English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපරාධ වැඩිවෙලාද? පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර
”අපි මේ අවුරුද්දේ සිදු වුනු වෙඩි තැබීම්වලින් 90 % විසඳලා තියෙනවා. සමහර ඒවා විමර්ශන අවදියේ තිබෙන ඒවා. මේ අවුරුද්දේ සිදුවුනු වෙඩි තැබීම්වලින් 90 % ඒ ගිනි අවිත් සමග අපි අත්අඩංගුවට අරගන තියෙනවා. ඒවා අපි මාධ්‍ය වලට මුදා හරිනවා. නමුත් ඒ විසඳු අපරාධවලට අර අපරාධය සිදුවුනු අවස්ථාවේ වගේ එස්.එම්.එස් ඇලර්ට් එකක් යන්නේ නැහැ.”

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ ප‍්‍රකාශය කළේ ඔක්තෝම්බර් මස 03 වෙනි දින කොළඹ ගුවන්විදුලි සංස්ථාවේ පැවති සත්‍යයේක්ෂණය නම් සංවාදශීලී වැඩ සටහනේ දීයි. මෙම වැඩ සටහන සඳහා නීතිය හා සාමය පිළිබඳ සහ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධිකරණ හා බණ්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ, ජේෂ්ඨ ජනමාධ්‍යවේදී, රාවය හිටපු කර්තෘ සහ අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ.ඩබ්. ජනරංජන යන අයගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ තේමාව වූයේ සංවිධානාත්මක අපරාධ මර්ධනයයි.

”සංඛ්‍යා ලේඛන ගෙන හැර බැලීමේදී පෙනෙනවා අපරාධ අඩුවෙලා තියෙනවා කියලා. සමහර වෙලාවට මිනීමැරුම් සහ වෙඩි තැබීම් සිදුවෙනවා. අපරාධ වර්ගීකරණයක් තියෙනවා. ශරීරයට එරෙහි අපරාධ, දේපල වලට එරෙහි අපරාධ වශයෙන් වර්ගීකරණයක් තියෙනවා. දේපල වලට එරෙහි අපරාධ ගත් විට කොල්ලකෑම් කියන්නේ දරුණු ගනයේ අපරාධ. කොල්ලකෑම් ගත් විට වර්තමානයේ පැහැදිලි අඩුවීමක් තියෙනවා. එක පැත්තකින් අපරාධ අඩුකරන්න අපිට හැකිවෙලා තියෙනවා. අනික් පැත්තෙන් වාර්තාවෙන අපරාධ විසඳීමේ ප‍්‍රතිශතය එනම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිශතය වැඩි කරන්න අපිට හැකිවෙලා තියෙනවා. ඉතාම සරලව කියනවනම් 2013 කොල්ලකෑම් හාරදහස් හත්සියක් කොල්ලකෑම් 2014 හාරදහස් දෙසීයක් වෙලා තියෙනවා. 2015 හාරදහසයි. 2016 තුන්දාස් හාරසීයයි. 2017 තුන්දාස් තුන්සිය ගානක්. මේ අවුරුද්දේ පළමුවෙනි මාස 08 ට 2078 ක් සිදුවී තිබෙනවා. මේ 2078 න් 1410කම සැකකරුවන් අත්අඩංගුවට ගෙන යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලියට එක් කර තිබෙනවා.

