්නේ. මත්කුඩු ව්‍යාපාරය වැඩියෙන් පැතිරෙන්නේ බන්ධනාගාරය හරහා.”

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා මරණ දඩුවම

“පසුගිය දිනවල කාන්තා රැඳවියන් වහලය උඩට නැගලා විරෝධතාවයන් දැක්වූවා. ඒ වගේ වැඩ වලට යෙදෙන්නේ නිතරම යන එන අය. මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්හී නියැලෙන අය තමයි ඔය විරෝධතාවයන් හී නිරතවූයේ. ඔය අතරට අහිංසක පුද්ගලයෙක් වැටුනහම, අඩු වරදක් ඇති පුද්ගලයෙක් වුනත් එළියට එන්නේ මානසික තත්ත්වය සම්පූර්ණයෙන් විකෘති වෙලා. මුදල් හබායන ලෝකයක මත්කුඩු හරහා සමාජයට වෙන වැරැද්ද, මනුෂ්‍ය ජීවිතයට වෙන වැරැද්ද, රටක් හැටියට අපිට සිද්ධවෙන පරිහානිය වැඩියි. මේ තත්ත්වයන් පාලනය කරන්න අපි දැඩි නීති රීති පනවනවා කියන්නේ අපිට ආපස්සට යන්න සිද්ධ වෙනවා. මරණ දඩුවම නැවත පනවන අදහස මතුවුනේ මෙවැනි තත්ත්වයක් මතයි. මේ වගේ දේවල් අවම කරගෙන, වරදේ ස්වභාවය අනුව අඳුරගෙන ඒ වගේම විශේෂ කාර්ය බලකායේ සහයෝගය අරගෙන ඒ පැත්තෙන් කරන ගමන් බන්ධනාගාරයේ ඉන්න නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීලා, ඒ අයවත් ඊට අනුගත කරලා අඩුම ගණනේ සතියකට සෝදිසි මෙහෙයුම් තුනක්වත් කරන්න ඇති කරලා පාලනය කරන්න තමයි අපේ බලාපොරොත්තුව.”

බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතය

“ජංගම දුරකතන භාවිතා කිරීමට අවහිර කිරීම සඳහා අවශ්‍ය උපකරණ වැලිකඩ අවට සවි කරලා තියෙනවා. ඒ වගේම ඒ වගේම අවහිරතාවලින් මිඳී භාවිතා කළ හැකි අධිතාක්ෂණික ජංගම දුරකතනත් තියෙනවා. බන්ධනාගාරය තුළ සිම් කාඩ් පතක් තියෙනවා ඒක රුපියල් 25,000 පමණ වෙනවා. අර අවහිරතා උපකරණය සවිකළ විට අවට තියෙන රජයේ මුද්‍රණාලය වැනි ආයතනවල සේවක සේවිකාවන්ගේ දුරකතනයන් අවහිර වෙනවා. ඒ නිසා ඒ අවහිරතාවය දිගින් දිගටම පවත්වාගෙන යාමට අපට ගැටළු තිබෙනවා. ෆෝන් එක හොයාගන්න පුළුවන් කම තියෙනවා. ගැටළුව තියෙන්නේ සිම් කාඩ් පත සගවා තිබෙන විට සොයා ගන්නා එකයි. පසුගිය දිනක කාන්තා අංශයේ සිදුකරන ලද වැටලීම්වලින් සිම්කාඩ් 37 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ඔවුන් සිම්කාඩ් පත් විවිධ තැන්වල සගවා තබනවා. සමහර වෙලාවට සබන් කැටේ ඇතුලේ සිම් කාඩ් එක දානවා. එය සොයා ගැනීමට අපහසුයි.  

බන්ධනාගාරයන් තුළ සිටින දූෂිත නිලධාරීන් නිසාත් මේ තත්ත්වය පවතිනවා. හැම නිලධාරියෙක්ම ඒ අයුරින් කටයුතු කරන්නේ නැහැ. සුළු පිරිසක් ඉන්නවා මේ කාර්යයන්වල නියැලෙන. බන්ධනාගාර ගත වෙන පුද්ගලයගේ අර්ථික තත්ත්වය අනුව තමයි ඔහුට සැලකිලි ලැබෙන්නේ. ඒ ගැන අපි දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මොන විදියකට කවුරු ඇවිත් බලපෑම්කළත් කිසිම තීරණයක් වෙනස් කරන්නේ නැති තැනකට මම ඇමතිතුමිය විදියට ඇවිත් තියෙනවා. මේ දේවල් කරන්නේ ආණ්ඩුවේ ජනප්‍රියතාවයන් නිසා නෙමෙයි. බන්ධනාගාරය තුළ ඉඳලා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවලා තියෙන පුද්ගලයෙක්ව මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ ඔහු සන්තකව මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 103 ක් තිබුණා. ඒ සියල්ල කළේ ඔවුන් ඇතුළේ ඉඳගෙන ජංගම දුරකතනයකින්. ඒ නිසා තමයි මරණ දණ්ඩණය සම්බන්ධයෙන් කතිකාවතක් රටේ ඇතිවුනේ. සංවිධානාත්මක කල්ලි ඇතුලේ ඉඳගෙන ලොකු මෙහෙයුම් කරනවා. විශේෂ හේතූ, ආරක්ෂිත හේතු නිසා වැඩි දුර විස්තර හෙළිකරන්න අමාරුයි. දැන් යම් මට්ටමකට පාලනය කර තිබෙනවා. දැනට සිදුවෙන පාලනය සඳහා සහය නොදෙන  ඕනෑම තරාතිරමක නිලධාරියෙක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අපි මැළිිවෙන්නේ නෑ.”

වැඩිපුර පහත වීඩියෝවෙන්....





2018-10-12
Advertisement

Find us on Facebook