English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැනගැනීමේ පනතින් නිවැරදි වූ යාපනයේ සිසු ඝාතනය

2016 අංක 12 පනත ක්‍රියාත්මක කිරීමත් සමගම මේ වන විට විවිධ ක්ෂේත‍්‍රයන් විපුල ඵල නෙලාගෙන තිබෙනවා. ඒ අතරින් ජනමාධ්‍යවේදීන් විශේෂයි. ඔවුන් එලෙස තොරතුරු ලබාගැනීමට පෙළඹෙන්නෝ එලෙස ලබාගන්නා තොරතුරු වල ඇති විශ්වාසනීභාවය නිසා. එවැනි විශේෂ ජනමාධ්‍යවේදියෙක් වන්නේ ලංකාදීප පුවත්පතේ තරිඳු ජයවර්ධන. ඔහු මේ වන විට වාර්තාගත ලෙස තොරතුරු ලබාගැනීම සඳහා අයදුම්පත් 315 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු විසින් 2016 ඔක්තෝම්බර් මස 20 වෙනි දින යාපනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය පාසැල් සිසුන් දෙදෙනෙකු වූ සුලක්ෂන් සහ කජන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මෙම පනත භාවිතා කලා. පසුව ඔහු ඒ සම්බන්ධයෙන් ගවේශනාත්මක වාර්තාවක් ලංකාදීප පුවත් පතේ පළ කලා. මේ මෑතකදී කොළඹ පැවති වැඩ සටහනක දී ඒ සම්බන්ධයෙන් දක්වන ලද අදහස්.

“මේ වන විට මම තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කර අයදුම් පත් 315 ක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ වන විට පිළිතුරු ලැබිලා තියෙන්නේ 110 කට පමණයි. නම් කරන ලද නිලධාරියාට අයදුම් පත් 36 ක් ලබා දී තිබෙනවා. කොමිසම වෙත අයදුම් පත් 10 ක් දමා තිබෙනවා. කොමිසමෙන් ඉන් අයදුම් පත් 2 ක් විභාග කරලා, මට තොරතුරු ලබා දී තිබෙනවා සහ තීන්දු ලබා දී තිබෙනවා.

මෙයින් යාපනයේ ශිෂ්‍යයන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ප‍්‍රධානයි. 2016 ඔක්තෝම්බර් 20 වෙනි දින යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දෙන්නෙක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කලා. විසි එක් වෙනි දින පස්වරු 01.00 ට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරනවා, මේ ශිෂ්‍යයෝ දෙන්නා මැරුණේ යතුරු පැදිය ඉවතට පැනලා තාප්පේ වැදීමෙන් කියලා. මේ සිදුවීම ගැන විශාල කතා බහක් ඇති වුනා. සිද්ධිය වන විට අසල සිටි පිරිස, උතුරේ මිනිසුන් වුනු සිද්ධිය දැනගෙන හිටියා. සමහරු කිව්වා වෙඩි ශබ්දයක් ඇහුනා කියලා. හැබැයි දකුණට ඒ මොනවත් ආරංචි ආවේ නෑ. දකුණේ මාධ්‍ය පළ කළේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ වාර්තාව. මේ සම්බන්ධයෙන් දේශපාලන වශයෙන්ද කතා බහක් ඇති වෙනවා. පොලිස්පතිවරයා මෙහි විමර්ශන රහස් පොලිසියට බාර කරනවා. රහස් පොලිසිය එම ස්ථානයට ගොස් ඒ අවස්ථාවේදීම පොලිසියේ පස් දෙනෙක් අත්ඩංගුවට ගත්තා. ඒ සිද්ධියත් සමග පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තොරතුරු ප‍්‍රකාශ කිරීම නවත්වනු ලබනවා. එවකට සිටි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කලා ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කරමින්.

අපි මේ සිද්ධිය ගැන සොයන්න යාපනයට ගියා. පොලිසියෙන් කලින් කිව්වේ පාරේ යද්දි එළියට ගිහිල්ලා තාප්පේ වැදිලා මැරුණා කියලා. පොලිසියේ පස්දෙනා අත්අඩංගුවට පත් වුනාට පස්සේ එය සාධාරණීකරණය කරන්න කිව්වේ ඔවුන් බී මතින් සිටියා කියලා. පොලිසිය නවත්වන්න කිව්වම නැවැත්තුවේ නැහැ. පොලිස් අණ නොතකා ගිය නිසා වෙඩි තැබීමට සිදුවුනා කියලා. දකුණේ මාධ්‍ය මේක සාධාරණිකරණය කරන්න එක එක විදියට වාර්තා කලා. සමහරුන් කිව්වා මේ දෙදෙනා ගියේ 1000 සීසී මෝටර් බයිකල්වල කියලා. එය බොරුවක්. අපි මියගිය සුලක්ශන් කියන සිසුවාගේ ගෙදරට ගියාම, අපිට මේ දෙමළ පත්තරේ ගෙනල්ලා පෙන්නුවා. එහි තිබුණේ පොලිසිය වෙඩි තැබීම සාධාරණයි කියලා. ඉතින් අපිට  ඕන වුනා මේක ඇත්ත පෙන්වන්න. සුලක්ෂන් කියන සිසුවා රක්ෂණ ආවරණයක් ලබා ගෙන තිබුණා. නමුත් පොලිස් අණ නොතකා කටයුතු කිරීම නිසා එය ලබාගැනීමට නොහැකි වුනා. අපේ මිනිස්සු කියන කතා අපිට නිතර වාර්තා කරන්න බෑනේ. මිනිස්සු බොරු කියන්න පුළුවන්. හැගීම්වලින් කියන්න පුළුවන්. ප‍්‍රසිද්ධ මාධ්‍යවල එවැනි දේ භාවිතා කරන්න බෑ. ඒ විශ්වාසනීයත්වයක් නැති නිසා. ඉතින් අපිට  ඕන වුනා කොහොමද මේක වුනේ කියලා හොයලා බලන්න.

මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් හෝ මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන වාර්තාවක් තිබුණ නම් අපිට  ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න තිබුණා. මරණ පරීක්ණ වාර්තා ගන්න ආයතන ගොඩක් තියෙනවා. උසාවියට ගිහින් ගන්නවා නම් මම යාපනයට යන්න  ඕනා. නීතිඥයෙක් ලවා මෙම වාර්තා ලබාගන්න  ඕන. සල්ලි බඳින්න  ඕනා. සතියකින් විතර නැවත යාපනයට ගොස් වාර්තාව ලබාගන්න වෙනවා. මම කොළඹ ඉන්නේ ඒක ප‍්‍රයෝගික නෑ. මම දැන ගත්තා මානව හිමිකම් කොමිසමෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කලා කියලා. පස්සේ මම මානව හිමිකම් කොමිසමට තොරතුරු දැනගැනීමේ පනතට අනුව අයදුම් පතක් දැම්මා මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව ලබා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නොමැති බවත්, පරීක්ෂණ අතරමග නතරවී ඇති බවත් කොමිසම විසින් මට දැනුම් දුන්නා. ඉන් පසුව මම නැවතත් තොරතුරු ලබා ගැනීම සඳහා අයදුම් පතක් ඉදිරිපත් කලා, මේ වන විට කී දෙනෙක්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවද? මේ සම්බන්ධයෙන් අරන් තිබෙන ලේඛන මොනවද කියලා විමසලා. අදාල විස්තර මට ලබා දුන්නා. ඒ විස්තර අනුව සිද්ධිය වෙලා අවුරුදු එකහාමාරකට පස්සේත් මානව හිමිකම් කොමිසම ප‍්‍රකාශ අරගෙන තිබුණේ හතර දෙනෙක්ගෙන් විතරයි. ඒ මියගිය ළමයින්ගේ දෙමව්පියන්ගෙන් විතරයි. ලේඛන විදියට ඔවුන් සතුව තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව. නැවතත් මම මානව හිමිකම් කොමිසමට තොරතුරු ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කලා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉල්ලලා. ඒ අනුව මට 2018 ජූලි මස 30 වෙනි දින එය වාර්තාව ලැබුනා. සුලක්ෂන් සහ කජන්ගේ මරණ වාර්තා අනුව පේනවා මේ සිසුන් දෙදෙනා ඔවුන් මත්පැන් පානය කර නොමැති බව. ඒ අනුව පොලිසිය කලින් කරපු චෝදනාව බොරු වෙනවා. පොලිසියෙන් කිව්වා අණ නොතකා ගිය නිසා වෙඩි තිබ්බා කියලා. වාර්තාව අනුව පේනවා වෙඩි වැදිලා තියෙන්නේ මෝටර් බයිසිකලය පදවාගෙන ගිය කෙනාට. වෙඩි වැදිලා තියෙන්නේ ඉදිරියෙන්. අණ නොතකා වෙඩි තිබ්බොත් ඒ සිදුවිය යුත්තේ පිටුපසින්. වෙඩි තබා තිබෙන්නේ ඉදිරියේ සිටයි. දෙවෙනි පුද්ගලයාගේ පපුවේ සහ වෙනත් ප‍්‍රදේශවල තුවාල රැ සක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව මම මේ ගැන ලිපිය ලිව්වා, වෙඩි පහරින් මිය ගිය පාසැල් සිසුන් දෙදෙනා බීමතින් සිටි කතාව බොරු කියලා. ඒ කියන්නේ පොලිසිය කියපු කතාව බොරු.

අපි තොරතුරු එක එක මූලාශ‍්‍රවලින් ගන්නවා. ඒ මූලාශ‍්‍ර ගැන ගැටළු තියෙනවා. සමහර වෙලාවට මිනිස්සු බොරු කියන්නත් පුළුවන්. ඇත්ත කියන්නත් පුළුවන්. මිනිස්සු  ඕන තරම් බොරු ලිපිගොනු ගෙනැවිත් දෙන්න පුළුවන්. ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය තොරතුරු ගන්න එක විතරක් නෙමෙයි. තොරතුරු විශ්ලේෂණය කරන එක. ”

වීඩියෝව පහතින් .....


 




2018-10-08
Advertisement

Find us on Facebook