ඒ වගේම ස්තී‍්‍ර දුෂණ ගත්තත් ශරීරයට එරෙහිව සිදුවන අපරාධවලින් තවත් දරුණු ගනයේ අපරාධයක්. 2013 ස්තී‍්‍ර දුෂණ 2100 ක්, 2014 දී 2000 යි. 2015 දී 2000 යි. 2016 දී 1900 ක්. 2017 දී 1700 ගණනක්. මේ අවුරුද්දේ පළමුවෙනි මාස 08 දී 1154 ක් පමණයි. මේ 1154 න් සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ස්තී‍්‍ර දුෂණ වලින් 60% ක් අවුරුදු 16 අඩු ළමයින් තමන්ගේ පෙම්වතා සමග පැනයාම නිසා දෙමාපියන් විසින් කරන ලද පැමිණිලි. අවුරුදු 16ට අඩු නම් කැමැත්තෙන් එක්වුවත් එය ස්තී‍්‍ර දුෂණයක් ලෙසයි සැලකෙන්නෙ. මේවා පොලිසියට වාර්තාවෙන අපරාධවල දත්ත. අපරාධ අඩු ද නැද්ද කියලා අපිට කියන්න පුළුවන් මේ සංඛ්‍යා දත්ත වලින්. ශී‍්‍ර ලංකා පොලිසිය විදියට අපිට හැකිවෙලා තියෙනවා අපරාධ අඩුකරන්න. එය ශී‍්‍ර ලංකා පොලිසිය විදියට තනිකරම ලැබූ ජයග‍්‍රහණයක් කියන්න බැහැ. සමාජයෙන් ලැබුණු උදව් උපකාර මතයි අපි එය කරලා තියෙන්නේ. එක පැත්තකින් අපරාධ අඩුකරන ගමන් ඒ අපරාධ විසඳීමේ ප‍්‍රතිශතය වැඩි කරගන්න අපිට හැකිවෙලා තියෙනවා. යමෙකුට තර්ක කරන්න පුළුවන් මේ ස්තී‍්‍ර දුෂණ, කොල්ලකෑම් වගේ අපරාධ යම් ප‍්‍රමාණයක් පොලිසියට වාර්තාවෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේවා නිවරුදි දත්ත නොවේයැයි තර්ක කරන්න පුළුවන්. ඒක අපි පිළිගත්තයි කියමු. එතකොට මිනීමැරුම්, වෙඩි තබා ඝාතනය කිරීම්. එම සිද්ධිවලදි හැමදෙයක්ම වාර්තා වෙනවා. අපි පෙන්නලා දුන්නා ඒවා අඩුවෙලා තියෙන හැටි.

නමුත් ප‍්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් අපරාධ අඩුවෙලා කියලා නමුත් අපට දැනෙනවනේ අපරාධ වැඩියි කියලා. සමාජයට දැනෙනවනේ අපරාධ වැඩියි කියලා. මම මේ හතරවෙනි වසර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් කටයුතු කරන. මේ වසර හතරෙදි මට ඇගට දැනෙනවා අපරාධ වාර්තාකරණය මාධ්‍ය වැඩි කරලා තියෙන ආකාරය. මට එය සක්සුදක් සේ දැනෙනවා. මම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විදියට 2015 වැඩ බාරගත්ත වගේ නෙමෙයි අද. යම් තැනක වෙඩි තැබීමක් වුනොත් මුලින්ම එස්.එම්.එස්. ඇලර්ට් එක ගහන්න මාධ්‍ය ආයතනවලින් දුරකතන ඇමතුම් 100 කට වැඩි සංඛ්‍යාවක් එනවා. ඒ එක සිද්ධියකට. ඒ වගේ තත්ත්වයක් මීට කලින් තිබුණේ නැහැ. මහජනතාව ඒ එස්.එම්.එස්. ඇලර්ට් එක හරහා, පළමුවරට දැනුවත් වෙනවා, දැනෙන්න ගන්නවා මෙහෙම සිද්ධියක් වෙලා කියලා. දෙවනුව නොයෙකුත් වෙබ් අඩවි වල මේ සිද්ධිය ප‍්‍රචාරය වෙනවා. අද වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ තත්ත්වය වැරදියි කියලා කියන්නේ නැහැ.

තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම ගැන ලංකාව මේ වෙද්දි ඉන්නවා. ආසියාවෙත් ඉහළම තැන ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ මෙය තිබිය යුතුයි. අපේ ඇගට, සමාජයට අපරාධ වැඩියි කියලා දැනෙන හේතුවයි මම මේ පැහැදිලි කරන්නේ. තුන්වෙනුව හවස ගුවන් විදුලිය ප‍්‍රවෘත්තිවලට සවන් දෙද්දි ඒ හරහා අර අපරාධයම නැවතත් ආවර්ජනය වෙනවා. මතක් වෙනවා. හතරවෙනියට රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නරඹද්දි ඒ සිද්ධියම දකින්න ලැබෙනවා. එවිට එය දකින්න ලැබෙන්නේ නිකන් සිද්ධියක් වශයෙන් නෙමෙයි. එවිට එතන මාධ්‍ය ආයතන අතර විශාල පොරයක් යනවා අපරාධයේ සී.සී.ටී.වී. දර්ශන හොයාගන්න. ඒ තරගකාරිත්වයක් එක්ක තමයි ඒ ප‍්‍රවෘත්තිය දකින්න ලැබෙන්නේ. ඒ සී.සී.ටී.වී. දර්ශන වලින් සමහර අවස්ථාවලදී ඉතා කෲර විදියට සිදුවූ අපරාධය සමාජගත වෙනවා. පස්වෙනුව ඊට පහුවෙනිදා උදේ පුවත්පත් වල මුල් පිටුවෙම පළවෙනවා. හයවෙනුව රූපවාහිනි මාධ්‍ය වලින් පුවත්වල ප‍්‍රවෘත්ති කියවද්දි නැවතත් ප‍්‍රචාරය වෙනවා. එය අතිශයෝක්ති සහිතව  ප‍්‍රචාරය වෙනවා. ඔන්න ඔය ක‍්‍රම හය ඔස්සේ එක අපරාධය පිළිබඳව අපි දැනුවත් වෙනවා. මම අද බැලූවා වෙඩි තැබීම් කිහිපයක් අරගෙන ඒ හැම වෙඩි තැබීමක්ම පුවත්පත් වල පළවෙලා තිබුණේ එක්කෝ ප‍්‍රධාන ශීර්ෂ යටතේ, එසේත් නැතිනම් මුල් පිටුවෙ තැනක. අපි මේ අවුරුද්දේ සිදුවුනු වෙඩි තැබීම්වලින් 90 % විසඳලා තියෙනවා. සමහර ඒවා විමර්ශන අවදියේ තිබෙන ඒවා. මේ අවුරුද්දේ සිදුවුනු වෙඩි තැබීම්වලින් 90 % ඒ ගිනි අවිත් සමග අපි අත්අඩංගුවට අරගන තියෙනවා. ඒවා අපි මාධ්‍ය වලට මුදා හරිනවා. නමුත් ඒ විසª අපරාධවලට අර අපරාධය සිදුවුනු අවස්ථාවේ වගේ එස්.එම්.එස් ඇලර්ට් එකක් යන්නේ නැහැ. මම පුවත්පත් කිහිපයක් සසඳලා බැලූවා අද. අපරාධයට මුල් පිටුවේ සිරස්තල. එසේත් නැත්නම් මුල් පිටුවේ. ඒ පුවත්පත් බොහෝමයක් පොලිසිය විසින් සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීම් ගැන පළ කරලා තිබුණේ නැහැ. පළ කරපු පුවත්පත් වලත් එය පළ කරලා තිබුණේ 12, 15 පිටුවල.

මෙන්න මේ නිසා තමයි අපිට අපරාධ වැඩි සංඛ්‍යාවක් සිදුවෙනවා කියලා දැනෙන හේතුව. දැන් දවස් තුනකට කලින් ඌරගස්මන් හන්දියේ බෙල්ල කපලා පුද්ගලයෙක් මැරුවා. මම 2000 අවුරුද්දේ පොලිස් පරීක්ෂකයෙක් විදියට තෙබුවන පොලිස් ස්ථානයේ රාජකාරී කරද්දි බෙල්ල කපලා මරපු කාන්තාවකගේ හිස රහිත සිරුර කළුගගේ පාකරලා යවලා තිබුණා. තවත් පුද්ගලයෙක් ඝාතනය කරලා. කකුල කපලා අරගෙන ගිහින් තිබුණා. ඒ කියන්නේ එවැනි අපරාධ අද පමණක් නොවෙයි එදත් සිදුවෙලා තියෙනවා. ඒ කාලේ ඒවට එස්.එම්.එස්. ගියේ නැහැ. දැන් මාධ්‍ය දියුණු වෙලා. ඒ හරහා තමයි අපිට දැනෙන්නේ අපරාධ වැඩි කියලා. අපි දැන් බොහෝ අපරාධ විසඳලා තියෙනවා.”




2018-10-09
Advertisement

Find us on Facebook